තැපෑලෙන් ගිය දරුවෝ…

අප බොහෝවිට තැපැල් සේවාව භාවිතා කරනු ලබන්නේ ලිපියක් හෝ පාර්සලයක් තවත් කෙනෙකු වෙත හුවමාරු කරගැනීම සඳහායි. නමුත් අද අපි කතා කරන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස්වූ තැපැල් හුවමාරුවක් ගැනයි.

 

20 වන ශතවර්ෂය ආරම්භයේ දී ඇමරිකාවේ තැපැල් සේවයේ සිදුවූ වඩාත් කැපී පෙනෙන නවෝත්පාදනයන් නම් විශාල පැකේජ හා පාර්සල් තැපැල් මගින් හුවමාරු කරගැනීමට අවස්ථා උදාවීමයි. 1913 ජනවාරි මස 1 වන දින තැපැල් කාර්යාලීය පාර්සල් බෙදාහැරීමේ සේවය නිල වශයෙන් ආරම්භ වී ඇත. මෙම නව සේවාව මගින් ඇමරිකානුවන් මිලියන ගණනකට සියළුම භාණ්ඩ හා සේවා සඳහා හොඳ ප්‍රවේශයක් ලබා දුනි. එහෙත්, ඒ අතර තරමක් වෙනස් ආකාරයේ හුවමාරුවක් ඇමරිකානු ඉතිහාසයෙන් වර්තා වේ. එනම් ඇතැම් දෙමව්පියන් විසින් තැපැල් මාර්ගයෙන් තම දරුවන් හුවමාරු කිරීමට තැත් කිරීමයි.

 

 

 

 

මෙසේ තැපැල් මාර්ගයෙන් දරුවන් හුවමාරු වූ අවස්ථා පිළිබඳව එක්සත් ජනපදයේ තැපැල් සේවා ඉතිහාසඥ ජෙනී ලින්ච් මහතා විසින් බොහෝ තොරතුරු රැස්  කරගෙන ඇති අතර ඔහු විසින් Smithsonian වෙබ් අඩවිය වෙත පවසා ඇති පරිදි මෙය එවකට බොහෝ සෙයින් කතා බහට ලක්වූ කරුණක් වී ඇත.

 

මෙම පාර්සල් තැපැල් ක්‍රමය ආරම්භ කිරීමෙන් සති කිහිපයකට පසුව, ජෙසී සහ මැතිල්ඩා බෙග්ගල් නම් ඔහියෝ යුවළක් මාස අටක් වයසැති ඔවුන්ගේ පුතා වූ  ජේම්ස් තම මිත්තණියට යැවූහ. ලින්ච් පවසන පරිදි, කුඩා ජේම්ස්ගේ බර, තැපැල් පාර්සල් ක්‍රමය හරහා යැවිය හැකි පැකේජ බර ප්‍රමාණය වූ පවුම් 11 සීමාව ඉක්මවා ගොස් නොමැති අතර ඔහුව භාර දීම සඳහා වූ තැපැල් ගාස්තුව ශත 15 ක් පමණක් වී ඇත. ඒ අනුව ජේම්ස් බෙග්ගල් යනු තැපැල් මාර්ගයෙන් හුවමාරු කරන ලද පළමු දරුවා වේ. ඉන් පසුව ඉතාමත් ඉක්මනින්ම පුවත්පත් හරහා මෙම සිදුවීම ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඊලඟ වසර කිහිපය තුළදී වෙනත් පිරිස් විසින් ද මෙම ක්‍රමය යොදාගනිමින් දරුවන් හුවමාරු කිරීම සිදුකර ඇත.

 

 

 

 

මෙසේ ඊළඟ වසර කිහිපය තුළදී දරුවන් තැපැල් කිරීමේ අවස්ථා තවත් සිදුවී ඇති අතර පාර්සල් තැපැල් සේවාවේ සීමාවන් මිනිසුන්ගේ මැදිහත් වීම මත කාලයෙන් කාලයට වෙනස් වී ඇත. ඒ අතර 1914 පෙබරවාරි 19 වන දින චාලට් මේ පියර්ස්ටර්ෆ් නම් සිව් හැවිරිදි දැරියක, ඇයගේ නිවසේ සිට ඇයගේ මිත්තණියගේ නිවස දක්වා දුම්රිය තැපැල් සේවාව හරහා හුවමාරු කිරීමේ අවස්ථාවක් ද වාර්තා වී ඇත. පසු කලෙක නැන්සි පෝප් විසින් ජාතික තැපැල් කෞතුකාගාරයේ ලියා ඇති මෙම සිව් හැවිරිදි දැරියගේ කතාව පුරාවෘත්තයක් බවට පත්වී ඇත. කෙසේවෙතත් කුඩා දැරියගේ මවගේ ඥාති සහෝදරයකු දුම්රිය තැපැල් සේවාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කල බැවින් හිරිහැරයකින් හෝ කරදරයකින් තොරව ගමන් කිරීමට ඇයට අවස්ථාව හිමිවී ඇත. ලින්ච්ගේ අදහස නම් දුම්රිය ටිකට් පතක මිලට වඩා තැපැල් සේවාවේ ගාස්තුව අඩුවීම හේතුවෙන් චාලට්ගේ දෙමාපියන් මෙවැනි ක්‍රමයක් භාවිතා කරන්නට ඇති අතර මවගේ ඥාති සහෝදරයාගේ ඉල්ලීම නිසාවෙන් කුඩා දරුවා මෙසේ තැපැල් මාර්ගයෙන් යැවීමට ප්‍රාදේශීය නිලධාරීන්ට සිදුවන්නට ඇති බවයි.

 

අවසානයේ,වොෂිංටන් පෝස්ට්, නිව් යෝර්ක් ටයිම්ස් හා ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත් ඇතුලු බොහෝ පුවත්පත් දැන්වීම් මඟින් තැපැල් කාර්යාලය  විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබුනේ දරුවන් තැපැල් මාර්ගයෙන් තවදුරටත් යැවිය නොහැකි බවයි. කෙසේවෙතත් මෙසේ දරුවන් තැපැල් මඟින් හුවමාරු කිරීම නිත්‍යානුකුල නොවන බවක් හා නොසැලකිලිමත් බවක් හැඟී ගියද ලින්ච් පවසන්නේ එහිදී ග්‍රාමීය ප්‍රජාව විසින් ප්‍රාදේශීය තැපැල් නිලධාරීන් මත විශාල විශ්වාසයක් රඳවා ඇති බවයි. තවද ඔහු පවසන පරිදි තැපැල් බෙදාහරින්නන් යනු විශ්වාසනීය  සේවකයින් වන අතර අදටත් ග්‍රාමීය ප්‍රදේශ වල ජිවත්වන මිනිසුන්ගේ ජිවිත සඳහා ඔවුන් සහය වේ. මක්නිසාද යත් ඇතැම්විට ඉතාම ග්‍රාමීය ප්‍රදේශ වල ඇති නිවෙස් වෙත යන එකම ප්‍රාදේශීය නිලධාරියා තැපැල් බෙදාහරින්නා වන නිසාවෙනි.

 

 

කෙසේහෝ වර්තමානය වනවිට නම් දරුවන්ගේ ගමන් සඳහා තැපැල් මල්ලකට එහා ගිය විවිධ වූ ආරක්ෂාකාරී ක්‍රම තිබීම නම් ඉතාමත් සතුටට කරුණකි.

 

තොරතුරු හා ඡායාරූප Smithsonian වෙබ් අඩවිය.

 

රට ඉඳි කෑමට ගැනීමෙන්…

අද අපි ඔබට කියන්න යන්නේ ඉතාමත් රසවත් පලතුරක බොහෝවිට ඔබ නොදත් කරුණු කිහිපයක් ගැනයි. ඉතින් ලෝකයේ මිනිසුන් වැඩි දෙනෙකු අතර ජනප්‍රිය කෑමක් වන රට ඉඳි, ආහාරයට ගැනීමෙන් අපට ලැබෙන වාසි මොනවද කියලා බලමු.

පොසිල දත්ත වාර්තා අනුව වසර මිලියන පනහක පමණ කාලයක සිට පැවත එන රට ඉඳි (Dates) අද වන විට ලොව පුරා වෙසෙන ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය රසවත් පලතුරකි. Phoenix dactylifera නම් කුල නාමයෙන් හැඳින්වෙන මෙම විශේෂය ලෝකය පුරා නිවර්තන කලාපීය සහ උපනිවර්තන කලාප වල ස්වභාවිකවම පවතී. ඉතා දීර්ඝ කාලීන ගොවිතැන නිසා එහි මුලාරම්භය සොයාගෙන නැති නමුත් වර්තමානය වනවිට ඊජිප්තුව, ඉරානය, සවුදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය වැනි රටවල් වල බොහෝසෙයින් රට ඉඳි වගා කෙරේ. මෙය මෙවැනි රටවල දක්නට ලැබෙන ප්‍රධාන ශාකයයි. වර්ණ වශයෙන් ගත්කල මි පැණි කහ පැහැයේ සිට රතු, දුඹුරු දක්වා පරාසයක විහිදෙන රට ඉඳි වර්ග ඉතා විශාල ප්‍රමාණයක් වර්තමානයේ වෙළඳ පොලට නිකුත් කෙරේ. ඉන් ප්‍රධාන වර්ග කිහිපයක් නම් ඛලස් අල් දහර, අබු නාරංජා, කනීසි, හසාබ් හා ෆාර්ඩ් වේ.

 

 

අප බොහෝසෙයින් රට ඉඳි ආහාරයට ගෙන ඇත්තේ වියලි පලතුරක් ලෙස වුවද රට ඉඳි යනු නැවුම් ලෙසද අහාරයට ගතහැකි ඉතාමත් රසවත් පලතුරකි.

නැවුම් රට ඉඳි

 

වියලි රට ඉඳි

 

සාමාන්‍යයෙන් වසරේ සෑම කාලයකදීම වෙළද පොලෙහි දැකිය හැකි රට ඉඳි වලින් ශරීරයට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාබ බොහොමයක් වේ.

  • නිතිපතා බඩවැල් ආශ්‍රිතව ඇතිවන බද්ධය ලිහිල් කිරීම
  • හෘද රෝග අවදානම අවම කිරීම
  • පාචනය වැළැක්වීම
  • යකඩ ඌණතාවයට
  • රුධිර පීඩනය අඩු කිරීම
  • බෙලහීනත්වයට
  • ශ්වසන සහ ආහාර ජීර්ණ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම
  • රක්තහීනතාවය වැළැක්වීම
  • ආතරයිටිස් වැනි නිදන්ගත තත්වයන් වැළැක්වීම
  • පිළිකා වැළැක්වීම

 

සහ වෙනත් බොහෝ තත්වයන්ගෙන් සහනයක් ලැබෙන බවද සෞඛ්‍යසම්පන්න බර වැඩි කිරීමට ද මේවා උපකාරී වන බව කියවේ. රට ඉඳි වල විටමින්, ඛනිජ හා කෙඳි අඩංගු වන අතර මෙම රසවත් පලතුරු සෞඛ්‍යයට හිතකර වන යකඩ, පොටෑසියම්, පොස්පරස්, මැංගනීස්, තඹ හා මැග්නීසියම් වලින් සමන්විත වේ. ඇතැම් සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ සමබර හා සෞඛ්‍යසම්පන්න ආහාරයක් සඳහා දිනකට රට ඉඳි එකක් ආහාරයට ගැනීම අවශ්‍ය  බවයි.

 

 

ඔබ නිතිපතා රට ඉඳි අනුභව කළ යුත්තේ කුමන හේතුවක් නිසාද?

 

1. කොලෙස්ටරෝල් අඩුබව: ඔබ දන්නවාද රට ඉඳි කොලෙස්ටරෝල් වලින් තොර හා ඉතා අඩු මේදය අඩංගු පලතුරකි. ඔබගේ දෛනික ආහාර වේලෙට කුඩා ප්‍රමාණ වලින් රට ඉඳි ඇතුළත් කිරීමෙන් ඔබට කොලෙස්ටරෝල් මට්ටම යහපත්ව තබා ගැනීම සහ බර අඩු කර ගැනීම සඳහා සහාය වේ.

2. ප්‍රෝටීන් බහුලතාවය: රට ඉඳි වල මිනිසාට සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා දිනකට අවශ්‍ය ප්‍රෝටීන් බහුල වන අතර,අහාරයට ගැනීමෙන් අපගේ මාංශ පේශි ශක්තිමත් වේ.

3. විටමින් බහුලතාවය: රට ඉඳි වල B1, B2, B3, B5, A1 සහ C වැනි විටමින් අඩංගු වන අතර, දිනපතා රට ඉඳි එකක් හෝ දෙකක් අහාරයට ගැනීමෙන් ඔබට වෙනත් අතිරේක විටමින් වර්ග ලබාගැනීම අවශ්‍ය නොවේ. එමෙන්ම මෙම රට ඉඳි වල ග්ලූකෝස්, සුක්රෝස් සහ ෆෲක්ටෝස් වැනි ස්වාභාවික සීනි අඩංගු වන නිසා ඔබගේ ශරීරයේ ශක්ති මට්ටවේ සැලකිය යුතු වෙනසක්ද සිදුවේ.

4. අස්ථි ශක්තිමත් වීම: රට ඉඳි වල සෙලේනියම්, මැංගනීස්, තඹ සහ මැග්නීසියම් අඩංගු වීම නිසා අපගේ අස්ථි නිරෝගීව තබා ගැනීම හා ඔස්ටියෝපොරෝසිස් වැනි තත්වයන් වලක්වාලීම සඳහා උපකාර වේ.

5. ස්නායු පද්ධතිය ශක්තිමත් කරයි: රට ඉඳි වල පොටෑසියම් අඩංගුව ඇති අතර, ස්වල්ප වශයෙන් සෝඩියම් ද අඩංගු වීම නිසා එය ඔබේ ස්නායු පද්ධතිය ශක්තිමත් වීමට උපකාරී වේ. තවද පොටෑසියම්, කොලෙස්ටරෝල් අඩු කිරීමට උපකාරී වේ.

6. යකඩ බහුලතාවය: මෙම රට ඉඳි වල ඔබගේ දත් වල සෞඛ්‍ය රැකගැනීම සඳහා අවශ්‍ය වන යකඩ අඩංගු වේ. තවද යකඩ ඌනතාවයෙන් පෙලෙන අයට ද රට ඉඳි ආහාරයට ගැනීම සුදුසු වේ.

 

ඉතින් මෙවැනි ප්‍රයෝජන රාශියක් ඇති රට ඉඳි බොහෝසෙයින් තනි පලතුරක් ලෙස ආහාරයට ගත හැකි අතර කේක් හා පාන් මෙන්ම වෙනත් අතුරුපස වර්ග සැදීමේදී ද ඒවාහි රසවත් බව වැඩි කරගැනීම සඳහා යොදාගනී. එමෙන්ම රට ඉඳි වලින් සාදන ලද පැණි සහ හකුරු ද ඇතැම් රටවල වෙළඳ පොළෙහි දක්නට ලැබෙන අතර එසේ සාදාගන්නා ලද රට ඉඳි පැණි ඇතැම් අවස්ථාවල සීනි වෙනුවට ද භාවිතා කරනු ලැබේ. තවද කළු කොපි පානය කිරීමේදී රට ඉඳි හකුරු කැබැල්ලක් එකතු කරගැනීමෙන් එය වඩාත් රසවත් කරගත හැකිය.

 

රට ඉඳි පැණි

 

රට ඉඳි හකුරු

 

 

තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙනි.

 

 

ගුවනේ ඉදිවූ හෝටල් කාමරය..

දෙසැම්බර් කියන්නේ බොහෝදෙනා ඇවිදින්න යන මාසයක්. ඉතින් එහෙම යන්න හිතන් ඉන්න කවුරු කවුරුත් නවතින්න හොඳ තානායමක් එහෙමත් නැත්නම් හෝටලයක් හොයන කාලයක් තමයි මේ. ඒ වගේම නිවාඩුවට වෙනත් රටක සංචාරයට යන්න හිතාගෙන ඉන්න පිරිසකුත් මේ අතර ඉන්නවනේ. ඒ නිසා අපි හිතුවා සාමාන්‍ය හෝටල් ක්‍රමයෙන් වෙනස්වී අහසේ නිර්මාණයවූ හෝටලයක් ගැන ඔබට කියන්න.

 

අප දන්නා පරිදි ලෝකයේ ඉහළම ස්ථානයේ පවතින ගුවන්යානා සමාගම් විසින් තමන්ගේ ගුවන්යානයේ ගමන් කරන මඟීන් ගණන වැඩිකර ගැනීම සඳහා විවිධාකාරයේ නවතම පහසුකම් හඳුන්වාදෙනු ලැබේ. එවැනි අපූරු පහසුකමක් සිංගප්පූරු ගුවන් සමාගම (Singapore Airlines) විසින් මෑතකදී හඳුන්වා දීමට නියමිතව ඇත. එම සමාගමට අයත් විශාල ගුවන් යානා වර්ගයක් වන A380 යානයෙදී මෙම අපූරු අත්දැකීම ලබාගැනීමට අවස්ථාව හිමිවේ. මෙහිදී පියාසර කිරීමේ අත්දැකීම සමඟම සුඛෝපභෝගී ඇඳන් සහ තවත් පහසුකම් සහිත තරු පහේ හෝටල් අත්දැකීමක් ලබාගැනීමට මඟීන්ට අවස්ථාව හිමිවේ. මෙම සුඛෝපභෝගී නවීකරණයන් දෙසැම්බර් 18 වැනිදා සිට සිංගප්පූරු- සිඩ්නි ගුවන් මාර්ගයේ ගමන් කරන මගීන් හට අත්විඳීමට හැකියාව ලැබේ.

 

 

මෙම පහසුකම සහිත සෑම ගුවන් යානයක්ම මෙවැනි කට්ටල හයකින් යුක්ත වන අතර එක කට්ටලයක ජනේලයට ලම්භකව ඇති සුඛෝපභෝගී ඇඳක්, හම් ලෑල්ලක් සහිත වෙනම අසුනක් සහ ඔබට අවශ්‍යනම් පහතට ඇදිය හැකි තාවකාලික බිත්තියක් සහිත වේ. එමෙන්ම එකට ගමන් කරන යුවලක් සඳහා පළමු කට්ටල දෙකෙහි ඇති ඇඳන් එක් කිරීමෙන් ද්විත්ව ඇඳක් සාදා ගැනීමේ හැකියාවක්ද පවතී. මීට අමතරව මෙහිදී හොඳම වර්ගයේ සෙරප්පු හා මේස් ද මඟීන් සඳහා ලබාදේ. එමෙන්ම මෙය සම්පුර්ණ ප්‍රමාණයේ කබඩ් එකකින් සහ නානකාමර දෙකකින් යුක්ත වේ. සාමන්‍යය අයිතම වලට අමතරව කාන්තාවන්ට මුහුණ සඳහා ආලේපන සහ දෑත් ආලේපන ලබා ගත හැකි අතර පිරිමි මඟීන්ට රැවුල කැපීමේ ආලේපන හා ශරීර ආලේපන ලබා ගත හැකිය.

 

 

 

එමෙන්ම ගුවන් සමාගම පවසන පරිදි මඟීන්ගෙන් ලබාගත් අදහස් වලට අනුව මඟීන්ගේ දුරකථන හා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ තැන්පත් කිරීම සඳහා විශේෂ පහසුකම් සපයා ඇත. තවද  සිනමාපට හෝ ඔබට අවශ්‍ය යමක් නැරඹීම සඳහා අඟල් 32 ක පුළුල් තිරයක් සහිත වන අතර ඔබට අවශ්‍ය පරිදි ආසන සහ ඇඳ හැසිරවීමේ හැකියාව පවතී. එමෙන්ම ගුවන් සමාගම පවසන පරිදි මඟීන්ගේ විනෝදාස්වාදය සඳහා ක්‍රමවේදයන් රාශියක් ඇති අතර වයිෆයි (Wi-fi ) පහසුකම් ද ලබා ගත හැකිය.

 

 

ඔබ මෙහි ගමන් කරන්නේ නම් ඔබගේ රාත්‍රී ආහාරය Wedgwood භාණ්ඩ සහ ලැලික් (lalique) වර්ගයේ විනිවිද පෙනෙන වීදුරු භාණ්ඩ වල ලබාගැනීමේ හැකියාව උදාවන අතර ඔබට නවතම ආහාර වර්ග රසවිදීමේ අවස්ථාව හිමිවේ. සිංගප්පූරු ගුවන් සමාගම පවසන පරිදි මෙම ආහාර පිසීමේදී නැවුම් දේශීය නිෂ්පාදන භාවිතා කරනු ලබයි.

 

 

ඉතින් ගුවන් ගමන් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින්, ගුවන් යානයක් තුල ඉදිවුණු මෙම හෝටල් කාමරය එදිරි මාසයේදී පියාසර කිරීමට නියමිතයි. පහසුකම් රාශියක් සමඟින් තරු පහේ හෝටල් අත්දැකීමක් ගුවනේ දී ඔබට ලබාදීමට සැරසී සිටින සිංගප්පූරු එයාර්ලයින්ස් A380 ගුවන්යානයට දියනෙත් අපිද හදපිරි සුභ පැතුම් එක්කර සිටින්නෙමු.

 

තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙනි.

 

සැඟවී ඇති රූපය සොයන්න ඔබට පුළුවන්ද..?

සැඟවුණු රූපය සොයන්න.. තම හැකියාව උරගා බලන්න…

ඡායාරූපයක් තුළ සැඟවී ඇති අනෙකාගෙන් වෙනස් වූ කුඩා රූපයක් සෙවීම එක්තරා අකාරයේ ප්‍රෙහෙලිකා විසදිමකි. ඒ සඳහා උදාහරණයක් පහතින් දැක්වේ.

 

 

 

එවැනි සැඟවුණු රූපයක් සහිත විශාල රූප පහක් අඩංගු ප්‍රෙහෙලිකාවක් මෙහිදී ඔබට ඉදිරිපත් කෙරේ. ඒ එක් එක් රූපය තුළ ඉතා කුඩා රූපයක් සැඟවී ඇත. එලෙස සැඟවී ඇති රූප සොයා ගැනීමට උත්සහ කරන්න. එමෙන්ම එක් සැඟවුණු රූපයක් සොයා ගැනීම සඳහා ඔබට ලැබෙන්නේ තත්පර හතලිස් පහක් වැනි කාලයකි.

 

ලෙන්ස්ටෝර් වෙබ් අඩවිය (Lenstore) විසින් මෑතක දී ඉදිරිපත් කරන ලද මෙම සඟවා ඇති කුඩා රූපයක් අඩංගු රූප මාලාව මේ වනවිටත් බොහෝදෙනෙකු සහභාගී වී ඇති ප්‍රෙහේලිකා විසදීමකි. එහිදී මෙම ප්‍රෙහේලිකා  පහ අතුරින්, ලිලී කොළ අතර සැඟවුණු කැස්බෑවා සොයා ගැනීම ඉතා අසීරු බව ඔප්පුවී ඇත. එය විසඳීමේදී සාර්ථක වූ පිරිස 46% ක් පමණ වී ඇත. එනම් මේ සඳහා සහභාගී වූ පිරිස අතරින් 54% ක් පමණ ලිලී කොළ අතර සැඟවුණු කැස්බෑවා සොයාගෙන නැත. තවද ලෙන්ස්ටර් වෙබ් අඩවිය විසින් එකතු කරන ලද දත්තවලට අනුව ඡායාරූප ප්‍රෙහේලිකා වලට විසඳුම් ලබා දීමේදී පුරුෂයින්ට වඩා හොඳ පෙනුමක් කාන්තාවන්ට ඇති බව පෙනී ඇත. එමෙන්ම මෙය විසදීම සඳහා කාන්තාවන්ට අඩු කාලයක් ගත වී ඇති අතර අඩු උත්සාහයක් දැරීමෙන් එය නිවැරදිව සොයාගෙන ඇත.

 

එසේනම් අභියෝගය භාරගැනීම සඳහා ඔබ සුදානම් ද?

 

මෙහිදී ඔබට පිළිවෙලින්,

 

  1. සුෂී රෝල්ස් (Sushi Rolls) අතර සැඟවී ඇති දළඹුවා (Caterpillar) සෙවීම.
  2. පැස්බරුන් (Ostriches) අතර සැඟවී ඇති කුඩය (Umbrella) සෙවීම.
  3. ලිලී කොළ (Lily) අතර සැඟවුණු කැස්බෑවා (Turtle) සෙවීම.
  4. ජෙලි ෆිෂ් (Jelly Fish) අතර සැඟවුණු හත්ත (Mushroom) සෙවීම.
  5. කොමඩු ගෙඩි (Watermelon) අතර සැගවුණු සර්පයා (Snake) සෙවීම.

 

යන ප්‍රෙහේලිකා පහ විසදීමට සිදුවේ.එක ඡායාරූපයක් තුළ සැඟවුනු පින්තූරය සොයා ගැනීමට ඔබට තත්පර 45 ක් ලැබෙනු ඇත. ඔබේ සමස්ත ලකුණු පදනම් වී ඇත්තේ ඔබ එය වහාම විසඳන්නේ කෙසේද යන්න මත සහ ඔබ රූපය මත ක්ලික් කරන වාර ගණන මතයි. තත්පර 45 ක් අවසානයේදී ද ඔබට සැඟවුණු රූපය සොයාගත නොහැකි වුවහොත් ඊළඟ අවස්ථාව වෙත ස්වයංක්‍රීයව මාරුවීම සිදුවේ.

 

එසේනම් දැන් පිවිසෙන්න.. ඔබේ හැකියාව බලන්න.

1.. 2.. 3.. GO!

 

 

තොරතුරු හා ඡායාරූප: Reader’s Digest සඟරාව, අන්තර්ජාලය

 

 

මිනිත්තු තුනක දිග ගමනක්…

දිග ගමනක් මිනිත්තු තුනකින් යන්න පුළුවන් කතාවක් තමයි අද මේ කියන්න යන්නේ. වර්තමානය වනවිට ලෝකයේ බොහෝදෙනා ඉතාමත් අවිවේකී ජිවිතයක් ගත කරන නිසා කාලය කියන්නේ බොහොම වැදගත් දෙයක්. ඉතින් මිනිසා විසින්ම තමන්ගේ පහසුව සඳහා තාක්ෂණය යොදාගනිමින් කාලය කළමනාකරණය කරගත් අවස්ථා බොහොමයක් සාමන්‍යය ජීවිතයේදී අපට හමුවෙනවා. ගමන් කරන පඩිපෙළ (Escalator) ආධාරයෙන් අඩු කාලයකින් දිග ගමනක් යන ඒවගේ අවස්ථාවක් තමයි මේ.

 

ලංකාවෙදී නම් බොහෝවිට සාප්පු සංකීර්ණයක දැකිය හැකි ගමන් කරන පඩිපෙළ (Escalator) යම් ස්ථානයක සිට ඉන් ඉහළ හෝ පහළ ඇති ස්ථානයකට  ගමන් කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රමයකි. ලෝකයේ බොහෝ දියුණු රටවල ඉතා සුලබ ලෙස භාවිත කරනු ලබන මෙම ගමන් කරන පඩිපෙළ බොහෝ දියුණු රටවල විදුලි දුම්රිය (metro) එනම් වේගවත් දුම්රිය නැවතුම් ස්ථාන වලදී භාවිතා කරනු ලැබේ. මේවාහි උස සාමාන්‍යයෙන් අඩි 15 ක් පමණ වන නමුත්  එවැනි සාමාන්‍ය ගමන් කරන පඩිපෙළ මෙන් අට ගුණයක් පමණ උසින් යුත් ගමන් කරන පඩිපෙළක් ඇමරිකාවේ අගනගරය වූ වොෂින්ටන් ඩී.සී හි ඇති විදුලි දුම්රිය ගමනාගමන පද්ධතියේදී ( Washington Metro) අපට හමුවේ.

 

 

 

වොෂින්ටන් ජනපදයේ වීට්න් ග්ලේන්මොන්ට් මෙරන්ලන්ඩ් (Wheaton Glenmont Maryland ) හි පිහිටි වීට්න් දුම්රිය ස්ථානයේ සිට උමං මාර්ගයෙන් ඉවතට යන ඔබට එම රටෙහි උසම හා දිගම ගමන් කරන පඩිපෙළ හමුවනු ඇත. මෙය තාක්ෂණික වශයෙන් තුන් ගුණයකින් යුක්ත වන අතර, එය නොකැඩී ඒකාකාරව පවතින පඩිපෙළකි. මෙම ගමන් කරන පඩිපෙළ අඩි 230 ක් දිගින් හා උස අඩි 115 කින් යුක්ත වේ. නමුත්  ඔබට මෙහි ඉහළ සිට පහළට ගමන් කිරීම සඳහා ගත වන්නේ මිනිත්තු තුනක් පමණ කාලයකි. මෙවැනි දැවැන්ත ගමන් කිරීමේ පඩිපෙළක් ක්‍රියාකරවීමේදී තාක්ෂණික ගැටළු ඇතිවීම සාමාන්‍ය අවස්ථාවක් වන අතර මෙහි එවැනි ගැටළු ඇතිවීමේ හැකියාව වසරකට සියයට දහයක් පමණ වේ. නමුත් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව එවැනි තාක්ෂණික ගැටළු ඇතිවූ අවස්ථාවන් වලදී ලඟම ඇති අනෙකුත් නැවතුම්පොළවල් සඳහා බස්රථ යෙදීමක් සිදුකෙරෙන බව කියවේ.

 

 

 

වීට්න් දුම්රිය ස්ථානය යනු මෙවැනි  දැවැන්ත ගමන් කිරීමේ පඩිපෙළක් පිහිටි එකම ස්ථානය නොවන අතර දිග අඩි 213 ක් හා උස අඩි 106 ක් වූ, 2017 මාර්තුවේ බෙතෙස්දා මෙරන්ලන්ඩ් (Bethesda Maryland) හි ඉදිකරන ලද ගමන් කරන පඩිපෙළ දෙවැනි වන්නේ වීට්න් ගමන් කරන පඩිපෙළට පමණි.

කෙසේ වෙතත් රුසියාවේ අගනුවර වූ මොස්කව් නගරයේ පිහිටි මොස්කව් පාර්ක් මෙට්‍රෝ නැවතුම්පොළෙහි  හි ඇති අඩි 425 ක දිගකින් යුත් ගමන් කරන පඩිපෙළ ලොව දිගම ගමන් කරන පඩිපෙළ (Escalator ) ලෙස හැඳින්වේ.

 

මුලාශ්‍ර: Reader’s Digest Magazine

 

 

පියාඹන බාස්කට්බෝලයක්…!!

ඔබ මීට පෙර පියාඹන බාස්කට්බෝලයක් දැක තිබේද? සාමාන්‍ය ජීවිතයේදී සෙල්ලම් කිරීමට ගන්නා  බාස්කට්බෝලයක් පියාසර කරපු අවස්ථාවක් ගැනයි මේ කියන්න යන්නේ. ටිකක් අමුතුයි වගේ වුනාට මේක නම් හරිම රසවත් වගේම බලන්න ආස හිතෙන වැඩක්. හරි, කියන්න පුළුවන්ද බාස්කට්බෝලයක් ගොඩක් උසක ඉඳන් අත ඇරියම මොකද වෙන්නේ? ඔව්.. පහලට වැටෙනවා තමයි ඉතින්. ඒත් බෝලයට පොඩි පසු දඟ කැවීමක් ඒ කියන්නේ backspin එකක් දීලා අත ඇරියොත් මොනවා වෙයිද? ඇත්තටම මොකද වෙන්නේ කියලා බලමුද?

 

ඉහළ උසකින් පැසිපන්දුවක් හෙවත් බාස්කට්බෝලයක්  බිමට ඇද දමන්න, එවිට සිදුවන්නේ කුමක්ද? අපට පෙනෙන ඉතාම සරල ආකාරය නම් එය බිමට පතිත වන බවයි. එහෙත් ඔබ එය අඩි හාරසිය පහළොවක පමණ වූ ඉහළ උසකින් සහ බාස්කට්බෝලයට පසු දඟ කැවීමක් එකතු කර එය පහලට අත හරින්නේ නම් එය අපේක්ෂා කරන ගුවන් ගමන් මාර්ගයෙන් ඔබ්බට විශාල දුරක් වක්‍රාකාර ලෙස ගමන් කරනු දැක ගත හැකියි. ඇත්තෙන්ම එය පියඹා යන්නා සේ අපට පෙනේ. එසේනම් එය සිදුවන්නේ කෙසේද?

 

 

 

බාස්කට්බෝලය පසු දඟ කැවීමකින් අත හැරීමෙන් පසුව,

  • බෝලයේ ඉදිරිපස දී වාතයේ ප්‍රවේගය හා බෝලයේ ප්‍රවේගය එකිනෙකට ප්‍රතිවිරුද්ධ වන බැවින් වාත ප්‍රවාහයේ වේගය අඩුවී පීඩනය වැඩි වේ.
  • බෝලයේ අනෙක්පස වාතයේ ප්‍රවේගය හා බෝලයේ ප්‍රවේගය එකිනෙකට සමාන දිශාවට ඇති බැවින් වාත ප්‍රවාහයේ වේගය වැඩිවී පීඩනය අඩු වේ.

 

එමනිසා බර්නූලිගේ මූලධර්මය අනුව පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට වාතය ගමන් කිරීමෙන් බෝලය සමග ඇදී යන වාතය පසුපසට හැරීමක් සිදුවේ. එමෙන්ම බෝලයේ අනෙක්පස ඇති වාතය බෝලය කරකැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධව ගමන් කරයි. එමනිසා බෝලය විසින් වාතය තල්ලු කරන  දිශාවට ප්‍රතිවිරුද්ධව වාතය මඟින් බෝලය තල්ලු කිරීමක් සිදුවේ. බාස්කට්බෝලය මත සිදුවන වන මෙම ක්‍රියාවලිය මැග්නස් ආචරණය ලෙස හඳුන්වයි.

 

 

 

 

මෙම සංසිද්ධිය පිළිබඳ තවත් අවබෝධයක් නිව්ටන්ගේ තෙවැනි නියමය මඟින් ලබාදෙයි. එනම් කරකැවෙන බෝලය මගින් වාතය හැරවීම නිසා වාතය මගින් බෝලය මත ඊට සමාන වුද ප්‍රතිවිරුද්ධ වුද බලයක් (Magnus Force) ඇති කරයි. එමනිසා බෝලයේ ගමන් පථය වෙනස් වීමෙන් එය වක්‍රාකාර ලෙස ගමන් කරනු දැක ගත හැකිවේ. මෙම මැග්නස් ආචරණය වාතය හරහා ගමන් කරන සියළු භ්‍රමණය වන වස්තූන් මත ක්‍රියාත්මක වේ.

 

F= මැග්නස් බලය (Magnus Force)

 

මෙම මැග්නස් ආචරණය වර්ෂ 1852 දී හෙන්රික් මැග්නස් විසින් සොයාගෙන ඇති අතර සර් අයිසැක් නිව්ටන් විසින් වසර 200 කට පෙර මෙම සංසිද්ධිය නිරීක්ෂණය කර ඇත. මෙය ක්‍රීඩාවේ දී බෝලයක් පියාසර කිරීම සඳහා අවශ්‍ය ඉතාමත් වැදගත්කමක් ඇති ඉසිලුම් බලයක් වේ. මෙය පාපන්දු, මේසපන්දු, අත්පන්දු, පැසිපන්දු, ටෙනිස්, ගොල්ෆ්, බේස්බෝල්, ක්‍රිකට් වැනි ක්‍රීඩා වලදී යොදාගැනේ. ඊට අමතරව ෆ්ලෙටනර් නැව් වල වතුර හරහා ගමන් කිරීම සඳහා භ්‍රමණය වන භ්‍රමකයක් (rotor )  භාවිතා කිරීම, වෙඩි උණ්ඩ වල පියාසර පථය හා ඇතැම් පියාඹන යන්ත්‍ර යනාදිය මෙම සංසිද්ධිය භාවිතා කරනු ලබන තවත් අවස්ථා වේ.

හෙන්රික් මැග්නස්

 

ඉතින් ඔයාත් කැමතිනම් මෙහෙම බාස්කට්බෝලයක් පියාසර කරපු අවස්ථාවක් දකින්න, ටැස්මේනියාවේදී අඩි හාරසිය පහළොවක පමණ උසකින් යුත් ගෝඩොන් වේල්ලේ සිට පසු දඟ කැවීමක් එකතු කර විසිකරන ලද බාස්කට්බෝලයක් පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වේ.

 

 

 

තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙනි.

 

 

දේදුන්නෙන් පාට වී ආවාද මේ ගස?

සොබාදහම විසින් කලාව අපරිමිතයෙන් වැළඳගත් කල එහි ඇත්තේ අර්ථ නොදැක්විය හැකි අපුර්වත්වයකි. ගස් යනු එකී සොබාදහම විසින් ඔබටත් මටත් ආදරයෙන් දායාද කල විශිෂ්ට කලාවක් නම් රේන්බෝ ඉයුකැලිප්ටස් යනු එම කලාව අපරිමිතයෙන් වැළඳගත් තවත් එක සොඳුරු අවස්ථාවකි.

ඉයුකැලිප්ටස් ඩෙග්ලුප්ටා (Eucalyptus deglupta) නම් මෙම ශාකය සාමන්‍යය ජනවහරේදී රේන්බෝ ඉයුකැලිප්ටස් (Rainbow Eucalyptus) යනුවෙන් හැඳින්වේ. නිව්ගිනියා, සේරාම්, සුලවෙසින් සහ මින්ඩනාඕහි නිවර්තන කලාප මෙහි නිජභූමිය වන අතර, රේන්බෝ ඉයුකැලිප්ටස් යනු අති විශාල, විහිදුණු සදාහරිත ශාකයකි. එය උතුරු අර්ධගෝලයේ පිහිටි එකම ඉයුකැලිප්ටස් විශේෂය වේ. මෙම ගස එහි ස්වභාවික පරිසරයේ උස අඩි 250 ක් පමණ දක්වා වර්ධනය වේ.

ඔබ දන්නවාද? එහි වඩාත් අද්විතීය ලක්ෂණය වන්නේ  දීප්තිමත් වර්ණ සහිත පොත්තයි. එය සෑම වසරකම විවිධාකාර කාල පරිච්ඡේදයන්හිදී ගැලවී යන  අතර, අවසානයේදී දීප්තිමත් හරිත අභ්‍යන්තර පොතු ඉස්මතු වූ පසු තෘප්තිමත් වේ. ඉන්පසු එහි දේදුන්නේ වර්ණයන්ගෙන් යුත් එනම් රතු, නිල්, තැඹිලි, දම්, කොළ හා අළු පැහැයන්ගෙන් මිශ්‍ර වූ පොත්තක් දැකිය හැකි වේ. එමනිසා රේන්බෝ ඉයුකැලිප්ටස් පොත්තේ වර්ණය එය පුදුමසහගත වර්ණවත් ගස්වලින් එකක් බවට පත් කරයි.

 

 

මෙම ගස් උද්‍යාන අලංකරණය සඳහා  වගා කළහැකි අතර නිවර්තන කලාපීය හෝ උපනිවර්තන කලාපවල වගාකිරීමෙන් දීප්තිමත් වර්ණ සහිත ඉතා විශාල ගස් ලබාගත හැකිය. පිලිපීනය වැනි රටවල්වල කඩදාසි සඳහා මෙම ශාකයෙහි දැව භාවිතා කරයි. දේශගුණික තත්ත්ව හැරුණු විට පුර්ණ හිරු හා තෙත් පස් ඇතිවිට මෙම රේන්බෝ ඉයුකැලිප්ටස් වර්ධනය වේ. වරක් ස්ථාපිත වූ විට, වර්ෂාව හා ප්‍රමාණවත් පොහොරක් අවශ්‍ය වුවද අතිරේක පොහොර යෙදීමකින්  තොරව අඩි 3 ක් පමණ වැඩෙන බව කියවේ.

ඉතින්, මෙය දැකීමෙන් නිවසේ රේන්බෝ ඉයුකැලිප්ටස් වගා කිරීමේ ආසාවක් ඔබට ඇතිවුණි ද? වගා කල හැකියැයි ඔබ සිතනවාද? ඔබ ජීවත් වන්නේ විශාල වර්ෂාපතනයක් ලැබෙන හිම වලින් තොර ප්‍රදේශයක නම්, ඔබට බොහෝ විට මෙය වගා කල හැකි නමුත් ගැටළුව වන්නේ ඔබ මෙය වගා කල යුතුද යන්නයි. රේන්බෝ ඉයුකැලිප්ටස් යනු බොහෝ ගෘහස්ථ භූ දර්ශන සඳහා ප්‍රමාණයෙන් නොගැලපෙන ඉතා විශාල ගසක් වේ. එමනිසා මෙය වගා කිරීමෙන් වහල බිඳ වැටීම, නිවෙස් වල අත්තිවාරම විනාශ කිරීම වැනි දේපල හානි සිදුවිය හැකිය. උද්‍යාන හෝ කෙත් වැනි ප්‍රදේශ සඳහා මෙම ගස යෝග්‍ය වන අතර හොඳින් සෙවණ මෙන්ම සුවඳ සහ අලංකාරයද සපයයි.

සැ. යු . නමුත් එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශ රේන්බෝ ඉයුකැලිප්ටස් යනු ආක්‍රමණශීලි ශාකයක් ලෙස සලකනු ලබන අතර ඇතැම් අවස්ථා වල එය මර්ධනය කිරීම හා විනාශ කිරීම සිදුකර ඇත.

එහෙයින් සොබාදහම විසින් අපට තිලිණ කරනු ලබන ඇතැම් ආකර්ශනීය පුදුමයන් හුදෙක්ම දැකීමෙන් හා දැනගැනීමෙන් පමණක්ම සෑහීමට පත්විය යුතු නොවේද?