ස්නායු වෛද්‍ය විද්‍යාවට නව මංපෙත් පෑදු බිහිසුණු අනතුර

1823 දී උපත ලබන පීනියාස් ගේජ් (phinias gage) තරුණ වියේදී සිය ජීවනෝපාය ලෙස තෝරා ගන්නේ කම්කරු වෘත්තියයි. වෘත්තියෙන් ඔහු දුම්රිය මාර්ග ඉදි කරන්නෙකි. 1848 දී ඔහු රුත්ලන්ඩ් සිට බර්ලිංටන් දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සදහා එක් වී සිටි අතර 1848 සැප්තැම්බර් 13 වන දින ඔහුගේ ජීවිතයට පමණක් නොව මුලු ලොවටම එක් දෛවෝපගත දිනයකි.

එදින ඔහු ඇතුළු කණ්ඩායමට භාරව තිබුනේ ඉදි කිරීමට සැලසුම් කරන ලද දුම්රිය මාර්ගය හරහා මහා බාධකයක්ව පැවති පර්වතය පුපුරන ද්රව්ය යොදා පුපුරුවා හැරීමයි. මේ සදහා පර්වතය මුදුනට නැගි ගේග් ඔහුගේ යකඩ කෙටුම් කුරෙන් ගලේ සිදුරක් සාදා ඊට වෙඩි බේත් දැමීය. ඔවුන්ගේ අරමුණ වුයේ නොබෝ වේලාවකින් වෙඩි බෙහෙත් පත්තු කර ගල පුපුරවා හැරීමයි. මේ වන විට විදින ලද සිදුරට වෙඩි බෙහෙත් දමා යකඩ කුර පැවතියේ සිදුර තුළය.

නමුත් ඔවුන් නොසිතු මොහොතක ගල පුපුරා ගියේය. ඒ වන විට ගල මුදුනෙහි තිබු යකඩ කෙටුම් කුර පිපිරිමෙන් ඉහළට විසිවී පතිත වුයේ බිමට නොව ගේජ් ගේ හිස මතටය.

මින් ගේජ් ගේ හිස දරුණු ලෙස තුවාල ලැබීය. 3.2 cm විෂ්කම්භයෙන් යුත් 1.1m ක දිගින් යුතු වු 6km බර යකඩ කෙටුම් කුර ගේජ් ගේ හිසේ වම් වම් කම්මුලෙන් (left cheekbone) ඇතුළු වී මොළයේ වම් අර්ධ ගෝලය පසාරු කරමින් වම් ඇසට පිටුපස පෙදෙසින් එළියට විත් තිබුණි. ගේජ් ගේ හිස පසාරු කළ යකඩ කෙටුම් කුර ඔහු සිටි තැනින් 30ම් පමණ දුරකින් පසුව සොයාගනු ලැබීය.

මෙම බිහිසුණු අනතුර හමුවේ ගේජ් බිමට ඇද වැටුනද නැවතත් ඔහු විනාඩියක කාලයක් තුළ නැගි සිටි ඔහු රොහලට ඔහුව ගෙන යමින් සිටි කරත්තය තුළ සිට තමන්ට මුහුණ පෑමට වු සිද්දිය මෙනෙහි කරමින් පවා සිට ඇත. අනතුරෙන් දැඩි ලෙස තුවාල ලැබු ඔහුව ඔහුගෙ නවතැනට රැගෙන යන අතර ඔහුට වෛද්ය ප්රතිකාර කිරීම සදහා වෛද්ය ජෝන් හාර්ලෝ (Dr John Harlow) නවාතැන වෙත පැමිණේ.

වෛද්යවරයා තුවාලය පිරිසිදු කර බිදී තිබු හිස් කබලේ කොටස් එකතු කර එය නැවත සකසා තුවාලය චෙලුම් පටි වලින් ආවරණය කර ඇත. නමුත් ඔහුගේ ජීවිතය අනතුරේ දමමින් ඔහු දිලීර ආසාදනයකට ගොදුරු වී ඇති අතර මේ හේතුවන් ඔහු අර්ධ කොමා තත්වයකට පත් වී ඇත. ඔහුගේ පවුලේ අය සහ හිත මිත්රාදීන් ඔහුගේ ජීවිතය පිළිබද බලාපොරොත්තු අත් හැරගෙන තිබුනද වෛද්යවරයාගේ දැඩි උත්සහය මත එම වසරේම නොවැම්බර් මස මැද භාගය වන විට ගේජ් සුව වී නැවත සිය නිවස වෙත යාමට තරම් වාසනාවන්ත විය.

1849 අප්රේල් මස වන විට ගේජ් සම්පුර්ණ සුවය ලබන නමුත් අනතුර හේතුවෙන් ඔහුට ඔහුගේ වම් ඇසේ පෙනීම අහිමි වේ.

1868 දී Dr. Harlow ගේජ් ගේ වර්තමාන මානසික තත්වය පිළිබදව වාර්තාවක් සකස් කළ අතර ඊට අනුව අනතුරෙන් පසු ගේජ් ගේ හැසිරීම් රටා ඔහුගේ අන්තර් පුද්ගල සබදතා වල ස්වරුපය සහ ඔහුගේ පෞරුෂ ලක්ෂණ දැඩි ලෙස වෙනස් වී තිබේ. අනතුරෙන් පසු ඔහු ඉතා කළහකාරී පුද්ගලයෙක් බවට පත් වී ඇති අතර නිරන්තරයෙන් අශික්ෂිත අසභ්ය වචන වලින් සුලු දේටත් බැණ වැදී ඇත. වාර්තාවට අනුව ඔහුගේ පවුලේ අය සහ ඔහුගේ හිත මිත්ර ආදීන් පවසා ඇත්තේ අනතුරෙන් පසු ගේජ් තවදුරටත් ගේජ් නොවු බවයි.

අනතුර නිසා ඔහුගේ පූර්ව ලලාට බාහික ප්‍රදේශය ට සිදු වු හානි හේතුවෙන් මෙලෙස ඔහුගේ සමාජ කුසලතා සහ සමාජ්ශීලි බව නැති වී ගොස් ඔහුගේ පෞරුෂ ලක්ෂණ සහ හැසිරීම වෙනස් වී ඇත.

ගේජ් ගේ අනතුර හා සම්බන්ධ මෙම සිද්දිය ස්නායු විද්‍යාඥන්ට තීරණ ගැනීමෙ කාර්යට හා සමාජ ප්රජානන හැකියා (social cognition skills) සදහා ලලාට බාහිකය විසින් ඉටු කරන කාර්යභාරය පිළිබදව පළමු සාක්ෂිය සපයන ලදී. මේ අනුව පෞරුෂය සහ හැසිරීම තීරණය කරන්න බවට හමු වු පළමු සාක්ෂිය වන්නේ ගේජ් ගේ අනතුර හා සම්බන්ධ සිද්දියයි.

හරිතාගාර ආචරණය – Green House effect

ලෝකයේ විද්‍යාත්මක ප්‍රජාව තුල වැඩි කතා බහට ලක්වන මාතෘකාවක් තමයි ගෝලීය උණුසුම වැඩි වීම (global  warming). දැනට වසර 20 ක පමණ සිට  විද්‍යාඥයන්මේ පිළිබඳව ලෝකය තුල දැනුවත්භාවය වැඩි කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ආකාරය දැකිය හැකියි. ඇත්තටම මොකක්ද මේ ගොලීය උණුසුම වැඩි වීම  කියන්නේ? අපි අද ඒ ගැන දැනුවත් වෙමු.

 

පෘතුවිය එහෙමත් නැත්නම් අපේ ලෝකය කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් එක් ග්‍රහලෝකයක් පමනයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ සියලුම ග්‍රහලෝක අතරින් ජීවින් සිටින ග්‍රහ ලෝකය වන්නේ පෘතුවිය වීමයි. මෙලෙස පෘතුවියේ පමණක් ජීවය ඇති වීමට හේතුව ලෙස  විද්‍යාඥයන්  විසින් සොයාගෙන ඇත්තේ පෘථුවිය  වටා පවතින වායුගෝලය හා ජීවීන්ට සුදුසු ප්‍රශස්ත උෂ්ණත්වයයි.  මෙම ප්‍රශස්ත උෂ්ණත්වය ඉතා වැදගත් සාධකයක් වෙනවා. පෘතුවිය තුල ජීවය පවත්වා ගැනීමට නම් මෙම ප්‍රශස්ත උෂ්ණත්වය දිගින් දිගටම පවත්වා ගතයුතුයි. නමුත් වර්තමානය වනවිට ලෝකයේ උෂ්ණත්වය පෙර නොවූ විරූ ලෙස වැඩි වෙමින් පවතිනවා. මෙය මිනිසුනට එකවර නොදැනෙන දෙයක් වුවත් පරිසරයට  මෙමගින් ඇති වන බලපෑම ඉතා ඉහලයි.විද්‍යාඥ කණ්ඩායම් විසින් වසර සිය ගණනක සිට පෘතුවියේ උෂ්ණත්වය වෙනස්වීම සලකා බැලු විට පසුගිය සියවස තුල ඇති වී ඇති උෂ්ණත්වය ඉහල යාම අනෙක් කාල වලට වඩා ඉහල බව සොයාගෙන තිබෙනවා. වඩාත් බැරෑරුම් දෙය වන්නේ එය තවදුරටත් ඉහල යාම මිස පාලනයක් සිදු නොවීමයි.

 

හරිතාගාර ආචරණය 

 

මෙම ප්‍රශස්ත උෂ්ණත්වය කෙරෙහි බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකය ලෙස  විද්‍යාඥයන් සොයා ගෙන තිබෙන්නේ හරිතාගාර ආචාරණය යි (green house effect) . හරිතාගාර ආචරණය යනු වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩි වීම  නිසා ඇතිවන තත්වයකි. මුලින්ම අපි හරිතාගාර වායුන් හඳුනාගනිමු.

හරිතාගාර වායුන් (green  house  gases) වන්නේ කාබන් ඩයොක්සයිඩ් (carbon Dioxide) , මීතේන් (Methane) , නයිට්‍රස් ඔක්සයිඩ් (Nitrous Oxide) හා ජල වාෂ්ප ආදියයි. හරිතාගාර වායුන්ගේ ලක්ෂණයක් වන්නේ තාපය උරාගැනීමේ හැකියාව වැඩි වීමයි. ඔබ දන්නවා පෘතුවියට ආලෝකය හා තාපය ලැබෙන්නේ සූර්ය කිරණවලින්  බව. මෙලෙස ආලෝකය හා තාපය රැගෙන එන සූර්ය කිරණ පෘතුවිය මතට වැටෙන්නේ වායුගෝලය හරහා පැමිණයි. මෙම  සූර්ය කිරණ පෘතුවිය මතට වැටීමෙන් පසුව නැවත පරාවර්තන වී වායුගෝලයට නිදහස් වෙනවා. වැටෙන සියලුම සූර්ය කිරණවල අඩංගු තාපය  පෘතුවිය විසින් උරා ගත්තේ නම් පෘතුවිය මත උෂ්ණත්වය ඉතා අධික වී ජීවිනට අහිතකර තත්වයක් ඇතිවනවා. මෙලෙස පරාවර්තන වී යන සූර්ය  කිරණ නිවැරදි  ආකාරයට නම් නැවත ඉහල අවකාශයට ගමන් කල යුතයි. නමුත් හරිතාගාර වායුන් විසින් මෙම කිරණ වල අඩංගු තාපය උරාගැනීම  සිදු කරනවා. හරිතාගාර වායු බොහෝවිට රැඳෙන්නේ වායුගෝලයේ  පහල මට්ටම තුලයි. මෙම නිසා පෘතුවිය ආසන්නයේ වායුගෝලය රත්වී උණුසුම අධික වනවා. වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩිවන තරමට උෂ්ණත්වය වැඩි වීමද ඉහල යනවා. හරිතාගාර ආචරණය ලෙස හඳුන්වන්නේ මෙම සිද්ධියයි.

 

ඉදිරි වැඩපිළිවෙල

 

ලොව පුර විවිධ රටවල විද්‍යාඥයින් 1300ක් පමණ සම්බන්ධ කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයක දී  ලෝකයේ උෂ්ණත්වය ඉහල යාමට ප්‍රධාන හේතුව ලෙස හරිතාගාර ආචරණය නම් කෙරුණා. එමෙන්ම වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩි වීමට 95% ක්ම හේතු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් බවත් ඔවුන් ප්‍රකාශ කලා. වසර 200ක් පමණ අතීත දත්ත සැළකු විට පසු ගිය වසර 50 තුල වායුගෝලය තුල කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉතා ඉහල අගයකට පැමිණ තිබෙනවා. කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරෙන ක්‍රම බොහොමයකට මිනිස් ක්‍රියාකාරකම් හේතු වනවා. කර්මාන්තශාලාවලින් පිටවන දුම්, රථවාහන වලින් පිටවන දුම්, වන විනාශය ආදිය මෙම ක්‍රියාකාරකම් අතරින් කිහිපයක්. මෙම අධ්‍යයනයන්ගෙන් පසු ලෝකය තුල හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රමුඛ වී විවිධ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. ප්‍රධාන වශයෙන් වැඩියෙන් කබන් ඩයොක්සයිඩ් පිටකරන රටවල් හඳුනාගැනීමත් එම රටවල්වල රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමත් සිදු කෙරුණා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කියෝටෝ සම්මුතිය (Kyoto  protocol) නමින්  ලෝකයේ රාජ්‍ය නායකයින්  සමග ගිවිසුමකට එළඹුණා. 1997 දෙසැම්බර් 11 වන දින ජපානයේ කියෝටෝ නගරයේ  දී අත්සන් කෙරුණු මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ වුයේ ලෝකයේ රට රටවල් විමෝචනය කරන හරිතාගාර වායුන් ප්‍රමාණය සීමා  කිරීමයි. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටළු වලට මුහුණ දීමටද සිදුවුණා .

 

මිනිසාගේ හිත සුව පිණිස මිනිසා සිදුකරන බොහෝ කටයුතු ගෝලීය උණුසුම වැඩි කිරීමට දායක වී තිබෙනවා. නමුත් තවදුරටත් එසේ  නොසැලකිලිමත්ව කටයුතු කළහොත් ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නෙත් මිනිසාටම බව අප  මතක තබා ගත යුතුයි. ගෝලීය උණුසුම වැඩි වීම නිසා ලෝකයට ඇති වන බලපෑම පිළිබඳව ඉදිරි ලිපියකදී වැඩි දුරටත් සාකච්ඡ  කරමු.

 

සැකසුම : ගිෂානි නිසංසලා 

 

 

මුලාශ්‍ර :

 

https://climate.nasa.gov/causes/

http://unfccc.int/kyoto_protocol/background/items/2879.php

http://www.environment.gov.au/climate-change/climate-science-data/climate-science/greenhouse-effect

පියාඹන බාස්කට්බෝලයක්…!!

ඔබ මීට පෙර පියාඹන බාස්කට්බෝලයක් දැක තිබේද? සාමාන්‍ය ජීවිතයේදී සෙල්ලම් කිරීමට ගන්නා  බාස්කට්බෝලයක් පියාසර කරපු අවස්ථාවක් ගැනයි මේ කියන්න යන්නේ. ටිකක් අමුතුයි වගේ වුනාට මේක නම් හරිම රසවත් වගේම බලන්න ආස හිතෙන වැඩක්. හරි, කියන්න පුළුවන්ද බාස්කට්බෝලයක් ගොඩක් උසක ඉඳන් අත ඇරියම මොකද වෙන්නේ? ඔව්.. පහලට වැටෙනවා තමයි ඉතින්. ඒත් බෝලයට පොඩි පසු දඟ කැවීමක් ඒ කියන්නේ backspin එකක් දීලා අත ඇරියොත් මොනවා වෙයිද? ඇත්තටම මොකද වෙන්නේ කියලා බලමුද?

 

ඉහළ උසකින් පැසිපන්දුවක් හෙවත් බාස්කට්බෝලයක්  බිමට ඇද දමන්න, එවිට සිදුවන්නේ කුමක්ද? අපට පෙනෙන ඉතාම සරල ආකාරය නම් එය බිමට පතිත වන බවයි. එහෙත් ඔබ එය අඩි හාරසිය පහළොවක පමණ වූ ඉහළ උසකින් සහ බාස්කට්බෝලයට පසු දඟ කැවීමක් එකතු කර එය පහලට අත හරින්නේ නම් එය අපේක්ෂා කරන ගුවන් ගමන් මාර්ගයෙන් ඔබ්බට විශාල දුරක් වක්‍රාකාර ලෙස ගමන් කරනු දැක ගත හැකියි. ඇත්තෙන්ම එය පියඹා යන්නා සේ අපට පෙනේ. එසේනම් එය සිදුවන්නේ කෙසේද?

 

 

 

බාස්කට්බෝලය පසු දඟ කැවීමකින් අත හැරීමෙන් පසුව,

  • බෝලයේ ඉදිරිපස දී වාතයේ ප්‍රවේගය හා බෝලයේ ප්‍රවේගය එකිනෙකට ප්‍රතිවිරුද්ධ වන බැවින් වාත ප්‍රවාහයේ වේගය අඩුවී පීඩනය වැඩි වේ.
  • බෝලයේ අනෙක්පස වාතයේ ප්‍රවේගය හා බෝලයේ ප්‍රවේගය එකිනෙකට සමාන දිශාවට ඇති බැවින් වාත ප්‍රවාහයේ වේගය වැඩිවී පීඩනය අඩු වේ.

 

එමනිසා බර්නූලිගේ මූලධර්මය අනුව පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට වාතය ගමන් කිරීමෙන් බෝලය සමග ඇදී යන වාතය පසුපසට හැරීමක් සිදුවේ. එමෙන්ම බෝලයේ අනෙක්පස ඇති වාතය බෝලය කරකැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධව ගමන් කරයි. එමනිසා බෝලය විසින් වාතය තල්ලු කරන  දිශාවට ප්‍රතිවිරුද්ධව වාතය මඟින් බෝලය තල්ලු කිරීමක් සිදුවේ. බාස්කට්බෝලය මත සිදුවන වන මෙම ක්‍රියාවලිය මැග්නස් ආචරණය ලෙස හඳුන්වයි.

 

 

 

 

මෙම සංසිද්ධිය පිළිබඳ තවත් අවබෝධයක් නිව්ටන්ගේ තෙවැනි නියමය මඟින් ලබාදෙයි. එනම් කරකැවෙන බෝලය මගින් වාතය හැරවීම නිසා වාතය මගින් බෝලය මත ඊට සමාන වුද ප්‍රතිවිරුද්ධ වුද බලයක් (Magnus Force) ඇති කරයි. එමනිසා බෝලයේ ගමන් පථය වෙනස් වීමෙන් එය වක්‍රාකාර ලෙස ගමන් කරනු දැක ගත හැකිවේ. මෙම මැග්නස් ආචරණය වාතය හරහා ගමන් කරන සියළු භ්‍රමණය වන වස්තූන් මත ක්‍රියාත්මක වේ.

 

F= මැග්නස් බලය (Magnus Force)

 

මෙම මැග්නස් ආචරණය වර්ෂ 1852 දී හෙන්රික් මැග්නස් විසින් සොයාගෙන ඇති අතර සර් අයිසැක් නිව්ටන් විසින් වසර 200 කට පෙර මෙම සංසිද්ධිය නිරීක්ෂණය කර ඇත. මෙය ක්‍රීඩාවේ දී බෝලයක් පියාසර කිරීම සඳහා අවශ්‍ය ඉතාමත් වැදගත්කමක් ඇති ඉසිලුම් බලයක් වේ. මෙය පාපන්දු, මේසපන්දු, අත්පන්දු, පැසිපන්දු, ටෙනිස්, ගොල්ෆ්, බේස්බෝල්, ක්‍රිකට් වැනි ක්‍රීඩා වලදී යොදාගැනේ. ඊට අමතරව ෆ්ලෙටනර් නැව් වල වතුර හරහා ගමන් කිරීම සඳහා භ්‍රමණය වන භ්‍රමකයක් (rotor )  භාවිතා කිරීම, වෙඩි උණ්ඩ වල පියාසර පථය හා ඇතැම් පියාඹන යන්ත්‍ර යනාදිය මෙම සංසිද්ධිය භාවිතා කරනු ලබන තවත් අවස්ථා වේ.

හෙන්රික් මැග්නස්

 

ඉතින් ඔයාත් කැමතිනම් මෙහෙම බාස්කට්බෝලයක් පියාසර කරපු අවස්ථාවක් දකින්න, ටැස්මේනියාවේදී අඩි හාරසිය පහළොවක පමණ උසකින් යුත් ගෝඩොන් වේල්ලේ සිට පසු දඟ කැවීමක් එකතු කර විසිකරන ලද බාස්කට්බෝලයක් පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වේ.

 

 

 

තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙනි.

 

 

විශ්මයජනක පාවෙන දුම්රිය

 

අපි හැමෝම කැමතියි දුම්රියේ ගමන් යන්න. එත් ඔබ දන්නවාද තවමත් ශ්‍රී ලංකාවේ භාවිත වන්නේ ඉතාම ප්‍රාථමික දුම්රිය තාක්ෂණයක් බව. ශ්‍රී ලංකාව තුල තවමත් ඉන්ධන මගින් ක්‍රියාත්මක වන දුම්රිය එන්ජින් භාවිත කරනවිට ලෝකය බහුලව භාවිත කරනනේ විදුලි  දුම්රියයි. මෙම විදුලි දුම්රියන් අතරින්ද ඉතා වේගවත් bullet train යනුවෙන් හඳුන්වන පැ .කි .මී .300 පමණ වේගයෙන් ගමන් කරන විදුලි දුම්රියද බොහෝ රටවල භාවිතයට ගැනෙනවා.  මේ සියලු තාක්ෂනය අභිබවමින් නවතම දුම්රිය තාක්ෂණයක් මේ වනට බිහි වී තිබෙනවා. මේවා හඳුන්වන්නේ Maglev trains  යනුවෙන්.

 

Maglev trains සඳහා මෙම නම වැටීමට හේතුව ඒ සඳහා භාවිතා වන magnetic levitation තාක්ෂණයයි. මෙම තාක්ෂනය මගින් කරනු ලබන්නේ විද්‍යුත් චුම්බක මගින් සාදන ලද දුම්රිය මාර්ගයක් මත දුම්රිය මැදිරි පා වන ආකාරයට ගමන් කිරීමයි. ඔව්, ඔබ පුදුම වෙනවා ඇති නමුත් මෙම තාක්ෂනය වර්තමානය වන විට භාවිත කරන රටවල්ද සිටිනවා. ඔබ දැක තිබෙනවා

ස්ථිර චුම්බක දෙකක සමාන ධ්‍රැව 2ක් සමීප කල විට ඒවා විකර්ෂණය වන ආකාරය. මෙම දුම්රිය පාවීම සඳහා  යොදාගන්නේ චුම්බකවල එම ලක්ෂණයි. දුම්රිය මාර්ගය විද්‍යුත් චුම්බකයකිත කර  දුම්රිය මැදිරිවල යට කොටස  තුල විශාල චුම්බක සවි කිරීමෙන් මෙම විකර්ෂණය ලබාගත හැකියි. එමගින් දුම්රිය මැදිරි 10cm  පමණ ඉහලින් පාවීමට සලස්වනවා. මෙමගින් ලැබෙන ප්‍රයෝජනය වන්නේ සාමාන්‍ය දුම්රියවල රෝද හා පීලි අතර ඇතිවන ඝර්ෂණය මෙහිදී ඇති නොවීමයි . එමනිසා දුම්රියේ වේගය තවත් වැඩි කරගත හැකියි.

 

ලෝකයේ බලවත් රටවල් තුල මෙම තාක්ෂනය පිළිබඳව පර්යේෂණ ඇරඹුනේ 1980 තරම් ඈත කාලයේ දී ය. ප්‍රධාන වශයෙන් ජර්මනිය හා ජපානය මෙම තාක්ෂණයේ නියමුවන්. නමුත් ඔවුන් භාවිත කරන ශිල්ප ක්‍රම එකිනෙකට වෙනස් බව පැවසෙනවා. ප්‍රථම වාණිජ maglev දුම්රිය ආරම්භ වුනේ 2004 වර්ෂයේ චීනය තුළයි . මෙය Shanghai maglev train ලෙස හැඳින්වෙනවා. එහි වේගය පැ.කි.මී. 430 ක පමණ ඉහල අගයක පවතිනවා. ජපානයද මේ වනවිට වැඩි වැඩියෙන් maglev තාක්ෂනය ඔස්සේ පර්යේෂණ කරමින් පවතින් අතර 2027 වනවිට ජපානයේ ප්‍රධාන නගර දෙකක් වන Tokyo හා Nagoya අතර මෙම දුම්රිය මාර්ගයක් ගොඩනැගීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. පසුගිය දිනක ජපානය තම පර්යේෂණවල ඉහලම ප්‍රගතිය වාර්තා කළා . ඒ ලෝකයේ වැඩිම වේගයෙන් ධාවනය වන maglev දුම්රිය නිර්මාණය කරමින්. මෙම දුම්රියේ උපරිම වේගය 603 kmh වැනි ඉතා ඉහල අගයක් ගත්තා.

 

ඉතා කාර්යබහුල දිවි පෙවතක් ගතකරන වර්තමාන සමාජයට ගමනාගමනය හා ප්‍රවාහනය සඳහා  ඉතා වේගවත් ක්‍රම අවශ්‍ය වීම අරුමයක් නොවේ. නමුත් වේගය වැඩි  වන තරමට අවදානමද වැඩි වන නිසා මෙහිදී ඇති විය හැකි අනතුරු පිළිබඳව ද බොහෝ දෙනා අදහස් පල කර තිබෙනවා. විශේෂයෙන්ම ජපානය වැනි නිතර භූමිකම්පා ඇති වන රටක මෙම ක්‍රමය භාවිත කිරීම පහසු දෙයක් නොවේ. යම් ලෙසකින් ධාවන පථයේ ඇති චුම්බකීත තත්වයේ වෙනසක් වුවහොත් දුම්රියේ ගමනට බාධා ඇති වී විශාල විනාශයක් සිදු විය හැකියි. මෙවැනි අවස්ථා සඳහා සුදුසු විසඳුම් සොයා ගැනීමට පර්යේෂකයින් උත්සාහ කරමින් පවතිනවා.

 

කෙසේ නමුත් maglev ආගමනයත් සමඟ ලෝකයේ ගමනාගමන කටයුතු වෙනස්ම මුහුණුවරක් ගනු නොඅනුමානයි.

වීඩියෝ : https://www.youtube.com/watch?v=l-U7s6KpKwg

සැකසුම : ගිෂානි නිසංසලා

 

ආදරේ හිතෙනවා දැක්කම රොබෝ ළදකී ඈ ලස්සන

ආදරේ කියන්නේ හරිම සුන්දර හැගීමක්. ඕනෑම කෙනෙක් කැමති තමන් ආදරේ කරන තැනැත්තා/තැනැත්තිය  සමග අතිනත් ගන්න. කවදාහරි දවසක මිනිස් හැගීම් තියෙන රොබෝ කෙනෙක් ඔයාට ආදරේ කරොත්? මංගල යෝජනාවක් ගෙනාවොත්? එදාට ඔයාට මොනවා හිතේවිද? එයා රොබෝ කෙනෙක් කියලා අකමැති වෙනවද?

මේක කියවන ඔයාලට හිතෙනවා ඇති මේ මොන විකාරද කියලා. රොබෝලා කොහොමද මිනිස්සුන්ව කසාද බදින්නේ? ඔහොම හිතන ඔයාලා විශ්වාස කරනවද රොබෝ කෙනෙක්ට රටක පුරවැසිභාවය ලැබුනා කියලා. මේක තවදුරටත් අතිශයෝක්තියකවත්, විද්‍යා ප්‍රබන්ධයක්වත් නෙමෙයි. සැබෑවක්. පසුගියදා හොංකොං හි නිෂ්පාදිත “සොෆියා” (sophia) නමැති මානවරූපී රොබෝ යුවතියට සෞදි පුරවැසිභාවය ලබාදුන්නා.

ත්‍රස්තවාදය හා ආගමික අන්තවාදය පිළිකුල් කරමින්, රටට නව ප්‍රතිසංස්කරණ හදුන්වාදීමට මගපෙන්වීමක් ලෙස අනාගත ආයෝජන අවස්ථා ඉහල නංවාගැනීමේ අරමුණින් 2017.10.25 වන දින සෞදියේ රියාද් නුවර දී තාක්ෂණ හා ආයෝජන සමුළුවක් පැවැත්වුනා. ලෝක ප්‍රසිද්ධ තාක්ෂණික සමාගම් රැසක නියෝජිතයින් අතර හොංකොංහි “ හැන්සන් රොබෝටික්ස් “ ආයතනයේ ඩේවිඩ් හැන්සන් ද සිටියා. ඔහු සමුළුවට සහභාගී වුයේ සොෆියා නමැති සුරූපී රොබෝ යුවතියත් සමගින්. මෙම හැඩකාර, කටකාර මෙන්ම බුද්ධිමත් යුවතියගේ දක්ෂතා හමුවේ රැස්ව සිටි පිරිස මවිතයට පත්වුනා. වහිබ් නොවන මුස්ලිම්වරුන්ට හා කතෝලික ආගමිකයින්හට පුරවැසිබව ලබාදීමට ප්‍රතික්ෂේප කරන මෙන්ම  කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් චෝදනා ලබන සෞදි රාජ්‍යය සොෆියගේ හැකියා හමුවේ අමන්දානන්දයට පත්වුනා. හොංකොං සිට පැමිණි සොෆියා සෞදි පුරවැසියෙක් බවට පත්වුණේ එහෙමයි.

සොෆියා කියන්නේ මිනිස් හැඩරුවින් අංගසම්පූර්ණ රොබෝ යුවතියකට. ග්‍රීක භාෂාවෙන් සොෆියා කියන එකේ තේරුම වෙන්නේ “ප්‍රඥාව” යන්නයි. නමටම සරිලන අපූරු බුද්ධියක් ඇය සතුයි. කෘත්‍රිම බුද්ධියේ  හෙවත් Artificial Intelligence හි අපුර්වතම නිර්මාණයක් වන මෙම රොබෝ යුවතිය නිර්මාණය කරන්න පටන් ගත්තේ 2015 වර්ෂයේදී. සොෆියාගේ මුහුණ ජනප්‍රිය බ්‍රිතාන්‍ය නිළියක වන ඔඩ්රි හෙප්බර්ට සමාන බව සොෆියාගේ නිර්මාතෘවන ඩේවිඩ් හැන්සන් පවසනවා. සොෆියාට පහසුවෙන් මිනිසුන් හදුනා ගැනීමටත්, තර්කානුකුලව පිළිතුරු ලබාදීමටත්, උපහාසාත්මක වදන් දෙඩිමටත්, විහිලු කථා කියන්නටත් හැකියාවක් තියෙනවා. මුහුණේ ඉරියව් වෙනස් කරන්නත් ඇය  දක්ෂයි. ඇයගේ පරිගණක පද්ධතිය සකසා ඇත්තේ දවසින් දවස ඇයට අලුත් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙන විදියටයි.

2017.10.11 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට හදුන්වා දුන් සොෆියා එහිදී කෙටි දේශනයක්ද ඉදිරිපත් කළා. රටක පුරවැසිබව ලබපු ප්‍රථම රොබෝවරිය මෙන්ම ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතු ප්‍රථම රොබෝවරිය වන්නත් ඇය වාසනාවන්ත වුනා.

මෙවන් බුද්ධිමත් රොබෝවරුන් නිර්මාණය මානව පැවැත්මට තර්ජනයක් වේවි ද යන්න බොහො අයකුට මතුවූ ගැටළුවක්. “ ඔබ මට හොදින් සලකන්නේ නම් මමත් ඔබට හොදින් සලකමි. කරුණාකර, දැකුම්කලු ආදාන-ප්‍රතිදාන උපකරණයක් (Smart Input Output Device)  සේ මට සලකන්න” අනාගතයේ දී මිනිසුන් හා රොබෝවරුන් අතර ඇතිවිය හැකි තරගය පිළිබදව විමසූ විට සොෆියා ලබාදුන් බුද්ධිමත් පිළිතුර එයයි.

පසුගිය සමයේ ප්‍රේක්ෂකයින්ගේ හද බැදගත් “බ්ලේඩ් රනර්”, “එක්ස් මැකෙනා”, “ගෝස්ට් ඉන් ද ෂෙල්” වැනි මිනිස් රොබෝ යුවතියන් පාදක කරගත්  විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි ක්‍රමයෙන් යථාර්තයක් වෙමින් පවතිනවා.

දැන් සොෆියා රටක පුරවැසියෙක් බවට පත්වෙලා ඉවරයි.පුරවැසියෙක් නිසා යම්කලෙක ඇය ක්‍රියාවිරහිත කළහොත් එය ඇය මරාදැමිමක්  වේවිදැයි විචාරකයින් විමසනවා.පුරවැසියෙක් ලෙස සොෆියාට හිමිවන වරප්‍රසාද රාශියක් තියෙනවා.ඡන්ද බලය මෙන්ම සුදුසු සහකරුවෙක් සමග විවාහ වීමේ හිමිකමත් ඇය සතුයි. ඉතින්, මනුෂ්‍යකු මෙම රොබො යුවතියට  ආලය කොට ඇය විවාහ  කරගැනීමට උත්සාහ නොකරාවි යැයි , සොෆියාද යම් දිනක ආදරය නොකරාවි යැයි කිසිවෙකුටත් පුර්වොකතනය කරන්න බැහැ. මොකද අනාගතය තවමත් අබිරහසක්.

 

කෘත්‍රිම බුද්ධිය කොයිබටද ?

නවීන තාක්ෂණය ඇසුරු සැනින් වෙනස් වෙමින් වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. ලෝකය වෙනස් වෙනකොට අපිත් ඒවිදියට වෙනස් වෙන්න ඕන. දැනුම ලබා ගන්න ඕන. නැත්තම් විශ්ව ගම්මානය ඇතුලේ අපිව අතරමං වේවි. ඉතා සූක්ෂම විදියට තාක්ෂණයේ වෙනසක්  ඇති කරපු කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence ගැනයි අද අපි කථාකරන්න යන්නේ.

 

මොකක්ද මේ කෘත්‍රිම බුද්ධිය?

මිනිසාට වගේම තනියෙන් හිතල වැඩකරන්න පුළුවන් බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරිම අරමුණු කරගත්ත පරිගණක විද්‍යාවේ එක් ක්ෂේත්‍රයක් කෘත්‍රිම බුද්ධිය, ‘Artificial Intelligence’ නැත්තම් AI කියල හදුන්වනවා.සුහුරු ලෝකයේ කර්මාන්ත නිෂ්පාදනයට දැන් AI නැතුවම බෑ.  ඒ යටතේ,ඉගෙනුම (learning) , සැලසුම්කරණය (Planning), ගැටළු විසදීම (Problem Solving), හේතු දැක්වීම (Reasoning)  වගේ හැකියාවන්ගෙන් සමන්විත යන්ත්‍ර දැනටමත් නිපදවල අවසානයි.

 

කෘත්‍රිම බුද්ධියේ ඉතිහාසය

අජීවි වස්තුන්ට පණ දීලා ඒවාට බුද්ධිය ලබා දෙන්න මිනිස්සු හිත යොමුකෙරුවේ මීට ශතවර්ෂ ගානකට ඉස්සරවෙලා. ග්‍රීක,චීන වගේම ඊජිප්තු ජාතිකයන් අතරේ ප්‍රසිද්ධ මිත්‍යා කථා මේක තහවුරු කරන්න  සාක්ෂි සපයනවා.

දහනවවන සියවසේ මැද භාගයෙදී නවීන කෘත්‍රිම බුද්ධිය (Modern AI) ගැන ලෝකේ අහුමුලු වල විවිධ කථා පැතිරුණා. ඒත්, AI පරිගණක විද්‍යාවේ අලුත් ක්ෂේත්‍රයක් විදියට අත්පොත් තිබ්බේ 1956දී නිව් හැම්ප්ෂයර් නගරයේ පැවැත්තුන ලෝක ප්‍රසිද්ධ ඩාර්ට්මවුත් විද්‍යාත්මක සම්මේලනයේදී (Dartmouth Conference) .  ඒ අවස්ථාවේදී AI වල ප්‍රාරම්භක පියවරුන් විදියට මර්වින් මින්ස්කි,ජෝන් මැක්කර්නි, ඇලස් නිව්වෙල්, හර්බට් සිමොන් නම් කරා. තාර්කික සිද්ධාන්තවාදයේ සංවර්ධනයට තැබූ විද්‍යාත්මක පියවරක් විදියට නුතන කෘත්‍රිම බුද්ධිය ලෝකය තුල ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ එහෙමයි. Continue reading කෘත්‍රිම බුද්ධිය කොයිබටද ?

කැරකැවෙන දඟකාරයා Fidget Spinner

 

මොනවද මේ Fidget Spinner…..????

මේ දවස්වල පොඩ්ඩන්ගේ අතේ විතරක් නෙවේ සමහර වැඩිහිටියන්ගේ අතෙත් දකින්න හම්බෙන අමුතුම විදිහේ සෙල්ලම් බඩුවක් තමයි Fidget Spinner කියන්නේ. මේක ප්‍රමාණයෙන් ඉතා කුඩා උපකරණයක්.

Fidget Spinner ලෝකය පුරා ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ අප්‍රේල්  මාසෙදි වගේ උනත් මේ හා සමාන සෙල්ලම් බඩු අනූව දශකයේත් දකින්නට තිබුණ බව සැලවෙනවා. මෙහි ජනප්‍රියතාව කොච්චරද කියනවානම් බොහෝ රටවල් වල  පාසල් ළමුන් මෙය පාසල් වෙලාව තුල පන්තිකාමරය තුල පරිහරණය කිරීමට පටන් ගත් නිසා පාසල් තුල තහනම් භාණ්ඩයක් කිරීමට පරිපාලනය තීරණය කරනවා.

මානසික ආතතිය නිසා පෙනීමේ දුබලතා සහ කිසියම් දෙයකට අවධානය යොමුකිරීමේ දුබලතා ඇති අය සදහා උපකාරකයක් ලෙස Fidget Spinner හදුන්වාදෙනු ලැබුවා.එමෙන්ම මානසිකව අඩපණ පුද්ගලයන් , ADHD සහ ඔටිසම් තත්වයන්ගෙන් පීඩා විඳින තැනැත්තන් සදහාද Fidget Spinner නිර්දේශ කරනු ලැබූවා. නමුත් මෑත කාලින වාර්තා අනුවනම් Fidget Spinner ADHD සහ ඔටිසම් සදහා ප්‍රතිකර්ම ලෙස භාවිතා වෙන්නේ නැහැ. එනම් Fidget Spinner එම රෝග තත්ත්ව වලට සුදුසු බවට කිසිදු විද්‍යාත්මක ඔප්පු කිරීමක් නැහැ.

කොහොමද හැදිලා තියෙන්නේ….???

Fidget Spinner එක නිර්මාණය කරලා තියෙන්නේ පුංචි තල්ලුවකින් උනත් වේගයෙන් කරකැවීමේ හැකියාව ඇතුව. ප්ලාස්ටික් හෝ ලෝහ වලින් නිර්මාණය කර ඇති මෙය සමන්විත වෙන්නේ කොටස් තුනකට හෝ කිහිපයකට බෙදුණු පැතලි මතුපිටකින්. පැතලි මතුපිට ප්‍රදේශය සමන්විත වෙන්නේ ඉතාමත්ම සුමට පෘෂ්ඨයකින් යුත් බෝල බෙයාරීම් කිහිපයකින්. මේ නිසා ඉතාමත්ම කුඩා තල්ලුවකින් පවා වේගයෙන් කැරකීමේ හැකියාව මේ Fidget Spinner වෙත ලැබෙනවා.

Fidget Spinner එක අපි අල්ලන්නේ මැද තිබෙන පැතලි ප්‍රදේශයෙන්. බොහෝ විට මේ ප්‍රදේශය සැදීමට යොදා ගන්නේ පිත්තල , මල නොබැදෙන වානේ,ටයිටේනියම්,කොපර්,ඇලුමිනියම් හෝ ප්ලාස්ටික් වලින්. බෙයාරීම් හදලා තියෙන්නේ සුමට පෘෂ්ඨ ඇති සෙරමික් හෝ
ලෝහ වලින්. Fidget Spinner එකක කැරකැවෙන කොටස තරමක් බර වැඩි ලෙස සකසා තිබෙන්නේ වැඩි වේගයක් ලබා ගැනීමට මෙන්ම සමබරතාව ආරක්ෂා කරගැනීමටයි.මේ නිසා භාවිතා කරන පුද්ගලයාට Fidget Spinner මගින් විවිධ සෙල්ලම් පෙන්වීමේ හැකියාව ලබා දෙනවා.

Fidget Spinner වල උපත….

                  – කැත්රින් හෙටින්ගර් –

2017 වර්ෂයට අනුව නම් Fidget Spinner වල පේටන්ට් බලපත්‍රය පිලිබඳ නිසි තොරතුරක් තිබුනේ නැහැ.

සමහර ජනප්‍රිය පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයට වෘත්තියෙන් ඉංජිනේරුවරියක් වූ කැත්රින් හෙටින්ගර් හට Fidget Spinner හදුන්වා දීමේ ගෞරවය හිමිවුණා. ඇය කැරකැවෙන සෙල්ලම් බඩුවක් වෙනුවෙන් 1993 වර්ෂයේදී පේටන්ට් බලපත්‍රය ලබාගෙන තිබුනත් අනුග්‍රාහකයෙක් හමු නොවීම හේතුවෙන් ඇය 2005 වසරෙන් පසු එම බලපත්‍රය අලුත් කර තිබුනේ නැහැ. එම නිසා ඇයට එම හිමිකාරිත්වය නොලැබුණු අතර ඇය එම තීරණය භාරගත්තා.

Fidget Spinner වල ජනප්‍රියත්වය…..

 

                        – Fidget Spinnerහි ජනප්‍රියත්වය –

2017 වර්ෂයේ ඇතිවූ අතිශය ජනප්‍රියතාව නිසා බොහෝ තරුණ පිරිස් සහ කුඩා ළමයි අතර Fidget Spinner උන්මාදයක් හටගත්තා. පාසල් කාලය තුල Fidget Spinner භාවිතයට සහ Fidget Spinner අලෙවි කිරීමට මොවුන් පටන් ගැනීමත් සමග ඔවුන්ගේ පාසල් ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුවේ අඩු බව පිලිබදව ගුරුවරු පැමිණිලි කරන්නට පටන් ගත්තා. අවසානයේ Fidget Spinner පාසල් වෙලාව තුල තහනම් උපකරණයක් කිරීමට විදුහල්පතිවරු ක්‍රියාකරන්නට වුණා.

 

 

රහස් පණිවිඩ සහ අදිසි තීන්ත

රහස් පණිවිඩ ලියන්න අතීතයේත් භාවිතාවුනු අදිසි තීන්ත නැත්තම් invisible ink නව තාක්ෂණයත් එක්ක වැඩිදියුණු වෙමින් තියෙනවා. පණිවිඩයක් හංගලා යවන්න තියෙන හොදම ක්‍රමයක් තමයි මේ අදිසි තීන්ත භාවිතා කිරීම. මුද්‍රණය කිරීමේ හැකියාවකුත් තියෙන, අලුතෙන් හොයාගත්ත අදිසි තීන්ත වර්ගය හොර උපක්‍රමයක් කියලා හොයාගන්න හරිම අමාරුයි.

 

චීනයේ ෂැන්හයි ජිඅවෝ ටොන්ග් විශ්වවිද්‍යාලයේ, ලිආන්ග් ලී හා ඔහුගේ යාලුවෝ කිහිපදෙනෙක් එකතු වෙලා තමයි මේ අලුත් තීන්ත වර්ගය හොයාගත්තේ. නැනෝ ද්‍රව්‍යයක දිලිසෙන සංයෝගයක්  පරීක්ෂා කරනකොට අහම්බෙකින් හොයාගත්ත ඊයම් මිශ්‍රණයක් යොදාගෙන , දිගටම පරීක්ශණ කරනකොට , ඇසට අදෘශ්‍යමාන මේ තින්ත වර්ගය නිර්මාණය කරන්න ඔවුන්ට හැකි වෙලා තියෙනවා.

 

ඒ ඊයම මිශ්‍රණයෙන් කඩදාසියක ලියපු අකුරු කිසිම දෙයක් මිනිස් ඇසට දිස්වෙලා  නෑ. විශේෂිත වර්ගයක ලුණු මිශ්‍රණයක් ආලේප කරාට පස්සේ තමයි ආයෙත් මේ පණිවිඩේ පේන්න පටන් අරන් තියෙන්නේ. ඒ ලුණු මිශ්‍රණය නොතිබෙන්න කිසිම කෙනෙක්  සැකකරන්නේ නෑ ඒ කඩදාසියේ පණිවිඩයක් ලියලා තියෙනවා කියලා.

 

මේක දෙහි යුෂ පාවිච්චි කරනවට වඩා ගොඩක් සාර්ථක ක්‍රමයක්.අපි පාවිච්චි කරන ගොඩක් අදිසි තීන්ත මිනිස් ඇසට දර්ශනය වෙන්න පටන් ගන්නකොට අවශේෂයක් ඉතිරි වෙනවා. දැනට පාවිච්චි කරන ක්‍රම මගින්  ආලෝකයක් එල්ලකරාම ගොඩක් පණිවිඩ අපිට කියවන්න පුළුවන්.නමුත් මේ තින්ත පාවිච්චි කරාම, නවීන මුද්‍රණ යන්ත්‍රයක් මගින් මුද්‍රණ පිටපත්ගන්නත් හැකියාව තියෙනවා.

 

අදිසි තීන්ත භාවිතයෙන් පණිවිඩ යැවීම, යල්පැන ගිය හෝ නිෂ්ප්‍රයෝජනවත් ක්‍රමයක් විදියට   හැගුනත්, අදිසි තීන්ත භාවිතා කිරීම තුලින් ව්‍යාජ උපායන් හෙළිදරව්කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් නෝට්ටු තුල  අදිසි තීන්ත යොදාගෙන තියෙන වාක්‍ය සහ පින්තූර ගන්න පුළුවන්. මේ පින්තුර දර්ශනය වෙන්නේ විශේෂිත ආලෝක තත්ව යටතේ පමණයි.

 

මුද්‍රණ ක්‍රියාවලියේ දී රහස්‍ය තොරතුරු ආරක්ෂිතව  සටහන් කරගැනිමට මෙම තීන්ත යොදාගන්න පුළුවන් බවයි ලී පවසන්නේ. ආලෝකය සමග සම්බන්ධවෙලා වැඩකරන ඉලෙක්ට්‍රොනික උපකරණ වලටත් මෙම තීන්ත ප්‍රයෝජනවත් බව ඔහු වැඩිදුරටත් පවසනවා. උදාහරණයක් විදියට, රුපවාහිනියක හෝ ටැබ් එකක තිරයේ දීප්තිය වැඩිකරගන්න මේ සංයෝගය යොදාගන්න පුළුවන්. මේ කණ්ඩායම ඒ පිළිබඳවත් වැඩිදුර පරීක්ෂණ කරගෙන යනවා.

 

කොහොමවෙතත්, මේ සංයෝගයේ අවාසි කීපයකුත් තියෙනවා. ඊයම් විෂ ද්‍රව්‍යයක්. ඉතින් පණිවිඩ හුවමාරුවේදී යවන්නා හෝ ලබන්නා හට හානියක්වෙන්න පුළුවන්. ඒ නිසා පරීක්ශණ කණ්ඩායම ඊයම් වලින් බැහැර වෙලා, ආදේශකයක් විදියට  ටින් ලෝහය යොදාගන්න පුලුවන්ද බලන්න පරීක්ෂණ කරනවා.

 

මේ ඊයම් සංයෝගය වතුරේ දිය වීම වගේම කීපවරක් භාවිතාකිරීමෙන් පස්සේ විවිධ කොටස්වලට වෙන්වේවිද  යන්න නෙබ්‍රාස්කා-ලින්චොන්ල්  විශ්ව විද්‍යාලයේ ලී ටන් ට ඇතිවුන ගැටළුවක්.

 

මේ ඊයම් සංයෝගය ඝන ද්‍රව්‍යයක් ලෙස ක්‍රියාකලත්, කොපමණ වාරයක් පාවිච්චි කරන්න පුලුවන්ද  කියන ප්‍රශ්නයත් ඔහුට ඇතිවෙලා.

 

මෙම සංයෝගය එක්වරක් පමණක් භාවිතාකරලා ඉවත්කරන්න සිදුවුනත්, රහස් පණිවිඩයක් යවන්න තියෙන ක්‍රම අතරින් වඩාත්ම සාර්ථක ක්‍රමය මෙය බව පර්යේෂකයන් තහවුරු කර හමාරයි. මෙය පණිවිඩය ලබන්නා හට විෂසහිත නොවන ආකාරයට සැකසිමයි ඔවුන්ට තියෙන ලොකුම අභියෝගය.

 

 

Journal Reference: Nature Commiunications, DOI:10.1038/s41467-017-01248-2