ආදරණිය වේල්සයේ කුමරිය, මේ ඔබේ කතාවයි Diana- The People’s Princess

ඇය අතිශයින්ම රූමත්ය. සුකොමලය. මිහිබට සුරගනක් බදුය. දුටුවන්ගේ නෙත් සිත් වශීකරවන නෙත් සගලක හිමිකාරිනියකි. වියලි කතරට දිය බිදක් සේ ඇගේ මන්දහාසය ජනතා සිත් සනහාලයි. දුප්පත්,පොහොසත් භේදයකින් තොරව සැමට සැලකීම ඇගේ අරමුණයි.

“මට අවශ්‍ය ජනතාවගේ හදවතේ රැජිනියක් වීමටයි- I’d like to be a queen in people’s heart” ඒ ඇගේ හද ගැහුණු රාවයයි. දෙස් විදෙස් ජනතාවගේ ජනාදරයට පත්වූඇය ගම්භිර බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකාවකි. ඉතිහාසය පුරා ජිවත් වූ බ්‍රිතාන්‍ය රාජකීයයන් අතුරින්, ලොව වඩාත්ම ජනප්‍රිය හා අදටත් පුවත් මවන්නියක්ව සිටින රාජකීය කත ඇයයි. ලොව වැඩිපුරම ජායාරූපකරණයට ලක්වූ කාන්තාවද ඕ ය. ජනතාවගේ කුමරිය ලෙස අබිසෙස් ලත් ඒ සුන්දර ළද ඩයනා  (Diana) නම් වන්නිය.

ළමාවිය ගෙවුණු හැටි

වර්ෂ 1961 ජූලි මස පළමුදා වංශාධිපති ජෝන් ස්පෙන්සර් අර්ත්ලොප් (John Spencer , Viscount Arthlop) සාමිවරයාට හා ෆ්‍රාන්සස්(Francess ) මැතිණියට දාව ආදරණිය බිලිදියක් මෙලොව එලිය දුටුවා. මෙම යුවල තම පරපුර ඉදිරියට ගෙනයාමට පුතකුගේ උපත ප්‍රාර්ථනා කල නිසා , දියණියකගේ ආගමනයින් ඔවුන් තරමක අසතුටට  පත්වුනා. සතියක් පමණ ගතවීමෙන් අනතුරුවයි ඔවුන් තම දුවණිය පිලිබදව සිතුවේ.

තම පරපුරේ මිත්තනියන්ගේ නම් යොදාගනිමින් ඇයව “ඩයනා  ෆ්‍රාන්සස් ස්පෙන්සර් – Diana Francess Spencer” නමින් 1961 අගෝස්තු මස 31වන දින භෞතිස්ම කරනු ලැබුවා. ඇයට සාරා,ජේන් හා චාල්ස් නමින් සොයුරු සොයුරියන් තිදෙනෙක් ද සිටියා. ඩයනා ඉපදීමට පෙර ඇගේ ළදරු සොයුරා, ජෝන් මියයාම නිසා ඇගේ දෙමාපියන්ගේ විවාහ ජීවිතය කඩ තොලුවෙමින්  තිබුනා.

රාජකීයයන් ඇසුරු කිරීමට ඩයනා පෙළඹුනේ කුඩා අවධියේදිමයි.බ්‍රිතාන්‍ය රාජකීයයන් නිතරම නිවාඩු ගතකිරීමට පැමිණියේ ඇගේ නිවස පිහිටි Sandringham වතුයාය අසල නිවසකට.ඉදින්, ඇන්ඩෲ කුමරු හා එඩ්වඩ් කුමරු නිතර ඩයනා සමග සෙල්ලම් කළා.

ඩයනා කුඩා දැරියක්ව

පුංචි කාලයේදී සිදුවන සමහර සිදුවීම් අපේ ජිවිත සදහටම වෙනස් කරනවා. ඩයනාගේ දෙමාපියන්ගේ දික්කසාදයත් එවැනි සිදුවීමක්. සුන්දර පවුලක ප්‍රීතිමත් දැරියක්ව ජිවත් වුන ඩයනාට, වයස අවුරුදු 7ක් වනවිට තමන්ගේ අම්මාත් එක්ක ලන්ඩනයේ පදිංචියට යන්න සිදුවුණා. එත්, අර්ත්ලොප් සාමිවරයා, ඩයනාගේ පියා ඩයනා තමන්ගේ කලින් බිරිද සමග හැදී වැඩෙනවාට කොහෙත්ම කැමති වුණේ නෑ. ඔහු නීතිමය ක්‍රියාමාර්ග තුලින් ඩයනාගේ භාරකාරීත්වය තමන් සතු කරගත්තා.

ඒ වනවිටත් ඩයනාගේ පියා දෙවැනිවරටත් විවාහ වෙලා. ඒ ඩාර්ට්මවුත් හි ආදිපාද දේවිය වූ රයිනි මැතිනිය (Raine, Countess of Dartmouth) සමගින්. වර්ෂ 1975දි අර්ත්ලොප් සාමිවරයා ,අර්ල්වරය දක්වා උසස්වීමත් සමග ඩයනා කුමරියත් “ ඩයනා ආර්යාව-Lady Diana” බවට පත්වුනා. වැඩිමනත්ම මෙයට හේතු වුයේ, ඇය පියාගෙන් පසුව අර්ල් පදවියට සුදුසුකම් ලැබීමයි. ඒ අනුව ,1975දි ඩයනා තම අලුත් පවුලත් එක්ක නොර්ත්හම්ප්ටන් (Northampton) වල පදිංචියට ගියා.

 

අධ්‍යාපනය හා වෘත්තිමය ජීවිතය

පුංචි කාලයේදී ඩයනා ඉගෙන ගත්තේ ගෙදරටම ආව, ග්‍ර්ට්රූට් ඇලන් (Gretrude Allen) ගුරුතුමියගෙන්. මුලින්ම ඩයනා පාසල් ගියේ, නොර්ත්ෆ්ලොක් ෂිෆිල්ඩ් (Northflock Shefiled) පෞද්ගලික පාසලට. ඊළගට රීඩ්ල්ස්වොර්ත් හෝල් (Riddlesworth Hall) පාසලටත්, පසුව වෙස්ට් හිත් බාලිකා පාසලටත් (West heath girl’s school) ඇතුලත් වුනා. අධ්‍යාපන  කටයුතුවලදී ඇය පසුගාමී චරිතයක් වුවත් පියානෝ වාදනයට, පිහිනීමට,කිමිදීමට මෙන්ම බැලේ නර්තනයටත් උපන් හපන්කම් දැක්වුවා.

පාසල් වියෙදී

වර්ෂ 1978දි ඇල්ෆින් විඩේමනෙට් (Alpin videmanette) ආයතනයට ඇතුලත් වූ ඩයනා කෙටිකලකින් ලන්ඩනයේ ඉන්න තමන්ගේ අම්ම ලගට යනවා. ඇය කාමරය බෙදා හදා ගන්නේ පාසල් මිතුරියන් දෙදෙනෙක් සමගින්. ජිවන අරගලයට පණ පොවන්න වෙරදරන ඇයට අත්දකින්න වෙන්නේ ප්‍රසන්න අත්දැකීම් නෙමෙයි. නර්තන උපදේශිකාවක්, පෙර පාසලක සහකාරවරියක්, පිරිසිදුකරන්නියක්, ළමුන් බලාගන්නියක් මෙන්ම වේටර්වරියක් ලෙසත් සේවය කරමින් ඇය අත්දැකීම් එකතු කරනවා.

වර්ෂ 1979දී ඇයගේ උපන්දින ත්‍යාගය ලෙසින් අර්ල්ස් කොර්ට් (Earl’s court) හි පිහිටි තට්ටු නිවාසයක් තිලින කරන්නේ ඇගේ අම්මා. ඇය මේ වනවිට දෙවනවරටත් විවාහ වෙලා. 1982 පෙබරවාරි 25වෙනිදා වෙනකම් ඩයනා මේ නිවසේ ජිවත් වෙනවා.

 

වේල්සයේ කුමරා හා විවාහය

 ආදරය යෞවනයට ආගන්තුකයෙක් නොවෙයි. රූමත් ඩයනා කුමරියටත් මල්සරාගේ බැල්ම වැටුනා. ඇගේ හද බැදගත්තේ අන්කිසිවෙකුත් නොව වේල්සයේ කුමරා වූ චාල්ස්කුමරා යි.  මේ සුන්දර තරුණිය ,කඩවසම් චාල්ස් කුමරුගේ නෙත ගැටුනේ 1977 වර්ෂයේ ගිම්හාන කාලයේදීයි. ඒ වනවිට,තරුණියන් කිහිපදෙනෙකුම ඇසුරු කර තිබුනත් චාල්ස් කුමරාට ඩයනා සමග විවාහ වීමට දැඩිව අවශ්‍ය වුනා.

පෙම්වතුන් වූ ඩයනා හා චාල්ස්

මෙසේ,පොලෝ තරගයක් නැරඹීමට පැමිණි ඩයනා හා ක්‍රීඩක චාල්ස් කුමරු අතර පෙම්සබදතාවක් හටගත්තා. එහි ප්‍රතිපලයක් ලෙස ඇයට බ්‍රිතාන්‍ය රාජකීය පවුල හමුවීමට වරම් ලැබුනා. එම හමුව සිදුවුයේ ස්කොට්ලන්තයේ රාජකීය නිවස්නය වූ බැල්මොරාල් (Balm oral) හිදියි. රැජිනත්, මවු රැජිනත්, එඩින්බරෝ ආදිපදවරයාත් (Duke of Edinburgh) විසින් ඩයනා ආර්යාව (Lady Diana)  හරසරින් පිළිගත්තා. වර්ෂ 1981දි චාල්ස් කුමරු , ඩයනා ආර්යාවට විවාහ යෝජනාවක් කල අතර ඇය එය පිළිගත්තා. එවිට ඇය විසිහැවිරිදි වියේ පසු වුනා.නමුත් ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම සති කිහිපයක් ලොවට රහසක්ව පැවතුනා.

 

විවාහ ගිවිසගැනීම හා රාජකීය විවාහය

ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම නිලවශයෙන් සිදුවුයේ, 1981 වර්ෂයේ පෙබරවාරි 24 වැනිදායි. ඩයනාගේ විවාහ ගිවිසගැනීමේ මුදුව ලොවපුර කතාබහට ලක්වුවක්. තනිව ඇල්ලු ඕවල් හැඩතී ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රනීල මාණික්‍යයකින් එම මුදුව අලංකාර වුනා. එය අගේ මවගේ විවාහ ගිවිසගැනීමේ මුදුවට සමානයි. මෙම මුදුව නිර්මාණය කලේ ගර්රඩ් (Garrard) රන්කරුවන් විසින්. මෙම මුදුව හා දියමන්ති හාරිච්චියක් විවාහ ගිවිසගැනීමේ තිලින ලෙසින් ඩයනා ආර්යාවට ලබාදුන්නේ මව් රැජිනයි.

විවාහ ගිවිසගැනීමේ මුදුව

විවාහ ගිවිසගැනීමත් සමග ඩයනා ඇගේ රැකියාවට සමුදුන් අතර කෙටිකලක් මව් රැජිනගේ නිවසේ Clarence House වාසය කළා. අනතුරුව විවාහ මංගල්‍යය තෙක්ම ඇය බකිංහම් මාලිගාවේ (Buckingham Palace) වාසය කළා. ගතවූ වර්ෂ 300ක් තුල ඔටුන්න හිමිකරුගේ කලත්‍රයා වූ ප්‍රථම ඉංග්‍රීසි ජාතික කාන්තාව මෙන්ම විවාහ ගිවිස ගැනීමට  ප්‍රථමව වැටුප් ලැබූ රැකියාවක් කල ප්‍රථම රාජකීය මනාලියද ඇයයි. ඔවුන් දෙපල මහජනයා ඉදිරයේ ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනීසිටියේ ,  ගෝල්ඩ්ස්මිත් ශාලාවේ පැවති, දුප්පතුන්ට සරණ වීම පිණිස පැවත්වූ බාල නැටුමකදීය.එහිදී ඩයනා කුමරියට මොනාකෝ හි  කුමරියද (princess of Monaco) මුණගැසිනි.

වර්ෂ 1981 ජූලි විසිනවන දින  ශාන්ත පෝල්ස් ප්‍රධාන දේවස්ථානයේ දී(St Paul’s  Cathedral)   විසිහැවරිදි ඩයනා කුමරිය  ,වේල්සයේ කුමරා වූ චාල්ස් කුමරු සමග විවාපත් වුනා.

රාජකීය විවාහය

ඉන්පසුව ඇය වේල්සයේ කුමරිය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්වුනා. විශාල පිරිසක් සහභාගී වූ මෙම විවාහ මංගල්‍යය “දිව්‍යමය මංගල්‍යය” ක් (fairy tale wedding)  ලෙස ලොව ප්‍රචලිත වුනා. රූපවාහිනිය ඔස්සේ මෙම විවාහය නැරඹු පිරිස මිලියන 750ක් පමණ වුවා. අල්තාරයේදී ඩයනා කුමරිය විසින් චාල්ස් කුමාරාගේ නම ,ආතර් ජෝර්ජ් වෙනුවට පිලිප් චාල්ස්, යනුවෙන්  මාරුකර පැවසීමත්, යුවලගේ ඉල්ලීම පරිදි සාම්ප්‍රදායික විවාහ පොරොන්දුව වෙනස්කොට පැවසීමත් නිසා මෙම විවාහය ආන්දෝලනාත්මක මතභේදයන්ට තුඩු දුන්නා. එදින ඩයනා කුමරිය සැරසී සිටියේ ඩොලර් 9000ක් වටිනා අලංකාර ගවුමකින්.

එක්සත් රාජධානියේ බලයලත් කාන්තාවන්ගේ තෙවන ස්ථානය (united kingdom order of precedence )ඇයට  නිතැතින්ම හිමිවුයේ චාල්ස් කුමරු හා විවාහ වීමෙන් පසුවයි. මෙසේ ඇය රාජකීය පවුලේ අභිමානය සුරකිමින් කාලය ගත කළා.

 

දරුවන්

ඩයනා හා චාල්ස් යුවල නිතරම වාසය කළේ කෙන්සින්ටන් මාලිගාවේ (Kensington palace)  හා හයිග්‍රෝ (Highgrove house) නිවසේයි. වර්ෂ 1981 නොවැම්බර් 5වන දින ඩයනා කුමරිය ගැබ්ගෙන ඇති බවට නිල වශයෙන් නිවේදනය කළා. එයින් සති 12කට පසු ඩයනා කුමරිය පඩිපෙලකින් ඇදවැටුනත්,දරුවාට හානියක් සිදුවූවේ නැහැ.  වර්ෂ 1982 ජුනි 21වන  දින පැඩින්ටන් හි ශාන්ත මාරියා රෝහලේදී , ඩයනා හා චාල්ස් යුවලගේ ප්‍රථම දරුවා මෙන්ම ඔටුන්නේ මීලග හිමිකරු වන විලියම් ආතර් පිලිප් ලුවිස්(William Arthur Philip Louis)  කුමරා මෙලොව එලිය දුටුවා.  ඇයට තම  ළදරු දරුවාසමගින් ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට යාමට අවශ්‍ය වුවත්, චාල්ස් කුමරු බ්‍රිතාන්‍ය අගමැති මැල්කම් ෆ්‍රසර්ගේ මැදිහත් වීමක් වනතුරු ඒපිලිබදව තැකීමක් කලේ නැහැ.

රාජකීය පවුල

මෙම යුවලට දාව දෙවන දරුවා ලෙසින් හෙන්රි චාල්ස් ඇල්බට් ඩේවිඩ්(Henry Charles Albert David) නොහොත්  හැරී කුමරු උපත ලබන්නේ වර්ෂ 1984 සැප්තම්බර් මස 15 වනදායි.ඩයනා කුමරිය තම දෙවන දරුවා පිරිමි දරුවකු බව තරයේම කියා සිටියා. නමුත් මෙය චාල්ස් කුමරුට පමණයි ඇය පැවසුවේ. ඩයනා කුමරිය සමග පෙම් සබදතාවක් තිබූ ජේම්ස් හෙවිට් හැරී කුමරුගේ පියා බවටත් මත පළවුනා. නමුත් හැරී කුමරු උපත ලැබුවේ මෙම සම්බන්ධය පටන් ගන්න කලිනුයි.

ඩයනා කුමරිය සාමාන්‍ය රාජකීය දරුවන්ට මෙන් නොව තම දරුවන්ට පුළුල් පරාසයක අත්දැකීම් ලබාදීමට කටයුතු කළා. ඩයනා කුමරිය තම දරුවන් සම්බන්දයෙන් අනුගමනය කලී දරදඬු ප්‍රතිපත්තියක්. රාජකීය නැනිවරිය ප්‍රතික්ෂේපකල ඇය දරුවන්ගේ ඇදුම් සැකසීම, පාසල් තෝරාගැනීම ,දරුවන් පාසල් රැගෙන යාම ආදී කටයුතු ඇය විසින්ම ඉටුකලා. දරුවන්ගේ කාල සටහන් අනුව තම කටයුතු සකසා ගන්නත් ඇය අමතක කලේ නැහැ.

 

 

ඇගේ කතාව ඉදිරියටත් ……………………………………………

 

 

 

One thought on “ආදරණිය වේල්සයේ කුමරිය, මේ ඔබේ කතාවයි Diana- The People’s Princess”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *