මිනිස්කම පැරදූ බිහිසුණු යුගය – Nazi Human Experiments

“සෑම උදෑසනකම අපි සුදානම් වී සිටිය යුතු වුණා. අපගේ නිරෝගී බව පෙන්වීමට කොපුල් රතු වී සිටින පරිදි ඇඟිලි තුඩුවලින් කොනිත්තා ගන්නට අපට උපදෙස් දුන්නා. එයට හේතුව අයහපත් සෞඛ්‍යයෙන් සිටි දරුවන්ට අත්වූ ඉරණම අපි හොඳින් දැන සිටි නිසයි”

 

මේ වදන් පවසන්නේ මිනිස් ඉතිහාසයේ අඳුරුම යුගයක් පිළිබඳව මතකය ආවර්ජනය කරන  Ludit Barnea සහ Lia Huber නමැති නිවුන් සොයුරියන් දෙදෙනායි. ඔවුන් ජර්මානු නාසි හමුදාවන්ගේ Auschwitz වදකාගාරයේ සිට වාසනාවන්ත  ලෙස දිවි බේරාගත් දෙදෙනෙකි. ඔවුන් ඉහත විස්තර කරනුයේ එම වදකගාරයේදී ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ භයානක අත්දැකීම් පිළිබඳවයි. ජර්මානු නාසි හමුදාවන් යුදෙව් ජාතිකයන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට අමතරව ඔවුන් සහභාගී  කරගනිමින් ඉතා අමනුශික පර්යේෂණ ක්‍රියාත්මක කරනු ලැබුවා. ඔවුන්ගේ අරමුණ වුයේ නාසි හමුදා තවදුරටත් විද්‍යාත්මක හා තාක්ෂණික අතින් සන්නද්ධ කිරීමයි. මෙලෙස සිදු කල ඇතැම් පර්යේෂණ විස්තර කල නොහැකි තරම් භයංකර වුවා.

 

නිවුන් දරුවන් පිලිබඳ පර්යේෂණ (Twin Experiment)

ඉහත සඳහන් කල නිවුන් සොයුරියන් දෙදෙනාට මුහුණ දීමට සිදු වූ පර්යේෂණය වුයේ නිවුන් දරුවන් සම්බන්දයෙන් නාසි හමුදාවන් විසින් සිදු කල පර්යේෂණයයි. මෙහි දී ඔවුන් නිවුන් දරුවන්ගේ ලක්ෂණ සමාන වීමට

Ludit Barnea සහ Lia Huber නමැති නිවුන්සොයුරියන්

බලපාන ජානමය ලක්ෂණ අධ්‍යයනය කිරිමත් ඒ මගින් කෘතිමව එවැනි තත්ත්ව ඇති කළහැකි දැ යි සොයා බැලීමත්  සිදු කළා. මේ සඳහා වදකාගාර වෙත රැගෙන ආ සිරකරුවන් අතරින් නිවුන් දරුවන් වෙන් කර වෙනම සිරකර තැබීම සිදු කළා. ඒ අතරින් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටි දරුවන් පර්යේෂණ සඳහා  තෝරා ගැනුණු  අතර දුර්වල දරුවන් මර දැමුණා . විවිධ රසායනික වර්ග, විෂ වර්ග නිතරම මෙම දරුවන්ට එන්නත් කිරීම සිදු කෙරුණා. ඇසෙහි වර්ණය වෙනස් වේදැයි බැලීමට ඇස්වලට ඩයි වර්ග එන්නත් කෙරුණා. මෙම වදහිංසා දරාගත නොහැකි වූ බොහෝ දරුවන් මරණය පත් වුණා. ඊට අමතරව විවිධ ශල්‍යකර්ම සඳහා ද මෙම දරුවන් යොදාගැනුණු අතර අභ්‍යන්තර අවයව කිසිදු නිර්වින්දනයකින් තොරව ඉවත් කිරීමට තරම් සාහසික වුවා. සොයාගෙන ඇති වාර්තා වලට අනුව නිවුන් දරුවන් 1500කට ආසන්න ප්‍රමාණයක් මෙම අමානුෂික පර්යේෂණවලට ලක්කර ඇති අතර ඉන් පන බේරාගෙන ඇත්තේ 200ක් පමණ පිරිසකි. ඔවුන් අතරද සදාකාලිකව රෝගාතුර වූ දරුවන් බොහෝ වේ.

 

ජෝෂෆ් මෙන්ගලේ (Josef Mengele)

මෙම පර්යේෂණ මෙහෙයවීම සිදුකර ඇත්තේ ජෝෂෆ් මෙන්ගලේ (Josef Mengele)නමැති නාසි වෛද්‍යවරයා විසිනි. මොහු “මරණයේ දුතයා” (Angel of death) ලෙස පසු කාලීනව හඳුන්වා දී ඇත්තේ ඔහු විසින් සිදුකරන ලද භයානක පර්යේෂණ නිසා බොහෝ ජීවිත ප්‍රමාණයක් විනාස වීම නිසායි. අවාසනාවන්ත ලෙස දෙවන ලෝක යුද්ධය අවසානයේ මිතුරු පාර්ශ්වික රටවල හමුදාවන්ට අසු නොවී පලායාමට හැකි වූ නිසා මොහුට නිසි දඬුවම් ලබා දිය නොහැකි වූවා.

 

මුහුදු ජලය සම්බන්ද පර්යේෂණ (Sea water Experiment)

නාසි විද්‍යාඥයින් විසින් මිනිස් සිරකරුවන් යොදාගෙන සිදුකල තවත් අමානුෂික පර්යේෂණයක් වුයේ මුහුදු ජලය පානිය ජලය ලෙස ප්‍රයෝජනයට ගැනීමට  හැකිදැ යි  සොයා බලිමට සිදුකල පර්යේෂනයන්ය. මෙහිදී තෝරාගත් සිරකරුවන් පිරිසක් නිරාහාරව තබා ඔවුන්ට මුහුදු ජලය පානයට සැලස්වූවා. මෙමගින් දැඩි විජලනයට භාජනය වූ සිරකරුවන් පිරිසිදු දිය පොදක් වෙනුවෙන් පොලොව සේදු විට එහි ඇති ජලය ලෙව කෑමට පවා උත්සහකල බව පැවසෙනවා.

 

ක්ෂය රෝගය සම්බන්ද පර්යේෂණ (Tuberculosis experiment)

පර්යේෂණවලට ලක් වූ දරුවන්

නාසි වෛද්‍යවරුන් විසින් කරන ලද තවත් ඉතා භයංකර පරේෂණයක් වුයේ ක්ෂය රෝගය මර්ධනය සඳහා ප්‍රතිකාර සෙවීමට සිරකරුවන් යොදයෙන සිදු කල පර්යේෂනයන්ය. මේ සඳහා ක්ෂය රෝගය ඇති කරන බැක්ටීරියාව නිරෝගී සිරකරුවන් වෙත බලහත්කාරයෙන් එන්නත් කරන ලදී. ඉන්පසු විවිධ ප්‍රතිකාර ඔවුන් මත අත්හදා බලන ලදී. බොහෝ සිරකරුවන්ගේ වසා ග්‍රන්ථි ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමද සිදුකල බව පැවසෙනවා. සියලු පර්යේෂණ අවසානයේ සියලුම සිරකරුවන් මරා දමන්නට තරම් ඔවුන් සාහසික වුවා.

 

අඩු පීඩන තත්ත්ව පිලිබඳ පර්යේෂණ ( High altitude experiment )

වදකාගාර ඇතුලත

මෙම පර්යේෂණ සිදුකරනු ලැබුවේ නාසි ගුවන් හමුදාවට සම්බන්ද සිග්මන්ඩ් රෂර් (Sigmund Rascher)නමැති පර්යේෂකයා විසිනි. මෙමගින් බලාපොරොත්තු වුයේ නාසි  ගුවන් නියමුවන්ට  ඉහල අහසේදී  පැරෂුට් මගින් පැනීමට සිදුවුවහොත් ඔවුන්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වයන් සහ එසේ ය හැකි ඉහලම උස පිළිබඳව අධ්‍යයනය කිරීමයි. මේ සඳහා වදකාගාර තුල අඩු පීඩන කුටි සකසනු ලැබුවා. එතුලට නිරෝගී සිරකරුවන් ඇතුළු කර එහි පීඩනය අඩු කරමින් ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කෙරුණා. මෙහිදී බොහෝ සිරකරුවන් ඉතා දුක්විද මරණයට පත් වුවා. පර්යේෂකයන්ගේ සටහන්වල සඳහන් වන පරිදි ප්‍රථමයෙන් ඔවුන් හිස වනමින් දැඩි වේදනාව පල කර ඇති අතර ඉන්පසු ටිකෙන් ටික හුස්ම ගැනීමේ  අපහසුව නිසා නිල්පහයට හැරී අවසානයේ  දැඩි වේදනාත්මක මරණයකට ගොදුරු වූ බව පැවසෙනවා. මෙම පර්යේෂණ ඉතා රහසිගතව සිදුකෙරුණු අතර ඒ පිළිබඳව යම් ලෙසකින් දැනගත් පුද්ගලයන්ද ගෑස්  කුටීර තුලට දම මරණයට පත් කෙරුණා.

 

නුරම්බ්ර්ග් අධිකරණ තීන්දුව (Nuremberg  trial )

මේ ආකාරයට මිනිසත්කමට නිගා දෙමින් සිදුකෙරුණු පර්යේෂණ හා ඒවා මෙහෙයවූ පර්යේෂකයින් ලෝක යුද්ධය අවසානයේ දැඩි අවදානයක් දිනාගනු ලැබුවා. ඔවුන්ට දඬුවම් පැමිණවීම වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටවනු ලැබුවා. මේ සඳහා මිතුරු පාර්ශ්වයේ රටවල් විසින් තෝරාගැනුනේ  නාසි පක්ෂයේ ආරම්භය ඇති වූ ජර්මනියේ නුරම්බර්ග් (Nuremberg ) නගරයයි. නාසි හමුදාවන්ගේ අවසානයත් එහිදීම සිදුවිය යුතුයි ඔවුන් සිතන්නට ඇත. අධිකරණ කටයුතු සඳහා සෝවියට් දේශය, එක්සත් රාජධානිය, අමෙරිකා  එක්සත් ජනපදය හා ප්‍රංශය එක්ව කටයුතු කළා. මෙහිදී සියලුම මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය  කරමින් අමානුෂික පර්යේෂණ සිදුකල පර්යේෂකයන්ට හා දෙවන ලෝක යුද්ධයේ ඉදිරියෙන් කටයුතු කල නාසි හමුදා නායකයින් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණා. මෙම අධිකරණ මගින් සිදුකෙරුණු තවත් කාර්යයක් වුයේ අනාගත වෛද්‍ය පර්යේෂණ සඳහා මිනිසුන් යොදාගන්නා විට පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමයි. මෙය Nuremberg code ලෙස හඳුන්වා දෙනු ලැබුවා.

 නුරම්බ්ර්ග් අධිකරණය

 

කෙසේවෙතත් මේ සියල්ල සිදුවන විට බිලියන 2ක පමණ මිනිසුන් පිරිසක් මෙලොව හැරදා ගොස් අවසානයි. බල ලෝභය නිසා ඇති වූ මෙවැනි භයානක ඛේදවාචකයක්  නැවත මෙලොව ඇති නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

සැකසුම : ගිෂානි නිසංසලා

සබැදි

http://www.history.com/topics/world-war-ii/nuremberg-trials

https://www.youtube.com/watch?v=MWJyjAYyF8E

https://www.ushmm.org/wlc/en/article.php?ModuleId=10005168

ගෝලීය උණුසුම වැඩිවීමේ බලපෑම් – effects of global warming

ශ්‍රී ලංකාවට පසුගිය කාලය තුල ස්වභාවික විපත් රැසකින් පීඩා විදින්නට සිදුවූවා . ඇතැම් වැඩිහිටියන් පැවසුවේ ඔවුන්ට මතක කාලය තුල මෙතරම් ස්වභාවික විපත් එක පෙලට සිදුවූ කාලයක් නැති බවයි. ශ්‍රී ලංකාව තුල පමණක් නෙවෙයි මුළු ලෝකයටම පෙර නොවූ විරූ ආකාරයට ස්වභාවික විපත්වලින් බැටකෑමට සිදුවුණා. මෙලෙස ස්වභාවික විපත් එක පෙලට ඇති වීම අහම්බයක් නොවන බවයි විද්‍යාඥයින්ගේ මතය. එසේනම් මොකක්ද ස්වභාවික විපත් වැඩි වීමට හේතුව? අද අපි ඒ ගැන කතා කරමු.

පෙර ලිපියකදී අපි හරිතාගාර ආචරණය සහ හරිතාගාර ආචරණය නිසා ගෝලීය උෂ්ණත්වය ඉහල යන ආකාරය පිළිබඳව දැනුවත් වුණා. බොහෝ විද්‍යාඥයින්ගේ මතය නම් මෙම ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ලෝකයේ දේශගුණ විපර්යාස බොහොමයකට හේතුව වන බවයි. නමුත් මේ පිළිබඳව කාලයක් තිස්සේ විද්‍යාත්මක ප්‍රජාව හා රට රටවල පාලන අධිකාරී අතර මත ගැටුමක් පැවතුණා. විද්‍යාඥයින් පැවසුවේ ගෝලීය උණුසුම දිනෙන් දින වැඩි වන නිසා ඉදිරියේදී දරුණු දේශගුණ විපර්යාස ඇති විය හැකි බවත්, ඒ සඳහා සුදුසු පිළියම් ගත යුතු බවත්ය. මොවුන් යෝජනා කල පිළියම් ආර්ථික වශයෙන් රට වලට අවාසිදායක වූ නිසා මෙම යෝජනා එක්වරම පිළිගැනීමට පාලකයින් සුදානම් වුයේ නැහැ. මේ නිසා පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට විද්‍යාත්මක ප්‍රජාවට සිදු වුණා. ඒ අතරින් වැදගත් කරුණු කිහිපයක් පහත ආකාර වෙයි.

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම

නාසා ආයතන මගින් වර්ෂ 1880 සිට ලබාගත් ගෝලීය උෂ්ණත්වය පිලිබඳ දත්ත එකතුකර කාලයත් සමග උස්ණත්වය වෙනස් වීමේ ප්‍රස්තාර සටහනක් ඉදිරිපත් කළා . මෙහි පැහැදිලිව මෑත කාලය තුල උෂ්ණත්වය ඉහල ගොස් ඇති ආකාරය පෙන්වා දෙනවා. ඔවුන්ට අනුව මෙම කාලය තුල උෂ්ණත්වය අධිකම වර්ෂය වී ඇත්තේ 2016 වර්ෂයයි.

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල යාම  

 

ගෝලීය උණුසුම වැඩි වීමට හේතුවන ප්‍රධාන සාධකය ලෙස සලකන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වෙනස් වන ආකාරයද විද්‍යාඥයින් විසින් ප්‍රස්තාරගත කළා. මෙහිදී පෙනී ගියේ ඉතිහාසය තුල වැඩිම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් විමෝචනය වී ඇත්තේ 1950 සිට කාලය තුල බවයි. එයත් ඉතා ශිග්‍ර ඉහළයාමක් බව නිරීක්ෂණය වුණා. මෙයට ප්‍රධාන හේතුව ලෙස කාර්මික විප්ලවය නිසා සිදුවූ කර්මාන්තවල නැගීම හා පොසිල ඉන්ධන දහනය අධික වීම හදුනාගැනුනා.

උත්තර ධ්‍රැවයේ ග්ලැසියර් දිය වීම

ගෝලීය උණුසුම වැඩි වීම හොඳින්ම පෙන්වන අවස්ථාව වන්නේ පෘථීවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ඇති අයිස් සහ විශාල ග්ලැසියර් පසුගිය වර්ෂ කීපය තුල ශීග්‍රයෙන් දිය වී යාමයි. චන්ද්‍රිකා ඡයාරූප මගින් මෙය පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය. වර්තමානයේ ආක්ටික් ධ්‍රැව ප්‍රදේශයේ අයිස් දිය වීම වසර 10කට සියයට 13.2 ක ශිග්‍රතවයකින් සිදුවෙනවා. මෙලෙස අයිස් දියවීම නිසා මුහුදේ ජල මට්ටම ඉහල යාම හා එම ප්‍රදේශවල ජීවත්වන සතුන්ට වාසස්ථාන අහිමිවීම සිදුවේ.

 

මෙවැනි ප්‍රතික්ෂේප කල නොහැකි කරුණු ඉදිරිපත් වනවිට දරදඬුව සිටි ලෝක පාලකයින් තම මතයට නමම ගනිඉමට විද්‍යාත්මක ප්‍රජාවට හැකි වුනා. එහි ප්‍රතිපලයක් වශයෙන් තමයි කියෝටෝ ගිවිසුමට ලෝක නායකයින් අත්සන් කිරීම සිදු වුයේ , මෙය 1997 දී අත්සන් කෙරුණත් ක්‍රියාත්මක කිරීම සිදු වුනේ 2005 වසරේ සිටයි. 2005 සිට 2012 කාලය තුල ගිවිසුමට එකඟ වූ රටවල් තම රටවල්වලින් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එකඟ වූ සීමාවක් තුල තබාගත යුතු වුණා. මෙම කාලසීමාව අවසන්වනවිට මෙය සාර්ථකව සිදුවූ නිසා දෙවන අදියරක් ද ක්‍රියාත්මක කිරීමට ලෝක නායකයින් එකඟතාව පලකලා. නමුත් අවාසනාවන්ත ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව මෙම ගිවිසුම්වලට ක්‍රියාකාරී සහභාගිත්වයක් දැක වුයේ නැහැ. නමුත් ඔවුන් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වැඩිම ප්‍රමාණයක් නිකුත් කරන රටවල් දෙකක් වීම නිසා මෙය අවාසිදායක තත්වයක් වුණා.

කෙසේ වෙතත් විද්‍යාඥයින් පැවසුවේ ගෝලීය උණුසුම වැඩි වීම නිසා අනාගතයේ ලෝකය දැඩි දේශගුණ විපර්යාසවලට මුහුණ පෑ හැකි බවයි. මෙය සත්‍යයක් බව පසක් කරමින් වර්තමානය වනවිට ලෝකයේ දේශගුණ තත්වය වෙනස් වී තිබෙනවා. වැසි වැටීමේ රටාවේ වෙනස්කම් ඇති වී ඇති අතර වැසි වැටෙන විට ඒවා ඉතා අධික ප්‍රමාණයකින් ලැබෙන අතර, වැසි නොලැබෙන විට ඉතා තද ඉඩෝර කාලවලට මුනුන දීමට සිදුවී තිබෙනවා. ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට විටින්විට ඇතිවන සුළි කුණාටු ප්‍රබලත්වයෙන් වැඩි වී තිබෙනවා. මෑතකදී එක පෙලට ඇමෙරිකාවට බලපෑ සුළි කුණාටු ඒ සඳහා සාක්ෂි දරයි. අයිස් දියවීමෙන් හා උෂ්ණත්වය වැඩි වීම නිසා මුහුදු ජලය ප්‍රසාරණය වීමෙන් මුහුදු මට්ටම ඉහල යාම නිසා පහත් ප්‍රදේශවල තිබෙන මාලදිවයින වැනි රටවල් යටවී යාමේ අවධානමක් ඇති වී තිබේ. බෝග වගා සඳහා අවශ්‍ය දේශගුණික තත්ත්ව වෙනස් වීම නිසා බෝග විනාශ වීමද සිදුවේ.

මේ සියලු කරුණු සලක බැලූ විට දේශගුණ විපර්යාස යනු තවදුරත් අනාගතයේ සිදුවන දෙයක් නොව වර්තමානයේ අප හමුවේ ඇති අභියෝගයක් බව වැටහී යනවා. එයට මුහුණ දීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අනාගත පරම්පරාවේ සුරක්ෂිතතාව ඇති කිරීමට අත්‍යවශ්‍ය කරුණකි.

 

සැකසුම :ගිෂානි නිසංසලා

https://climate.nasa.gov/vital-signs/arctic-sea-ice/

https://www.nationalgeographic.com/environment/global-warming/global-warming-effects/

හරිතාගාර ආචරණය – Green House effect

ලෝකයේ විද්‍යාත්මක ප්‍රජාව තුල වැඩි කතා බහට ලක්වන මාතෘකාවක් තමයි ගෝලීය උණුසුම වැඩි වීම (global  warming). දැනට වසර 20 ක පමණ සිට  විද්‍යාඥයන්මේ පිළිබඳව ලෝකය තුල දැනුවත්භාවය වැඩි කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ආකාරය දැකිය හැකියි. ඇත්තටම මොකක්ද මේ ගොලීය උණුසුම වැඩි වීම  කියන්නේ? අපි අද ඒ ගැන දැනුවත් වෙමු.

 

පෘතුවිය එහෙමත් නැත්නම් අපේ ලෝකය කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් එක් ග්‍රහලෝකයක් පමනයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ සියලුම ග්‍රහලෝක අතරින් ජීවින් සිටින ග්‍රහ ලෝකය වන්නේ පෘතුවිය වීමයි. මෙලෙස පෘතුවියේ පමණක් ජීවය ඇති වීමට හේතුව ලෙස  විද්‍යාඥයන්  විසින් සොයාගෙන ඇත්තේ පෘථුවිය  වටා පවතින වායුගෝලය හා ජීවීන්ට සුදුසු ප්‍රශස්ත උෂ්ණත්වයයි.  මෙම ප්‍රශස්ත උෂ්ණත්වය ඉතා වැදගත් සාධකයක් වෙනවා. පෘතුවිය තුල ජීවය පවත්වා ගැනීමට නම් මෙම ප්‍රශස්ත උෂ්ණත්වය දිගින් දිගටම පවත්වා ගතයුතුයි. නමුත් වර්තමානය වනවිට ලෝකයේ උෂ්ණත්වය පෙර නොවූ විරූ ලෙස වැඩි වෙමින් පවතිනවා. මෙය මිනිසුනට එකවර නොදැනෙන දෙයක් වුවත් පරිසරයට  මෙමගින් ඇති වන බලපෑම ඉතා ඉහලයි.විද්‍යාඥ කණ්ඩායම් විසින් වසර සිය ගණනක සිට පෘතුවියේ උෂ්ණත්වය වෙනස්වීම සලකා බැලු විට පසුගිය සියවස තුල ඇති වී ඇති උෂ්ණත්වය ඉහල යාම අනෙක් කාල වලට වඩා ඉහල බව සොයාගෙන තිබෙනවා. වඩාත් බැරෑරුම් දෙය වන්නේ එය තවදුරටත් ඉහල යාම මිස පාලනයක් සිදු නොවීමයි.

 

හරිතාගාර ආචරණය 

 

මෙම ප්‍රශස්ත උෂ්ණත්වය කෙරෙහි බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකය ලෙස  විද්‍යාඥයන් සොයා ගෙන තිබෙන්නේ හරිතාගාර ආචාරණය යි (green house effect) . හරිතාගාර ආචරණය යනු වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩි වීම  නිසා ඇතිවන තත්වයකි. මුලින්ම අපි හරිතාගාර වායුන් හඳුනාගනිමු.

හරිතාගාර වායුන් (green  house  gases) වන්නේ කාබන් ඩයොක්සයිඩ් (carbon Dioxide) , මීතේන් (Methane) , නයිට්‍රස් ඔක්සයිඩ් (Nitrous Oxide) හා ජල වාෂ්ප ආදියයි. හරිතාගාර වායුන්ගේ ලක්ෂණයක් වන්නේ තාපය උරාගැනීමේ හැකියාව වැඩි වීමයි. ඔබ දන්නවා පෘතුවියට ආලෝකය හා තාපය ලැබෙන්නේ සූර්ය කිරණවලින්  බව. මෙලෙස ආලෝකය හා තාපය රැගෙන එන සූර්ය කිරණ පෘතුවිය මතට වැටෙන්නේ වායුගෝලය හරහා පැමිණයි. මෙම  සූර්ය කිරණ පෘතුවිය මතට වැටීමෙන් පසුව නැවත පරාවර්තන වී වායුගෝලයට නිදහස් වෙනවා. වැටෙන සියලුම සූර්ය කිරණවල අඩංගු තාපය  පෘතුවිය විසින් උරා ගත්තේ නම් පෘතුවිය මත උෂ්ණත්වය ඉතා අධික වී ජීවිනට අහිතකර තත්වයක් ඇතිවනවා. මෙලෙස පරාවර්තන වී යන සූර්ය  කිරණ නිවැරදි  ආකාරයට නම් නැවත ඉහල අවකාශයට ගමන් කල යුතයි. නමුත් හරිතාගාර වායුන් විසින් මෙම කිරණ වල අඩංගු තාපය උරාගැනීම  සිදු කරනවා. හරිතාගාර වායු බොහෝවිට රැඳෙන්නේ වායුගෝලයේ  පහල මට්ටම තුලයි. මෙම නිසා පෘතුවිය ආසන්නයේ වායුගෝලය රත්වී උණුසුම අධික වනවා. වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩිවන තරමට උෂ්ණත්වය වැඩි වීමද ඉහල යනවා. හරිතාගාර ආචරණය ලෙස හඳුන්වන්නේ මෙම සිද්ධියයි.

 

ඉදිරි වැඩපිළිවෙල

 

ලොව පුර විවිධ රටවල විද්‍යාඥයින් 1300ක් පමණ සම්බන්ධ කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයක දී  ලෝකයේ උෂ්ණත්වය ඉහල යාමට ප්‍රධාන හේතුව ලෙස හරිතාගාර ආචරණය නම් කෙරුණා. එමෙන්ම වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩි වීමට 95% ක්ම හේතු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් බවත් ඔවුන් ප්‍රකාශ කලා. වසර 200ක් පමණ අතීත දත්ත සැළකු විට පසු ගිය වසර 50 තුල වායුගෝලය තුල කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉතා ඉහල අගයකට පැමිණ තිබෙනවා. කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරෙන ක්‍රම බොහොමයකට මිනිස් ක්‍රියාකාරකම් හේතු වනවා. කර්මාන්තශාලාවලින් පිටවන දුම්, රථවාහන වලින් පිටවන දුම්, වන විනාශය ආදිය මෙම ක්‍රියාකාරකම් අතරින් කිහිපයක්. මෙම අධ්‍යයනයන්ගෙන් පසු ලෝකය තුල හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රමුඛ වී විවිධ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. ප්‍රධාන වශයෙන් වැඩියෙන් කබන් ඩයොක්සයිඩ් පිටකරන රටවල් හඳුනාගැනීමත් එම රටවල්වල රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමත් සිදු කෙරුණා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කියෝටෝ සම්මුතිය (Kyoto  protocol) නමින්  ලෝකයේ රාජ්‍ය නායකයින්  සමග ගිවිසුමකට එළඹුණා. 1997 දෙසැම්බර් 11 වන දින ජපානයේ කියෝටෝ නගරයේ  දී අත්සන් කෙරුණු මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ වුයේ ලෝකයේ රට රටවල් විමෝචනය කරන හරිතාගාර වායුන් ප්‍රමාණය සීමා  කිරීමයි. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටළු වලට මුහුණ දීමටද සිදුවුණා .

 

මිනිසාගේ හිත සුව පිණිස මිනිසා සිදුකරන බොහෝ කටයුතු ගෝලීය උණුසුම වැඩි කිරීමට දායක වී තිබෙනවා. නමුත් තවදුරටත් එසේ  නොසැලකිලිමත්ව කටයුතු කළහොත් ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නෙත් මිනිසාටම බව අප  මතක තබා ගත යුතුයි. ගෝලීය උණුසුම වැඩි වීම නිසා ලෝකයට ඇති වන බලපෑම පිළිබඳව ඉදිරි ලිපියකදී වැඩි දුරටත් සාකච්ඡ  කරමු.

 

සැකසුම : ගිෂානි නිසංසලා 

 

 

මුලාශ්‍ර :

 

https://climate.nasa.gov/causes/

http://unfccc.int/kyoto_protocol/background/items/2879.php

http://www.environment.gov.au/climate-change/climate-science-data/climate-science/greenhouse-effect

විශ්මයජනක පාවෙන දුම්රිය

 

අපි හැමෝම කැමතියි දුම්රියේ ගමන් යන්න. එත් ඔබ දන්නවාද තවමත් ශ්‍රී ලංකාවේ භාවිත වන්නේ ඉතාම ප්‍රාථමික දුම්රිය තාක්ෂණයක් බව. ශ්‍රී ලංකාව තුල තවමත් ඉන්ධන මගින් ක්‍රියාත්මක වන දුම්රිය එන්ජින් භාවිත කරනවිට ලෝකය බහුලව භාවිත කරනනේ විදුලි  දුම්රියයි. මෙම විදුලි දුම්රියන් අතරින්ද ඉතා වේගවත් bullet train යනුවෙන් හඳුන්වන පැ .කි .මී .300 පමණ වේගයෙන් ගමන් කරන විදුලි දුම්රියද බොහෝ රටවල භාවිතයට ගැනෙනවා.  මේ සියලු තාක්ෂනය අභිබවමින් නවතම දුම්රිය තාක්ෂණයක් මේ වනට බිහි වී තිබෙනවා. මේවා හඳුන්වන්නේ Maglev trains  යනුවෙන්.

 

Maglev trains සඳහා මෙම නම වැටීමට හේතුව ඒ සඳහා භාවිතා වන magnetic levitation තාක්ෂණයයි. මෙම තාක්ෂනය මගින් කරනු ලබන්නේ විද්‍යුත් චුම්බක මගින් සාදන ලද දුම්රිය මාර්ගයක් මත දුම්රිය මැදිරි පා වන ආකාරයට ගමන් කිරීමයි. ඔව්, ඔබ පුදුම වෙනවා ඇති නමුත් මෙම තාක්ෂනය වර්තමානය වන විට භාවිත කරන රටවල්ද සිටිනවා. ඔබ දැක තිබෙනවා

ස්ථිර චුම්බක දෙකක සමාන ධ්‍රැව 2ක් සමීප කල විට ඒවා විකර්ෂණය වන ආකාරය. මෙම දුම්රිය පාවීම සඳහා  යොදාගන්නේ චුම්බකවල එම ලක්ෂණයි. දුම්රිය මාර්ගය විද්‍යුත් චුම්බකයකිත කර  දුම්රිය මැදිරිවල යට කොටස  තුල විශාල චුම්බක සවි කිරීමෙන් මෙම විකර්ෂණය ලබාගත හැකියි. එමගින් දුම්රිය මැදිරි 10cm  පමණ ඉහලින් පාවීමට සලස්වනවා. මෙමගින් ලැබෙන ප්‍රයෝජනය වන්නේ සාමාන්‍ය දුම්රියවල රෝද හා පීලි අතර ඇතිවන ඝර්ෂණය මෙහිදී ඇති නොවීමයි . එමනිසා දුම්රියේ වේගය තවත් වැඩි කරගත හැකියි.

 

ලෝකයේ බලවත් රටවල් තුල මෙම තාක්ෂනය පිළිබඳව පර්යේෂණ ඇරඹුනේ 1980 තරම් ඈත කාලයේ දී ය. ප්‍රධාන වශයෙන් ජර්මනිය හා ජපානය මෙම තාක්ෂණයේ නියමුවන්. නමුත් ඔවුන් භාවිත කරන ශිල්ප ක්‍රම එකිනෙකට වෙනස් බව පැවසෙනවා. ප්‍රථම වාණිජ maglev දුම්රිය ආරම්භ වුනේ 2004 වර්ෂයේ චීනය තුළයි . මෙය Shanghai maglev train ලෙස හැඳින්වෙනවා. එහි වේගය පැ.කි.මී. 430 ක පමණ ඉහල අගයක පවතිනවා. ජපානයද මේ වනවිට වැඩි වැඩියෙන් maglev තාක්ෂනය ඔස්සේ පර්යේෂණ කරමින් පවතින් අතර 2027 වනවිට ජපානයේ ප්‍රධාන නගර දෙකක් වන Tokyo හා Nagoya අතර මෙම දුම්රිය මාර්ගයක් ගොඩනැගීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. පසුගිය දිනක ජපානය තම පර්යේෂණවල ඉහලම ප්‍රගතිය වාර්තා කළා . ඒ ලෝකයේ වැඩිම වේගයෙන් ධාවනය වන maglev දුම්රිය නිර්මාණය කරමින්. මෙම දුම්රියේ උපරිම වේගය 603 kmh වැනි ඉතා ඉහල අගයක් ගත්තා.

 

ඉතා කාර්යබහුල දිවි පෙවතක් ගතකරන වර්තමාන සමාජයට ගමනාගමනය හා ප්‍රවාහනය සඳහා  ඉතා වේගවත් ක්‍රම අවශ්‍ය වීම අරුමයක් නොවේ. නමුත් වේගය වැඩි  වන තරමට අවදානමද වැඩි වන නිසා මෙහිදී ඇති විය හැකි අනතුරු පිළිබඳව ද බොහෝ දෙනා අදහස් පල කර තිබෙනවා. විශේෂයෙන්ම ජපානය වැනි නිතර භූමිකම්පා ඇති වන රටක මෙම ක්‍රමය භාවිත කිරීම පහසු දෙයක් නොවේ. යම් ලෙසකින් ධාවන පථයේ ඇති චුම්බකීත තත්වයේ වෙනසක් වුවහොත් දුම්රියේ ගමනට බාධා ඇති වී විශාල විනාශයක් සිදු විය හැකියි. මෙවැනි අවස්ථා සඳහා සුදුසු විසඳුම් සොයා ගැනීමට පර්යේෂකයින් උත්සාහ කරමින් පවතිනවා.

 

කෙසේ නමුත් maglev ආගමනයත් සමඟ ලෝකයේ ගමනාගමන කටයුතු වෙනස්ම මුහුණුවරක් ගනු නොඅනුමානයි.

වීඩියෝ : https://www.youtube.com/watch?v=l-U7s6KpKwg

සැකසුම : ගිෂානි නිසංසලා