ජාත්‍යන්තරය ජයගන්නා ශ්‍රී ලාංකික තාරුණ්‍යය

භද්‍ර යෞවනයේ පසුවන තරුණ තරුණියන් යනු රටක ජීවනාලිය හෙවත් අනාගත නායකත්වයි. රටක අනාගතය භාරගන්නා තරුණ පිරිස දැනුමෙන්, කුසලතාවයෙන් හා නිර්මාණශිලිත්වයෙන් යුතු ජවසම්පන්න ප්‍රජාවක් වියයුතුය. මෙකී අභිලාෂය සාක්ෂාත් කරගැනීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවද අනාගත පරපුර ශක්තිමත් කිරීම සදහා රජයක් ලෙස සැම උත්සාහයක්ම ගනු ලබනවා.

“බලගතු තරුණයකු බිහිකිරීම” ජාතික තරුණ සේවා සභාවේ දැක්ම වන අතර “දේශය හා ජාත්‍යන්තර අභියෝග සදහා මුහුණ දීමට ශ්‍රී ලාංකික තරුණයා සවිබල ගැන්වීම හා පහසුකම් සැපයීම” එහි මෙහෙවරයි.

ලොව බොහෝ තරුණ නායකයින් එකිනෙකා හා හමුවී තමන්ගේ අත්දැකීම් හුවමාරු කරගන්නා නොයෙකුත් ජාත්‍යන්තර වැඩසටහන් පැවැත්වෙන්න තාරුණ්‍යය සවිබලගැන්වීමේ අභිප්‍රායෙන්.

“Ship for World Youth- SWY” නැතහොත් ලෝක තරුණ නායකයින්ගේ නෞකා වැඩසටහන මෙහි එක් පියවරක්.

ගෝලීයකරණය පිලිබදව ජාත්‍යන්තර කතිකාවතක් ඇති වි තිබෙන මෙවන් යුගයක සියලුම බාධක තරණය කරමින් දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන්ද සහයෝගිතාවය, සමායෝජනය, ප්‍රමන්ත්‍රණ ආදී සැම ක්ෂේත්‍රයකම කටයුතු කළහැකි තරුණ නායකයින්ගේ අවශ්‍යතාවය සියලුම රටවලට තදින්ම දැනෙනවා. එම තරුණ නායකයින්ට අත්වැලක් වෙමින්, තම දක්ෂතා දියුණු කරගැනීමට වාර්ෂිකව පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන මෙම වසරේදීද නොබෝදා ක්‍රියාත්මක වීමට නියමිතයි.

ජපන් රජය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම පුහුණු වැඩසටහනේ මූලික පරමාර්ථය වන්නේ විවිධ ජාතීන්ගේ සංස්කෘතීන් හදුනාගනිමින් එමගින් අන්තර්ජාතික සහයෝගිතාවය වර්ධනය කිරීමයි. මෙමගින් නායකත්ව ගුණාංග වර්ධනය කිරීමටත්, ජාතින් අතර සන්නිවේදනය ඉහල නැංවීමටත්, කළමනාකරණ කුසලතා ඔප්නංවාලීමටත් බලාපොරොත්තු වෙනවා. . විවිධ රටවල මෙන්ම විවිධ පසුබිම් වලින් යුතු තරුණ නායකයින් එක්ව සහභාගී වන දේශන, ක්‍රියාකාරකම් හා වැඩමුළු මගින් ඔවුන් අතර අනොන්‍ය සහයෝගිතාවය වර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරෙනවා. ජාතින් අතර පවතින සීමාවන් බිදදමා ශක්තිමත් මානව සම්බන්ධතාවන් ගොඩනගමින් විශ්වීය නායකයින් බිහිකිරීම මගින් තාරුණ්‍යය ශක්තිමත් කිරීමටත් මෙම වැඩසටහනෙන් අපේක්ෂා කෙරෙනවා.

එහිදී මෙයට සහභාගිවන්නන් පහත පරිදි කණ්ඩායම් හතරකට බෙදෙනවා.
• National Delegation
• Letter Group
• Committee
• Course Discussion

අනතුරුව විවිධ ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෙම වැඩසටහන සිදුකෙරෙනුයේ මෙම කණ්ඩායම් හරහායි.

මෙම වැඩසටහන 2018.01.16 දින සිට 2018.03.02 දින දක්වා ගොඩබිමේ මෙන්ම Nippon Maaru යන නමින් හැදින්වෙන නෞකාවක් තුලදී පැවැත්වීමට නියමිතයි. ජපානය , ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රටවල් කරා පැමිණෙන මෙම නෞකාව රටවල් එකොළහකින් පැමිණෙන දෙසියයකට අධික තරුණ නායකයින්ගෙන් සමන්විතයි.

ජපානය,ඕස්ට්‍රේලියාව,ඉන්දියාව,ශ්‍රී ලංකාව, ස්පාඤ්ඤය,කැනඩාව,දකුණු අප්‍රිකාව ආදී රටවලින් මෙම වැඩසටහනට නියෝජිතයින් පැමිණෙනවා.

ජිවිතයේ එක්වරක් පමණක් අත්විදීමට ලැබෙන මෙම මහගු අවස්ථාවට එක් රටකින් එක්වරකට දොලොස්දෙනෙකුට පමණක් සහභාගිවීමට අවස්ථාව හිමිවෙනවා.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ චමල් රන්දුනු අමරවීරටයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකාව ලෙස තක්ෂිලා පෙරේරා හා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ලෙස මාධව ද අල්විස් තේරී පත්වී තිබෙනවා. ජාතික තරුණ සේවා සභාවේ සෞන්දර්ය කලා ඩිප්ලෝමා හා විශේෂ නර්තන කණ්ඩායමේ උපදේශකවරයෙක් වශයෙන් සේවය කරන සදුන් මධුෂික සෙනරත් බණ්ඩාර ද මෙම කණ්ඩායමේ සාමාජිකයෙක්. මධුෂා එරන්දි ,අබ්දුල් රසාක් අසාම් (AR), ලහිරු සුපුන් ගමගේ, චතුසරා කුමාර, හසිත් සදරුවන්, අචිනි නදීෂානි, සුපිපි ලක්ප්‍රභා හා රධික ජයලත් කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින්.

 

2018.01.15 වන දින මෙම පිරිස “Ship for World Youth- SWY” නැතහොත් ලෝක තරුණ නායකයින්ගේ නෞකා වැඩසටහනට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි. ලක්වැසි ජනතාවගේ හදපිරි ආශිර්වාදය ද සමගින් ජාත්‍යන්තරයේ ලංකා මෑණියන්ගේ නාමය ඉහලින්ම ඔසවා තැබීමට හැකිවේවායි දියනෙත් අපෙන් උණුසුම් සුබපැතුම්!!!!

 

 

 

ඉන්දියන් සාහිත්‍යයේ නව පෙරළිකාරයා -චේතාන් භගත්

පොත් කියවන අයට නම් චේතාන් භගත් (Chethan Bhagath)  කියන්නේ අමුතු නමක් නෙමෙයි. ‘දෙන්න දෙපැත්තේ ආරති මැද්දේ , යස්ස ළමිස්සි, හැංගි විහංගි, මොන මගුලක්ද මන්දා, හලෝ හලෝ ’ වගේ නම් වලින් ඔහුගේ පොත් කිහිපයක්ම සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. ඉන්දියානු ජාතිකයෙක් වන චේතාන් භගත්ව ලෝකයා හදුනාගන්නේ නාගරික මධ්‍යම පාන්තික තරුණ තරුණියන් පිලිබදව නාට්‍යම ශෛලයේ නවකතා ඉංග්‍රීසි බසින් රචනා කරන නවකතාකරුවෙක් ලෙසයි. ඒ වගේම ඔහු  තීරු ලේඛකයෙක්. තිර රචකයෙක්. රුපවාහිනියේ සුපිරි තරුවක් වගේම අභිප්‍රේරක දේශකයෙක්.

චේතාන් භගත්

 

වර්ෂ 1974 අප්‍රේල් මාස 22 වන දින මෙලොව එලිය දුටු චේතාන්ගේ පියා හමුදා නිලධාරියෙක්.මව රජයේ නිලධාරිනියක්. එකම සොහොයුරා කේටානුත්  (Ketan) නවකතාකරුවෙක්.  ඔහු අධ්‍යාපනය ලැබුවේ දිලියේ හමුදා පාසලකින්. පසුව Indian Institute Technology Delhi (IIT) ආයතනයෙන්  යාන්ත්‍රික ඉංජිනේරු අංශයෙන් තම උපාධිය ලබාගත්තා.  1997 වසරේදී ඔහු MBA උපාධියත් සම්පුර්ණ කළා.

 

අභ්‍යන්තර සම්මුඛ පරීක්ෂණ 27කට මුහුණ දීමෙන් අනතුරුව චේතාන් ආයෝජන බැංකු ක්ෂේශ්ත්‍රයේ ඉහලින්ම වැජඹෙන Goldman Sachs හි රැකියාව ලබාගත්තා. එහි හොංකොං ශාඛාවේ වසර 10ක් පමණ සේවය කල ඔහු ඒ අත‍රතුරදී Five point someone කෘතිය ප්‍රකාශයට පත් කළා. ඔහුව රැකියාවෙන් ඉවත් කල නිසා, නැවතත් ඉන්දියාවේ මුම්බායි නගරයට පැමිණි චේතාන් තම ලේඛන දිවිය උදෙසා තම සම්පුර්ණ කාලය වෙන්කළා. ඔහු 1998 වර්ෂයේදී තම පෙම්වතිය වූ අනුෂා සුර්යනාරයන් විවාහ කරගත්තා. ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ තරුණියක්.ඔහු දැන් දෙදරු පියෙක්.

චේතාන් තම පවුලේ සාමාජිකයින් සමගින්

 

චේතාන් විසින් රචිත බොහෝ ග්‍රන්ථ විශාල වශයෙන් විකිණුනා.ඒ වගේම විවිධ භාෂාවන්ට පරිවර්තනය වුණා. සිංහල බසිනුත් ඔහුගේ පොත් රසවිදීමේ අවස්ථාව අපිට තියෙනවා. Five point someone (2004), One night at the call centre (2005), The three mistakes of my life (2008), 2 states (2009), Revolution 2020 (2011), Half girlfriend (2014)  හා One indian girl (2016) ඔහුගේ පොත් අතුරින් කිහිපයක්.

 

එම පොත් කිහිපයක්ම බොලිවුඩ් චිත්‍රපට ලෙසත් ප්‍රේක්ෂකයා වැළදගෙන අවසන්. Kai po che, 2 States,Half girlfriend, 3 idiots හා Hello එයින් වඩාත් ජනප්‍රිය වුනා. ඉන්දියානු ඉතිහාසයේ ඉංග්‍රීසි බසින් ලියූ නවකතා විශාලතම විකුණුම හිමි පුද්ගලයා ලෙසත් The New York Times සගරාව චෙතාන්ව නම් කලා. ඔහු ලෝකයේ බලගතුම පුද්ගලයින් සියදෙනා අතරටත් අයත්වෙනවා.

 

ඔහු The times of india හා Hindustan Times  පුවත්පත්වලට තීරුලිපි සම්පාදනය කරනවා.එමෙන්ම ඔහු රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නෙක්. එමෙන්ම බොලිවුඩ් සිනමාවේ තිර රචකයෙක්. අධ්‍යාපනික ආයතන, සංවිධාන, පුවත්පත් ආදියෙන් සංවිධානය කරන වැඩසටහන් වලටත් ඔහු සම්පත් දායකයෙක් ලෙස සහභාගිවෙනවා.

Frobes India සගරාවට අනුව ඔහු 2016 වර්ෂයේ ඉන්දියාවේ කීර්තිමත්ම තැනැත්තෙක් බවට නම් කරනු ලැබුවා.

 

ඔහු පහත සම්මාන දිනාගනිමින් තම නාමය ලොව ප්‍රචලිත කළා.

  • Society Young Achiever award in 2004
  • Publisher’s recognition award in 2005
  • Fimfare award for Best screen play 2014: Kai po che
  • CNN-IBN Indian of the year in Entertainment in 2015

 

 

 

තාමත් ඔබ පරක්කු නෑ. කියවලා නැතිනම් අදම ඔයාලත් චේතාන්ගේ පොතක් කියවලා බලන්න. ඔයාලට දැනුම වගේම ලොකු වින්දනයකුත් ලැබේවි.

 

 

අන්තර්ජාලය ඇසුරෙනි.

 

 

 

ජෙරුසෙලම සහ ඩොනල්ඩ් ට්‍රම්ප්

ඊශ්‍රායලය හා පලස්තීනය ජෙරුසෙලම නගරය(Jerusalem) තමන් සතු කරගැනීමට බොහෝ කලක සිට වෑයම් කරනවා. වර්ෂ 1571 සිට පළමු ලෝක යුද්ධය වනතුරු ජෙරුසෙලම අයත් වුඋයේ ඔටෝමාන් අධිරාජ්‍යයයටයි. මුස්ලිම් ආගමට  සම්බන්ධ බොහෝ ගොඩනැගිලි ජෙරුසෙලමේ දක්නට ලැබෙන්නේ එනිසායි. වර්ෂ 1860 සිට 1887 පමණ කාලයේදී යුදෙව් ජාතිකයින් රාශියක් ජෙරුසෙලම තම නිජබිම කරගත්තා.  පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව වර්ෂ 1917 දී බ්‍රිතාන්‍යය ජෙරුසෙලම තම අණසකට යටත් කරගත්තා. කෙසේ හෝ අරාබි ජාතිකයින් හා යුදෙව් ජාතිකයින් අතර ගැටුම් හට ගැනීමට ජෙරුසෙලම නගරයත්  මුලික හේතුවක් වූ අතර  බ්‍රිතාන්‍යය එය ජාත්‍යන්තර නිතිය මගින් සමනය කිරීමටත් ක්‍රියාකලා. නමුත් අදටත් ආගම් රැසක පූජනීය ස්ථානයක් වූ ජෙරුසෙලම  ඊශ්‍රායලයට  හෝ පලස්තීනයට නිලවශයෙන් අයත් වි නැහැ.

මෙවන් තත්වයක් යටතේ, පසුගිය 6 වනදා එනම් 2017.12.06 වන දින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලොවම කළඹවමින් ඓතිහාසික ජෙරුසෙලම නගරය ඊශ්‍රායලයේ අගනුවර වියයුතු බවට ප්‍රකාශයක් නිකුත් කළා. එමෙන්ම, නව ඇමෙරිකානු තානාපති කාර්යාලයක්  ද එම නගරයේ ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙම ප්‍රකාශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වී රටවල් රැසක විරෝධය ට්‍රම්ප්ට එල්ලවුණා. එබැවින්, වර්තමාන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වන රෙක්ස් ටිලර්සන් මහතා ,ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කලේ ජෙරුසෙලම නගරය අනිවාර්යෙන්ම ඊශ්‍රායලයේ අගනුවර නොවන බවත්, දේශසිමා අනුව එය තීරණය කිරීමේ අයිතිය  ඊශ්‍රායලයට හා පලස්තීනය සතු බවට ප්‍රකාශ කළා.

දෙසැම්බර් 8 වනදා ඇමරිකාව ප්‍රකාශ කළේ ජෙරුසෙලම හා ක්‍රියාත්මක වන ප්‍රයෝගික පටිපාටියේ කඩිනම් වෙනසක් නොවන බවයි. පාස්පෝට් නිකුත් කිරීමෙහිද වෙනසක් නොවන බව මෙහිදී අනාවරණය වුණා.

ලෝකයේ බොහෝ රටවල නායකයින් ට්‍රම්ප්ගේ මෙම තීරණය දැඩිව හෙළා දැක්කා. මුස්ලිම් රටවල් ,යුරෝපා සංගමය,ජපානය,ඉතාලිය හා බ්‍රිතාන්‍යය  ඒ අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගත්තා. මෙම ප්‍රකාශයෙන් අනතුරුව ලෝක සාමය තර්ජනයට ලක්වීම නිසා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දෙසැම්බර් 7 වනදා හදිසියේම රැස්වුණා. එහිදී සාමාජිකයින් 15දෙනෙකුගෙන් 14 දෙනෙක්ම මෙම තීරණයට විරෝධය පළකළා.  එක්සත් ජාතීන්ගේ අනුදැනුමකින් තොරව සිදුකල ට්‍රම්ප්ගේ ප්‍රකාශය ජාත්‍යන්තර නීති මෙන්ම එක්සත් ජාතීන්ගේ අභිප්‍රායන් ද  උල්ලංඝනය කිරීමක් ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කළා.

2017 නොවැම්බර් මස රැස්වූ එක්සත් ජාතීන්ගේ මහා සභාවේ දීද  ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර බවට පත් කිරීමට ජාතින් 151කගෙ විරෝධය පළවුනා. එසේ තිබියදීත් ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කිරීම කාගේත් පිළිකුලට හේතු වුනා.

මෙම නිවේදනය හේතුකොටගෙන ඇති වූ ගැටුම් හා විරෝධතා නිසා පුද්ගලයින් 4දෙනෙකුට අවාසනාවන්ත ලෙස මියයාමට සිදුවුනා.

එමෙන්ම තුර්කිය,ජර්මනිය, ජෝර්දානය හා බ්‍රිතාන්‍යයේ පිහිටි ඇමරිකන් තානාපති කාර්යාලයන් එම රටවල ජිවත්වන හා සංචාරක ඇමරිකානුවන්ට ආරක්ෂක අනතුරු හැගවීම් නිකුත්කලා. ඇමරිකාව ද තම වැසියන්ට සිදුවිය හැකි සාහසික ක්‍රියාවන් පිලිබදව නිවේදනයක් නිකුත් කළා.

තත්වය මෙසේ වන විටදී  2017.12.22 එනම් ඊයේ දිනයේදී  එක්සත් ජාතීන්ගේ මහා සභාව ජෙරුසෙලම පිලිබදව පැහැදිලි තීරණයක් ගැනීමට යලිත් රැස්වුණා. ඒ අනුව රැස්වූ ලෝක නායකයින්ට ට්‍රම්ප්ට පක්ෂව හෝ විපක්ෂව ජන්දය භාවිතා කිරීමට අවස්ථාව ලැබුනා. ජන්දය භාවිතයට පෙර ට්‍රම්ප් ‘බිලියන ගණනින් අපෙන් ණය ගත් ජාතින් අපට  විපක්ෂව ජන්දය දේදැයි විමසිල්ලෙන් සිටින බව’ පවසමින් තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත්කලා.

නමුත් එම තර්ජන ගර්ජන හමුවේ නොසැලුණු බොහෝ පිරිසක් එනම් රටවල් 120ක්ම ට්‍රම්ප්ගේ තීරණයට විරුද්ධව ජන්දය භාවිතා කළා. ශ්‍රී ලංකාවත් එයට අයත්.ඒ අනුව පෙර ලෙසම ජෙරුසෙලම  පවතින බවට තීරණය වුනා. “ඇමරිකාව මෙසේ ලෝකයා හමුවේ කොන්වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාස ගතවන බවටත්, එම අවස්ථාව අමතක නොකළ යුතු බවට” ත් එක්සත් ජාතීන්ගේ සංගමය විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා.

 

අන්තර්ජාලය ඇසුරිනි.

 

 

ජන හද දිනූ අපේ ක්‍රීඩකයා- ඩිලන්ත මාලගමුව

සුවහසක් ශ්‍රී ලාංකික ජනයා  ඔහුගේ දස්කම් දැක සතුටින් ඉපිල්ලුනා. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලොව සුපතල වීමට ඔහුගේ ජයග්‍රහණ නොමද පිටුවහලක් වුනා. ඔහු වෘත්තියෙන් රේසින් කාර් පදවන්නෙක්. වර්ෂ 2009 දී ඔහු පිහිටවූ ඩිලන්ගෝ රෙසින් (Dilango Racing) කණ්ඩායමත් සමගින් ඔහු මේ වනවිට කාර් රේස් තරගවලට සහභාගී වෙනවා. ඔහු ලංකා නාමය ලොව දිදුළවමින් ලබා ගත ජයග්‍රහණ ප්‍රමාණය අතිමහත්. ඔහු නමින් ඩිලන්ත මාලගමුව.

වර්ෂ 1963 ජුනි මස 24 වනදා කුරුණෑගල දී උපත ලැබූ ඩිලන්ත රන්ජුල බණ්ඩාර මාලගමුව පළමුව කුරුනෑගල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්ද අනතුරුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හැදෑරුවා. ඔහු අධිධාවන (Racing) තරග වලට යොමු වුයේ වයස අවුරුදු 16දී මෝටර් බයිසිකල් ධාවන තරගයක් ජයගැනීමෙන් අනතුරුවයි.එයින් සතුටට පත්වූ ඔහුගේ සොහොයුරියන් දෙදෙනා ඩිලන්තට යමහා TZ350 රථයක් තිලින කිරීමට  ඔවුන්ගේ පියාව නම්මා ගත්තා.ඉන් අනතුරුව,ඩිලන්ත ඉන්දියාවේ කල්කටා නගරයේ පැවති ඔහුගේ පළමු ජාත්‍යන්තර තරගයට සහභාගී වී හයවන ස්ථානය අත්පත් කරගත්තා.

 

එහිදී ඔහුට හමුවු  ජපන් ජාතික මොටර්බයිසිකල් ශුරයකු වූ මට්සුමෝටො කෙන්මෙයිගේ (Matsumoto Kenmei) මගපෙන්වීම හරහා  ඩිලන්ත ජපානයට ගොස් තම හැකියාව පුහුණුව මගින් තවත් ඔප්නංවා ගත්තා.වර්ෂ 1985දි ජපානයට ගිය ඩිලන්ත 1997දි Formula Nippon (F3000) තරගයේ ජපානය  නියෝජනය කිරීමට ජපන් ජාතිකයකු නොවන ප්‍රථම ආසියානුවා බවට පත්වීමට වරම් ලැබුවා. එම තරගයෙන් ජය ලැබූ ඔහුට එවකට සිටි ජපන් අගමැතිවරයා පවා සුභාශිංසන එක්කළා.

 

අනතුරුව ඔහු ලබා ගත් ජයග්‍රහණ කිහිපයක් පහත දැක්වෙනවා.

 

  • 2002- Bathrust 24 Hours Race (AUS) – 1st runner up (Class A)
  • 2006 & 2007- Malaysia Super Car Series – Champion
  • 2008 & 2009- Aston Martin Asia Cup- 1st runner up
  • 2010- GT Asia – Champion
  • 2013- Asian Le Mans – Champion
  • 2016- Lamborghini Super Trofeo Asian Series 2016- Champion
  • 2017- Lamborghini Super Trofeo world finals -3rd place

ජාත්‍යන්තර තරගබිමේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම හා එම තරගාවලි සදහා ඔහුගේ දායකත්වය අගයනු වස් වර්ෂ 2012දී ඩිලන්තට ශ්‍රී ලංකා ඔටෝ ස්පෝර්ට්ස් ආයතනය මගින් ජාතික වර්ණ තිළිණය ප්‍රදානය කරනු ලැබුයේ එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා අතින්.

ශ්‍රී ලංකාවේ ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන මහතා ඩිලන්තව ඇගයීමට ලක්කලේ ‘2015 වර්ෂයේ විශිෂ්ටතම ක්‍රීඩකයා’ ට හිමි ජනාධිපති සම්මානයෙන් පුදදෙමින්.එමෙන්ම එහිදී ඩිලන්ගෝ රේසින් කණ්ඩායම 2015 වර්ෂයේ විශිෂ්ටතම විවේකි ක්‍රීඩා සපයන්නාට හිමි ජනාධිපති අනුශුරතා සම්මානයෙන් පිදුම් ලැබුවා.

 

2017 වසරේ ලම්බෝගිනි තරගාවලියේදී ඩිලන්ත ලබා ගත ජයග්‍රහණයත් සමග ලොව පුරාම ඩිලන්තගේ නාමය ප්‍රචලිත වුවේ ලක් මෑණියන්ට තවත් කිර්ති නාමයක් අත් කරදෙමින්.

 

ඩිලන්ත ජපානයේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙක්.මේ වනවිට ඔහු තම පවුලේ සාමාජිකයින් සමගින් මැලේසියාවේ පදිංචිවෙලා ඉන්නවා.ඩිලන්ත මැලේසියාවේ Sepang International Racing Circuit නම් ආයතනය පවත්වාගෙන යනවා.

 

වර්ෂ 2016දී  ඩිලන්ගෝ රේසින් කණ්ඩායමට ඔවුන්ගේම රුපවාහිනි වැඩසටහනක් කිරීමට අවස්ථාව ලැබුනා. එය “Racing Life with Dilantha Maalagamuwa” ලෙසින් ස්වාධින රුපවාහිනී නාලිකාවේ විකාශනය වෙනවා. එහි පල වන්නේ ඩිලන්ත ලබාගත් ජයග්‍රහණ පිලිබදවයි. සෑම බදාදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.9.30ට මෙම වැඩසටහන විකාශනය වෙනවා.

ශ්‍රී ලංකාවේ හෘදයාබාධවලින් පෙලෙන කුඩා දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මකවෙමින් පවතින Little Hearts ව්‍යාපෘතියටත් ඩිලන්ත ඔහුගේ නොමද සහය ලබාදෙනවා.

 

ඩිලන්ත කියන්නේ ලක්මාතාවට අභිමානයක්. මැණිකක්. ගෞරවයක්. ඉතින්, තවත් බොහෝ කාලයක් නිරෝගී සුව අත්විදිමින් තව තවත් ජයග්‍රහණ අත්පත් කරගැනීමට හැකිවේවා යැයි දියනෙත් අපිත් හදවතින්ම සුභපතනවා.

 

අන්තර්ජාලය ඇසුරිනි.

 

 

ශ්‍රී ලංකාවේ අමරණීය ගෘහ නිර්මාණ ශිල්පියා – ජෙෆ්රි බාවා

බටහිරකරණයට ලක්ව තිබූ ලාංකේය  ගෘහ නිර්මාණ ශිල්පය දේශීය කලාවක් බවට නැවත පත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය. නිවර්තන නුතනවාදය (Tropical Modernism) නම් සංකල්පයේ නිර්මාතෘවරයා වන මෙතුමා ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පයේ හැරවුම් ලක්ෂය බවට පත්වුනා. ඔහුටම ආවේනික වූ නිර්මාණයන්  ලංකාවේ පමණක් නොව මුළු ලෝකය පුරාම ප්‍රචලිත වුනා.

 

1919 දී  උපත ලැබූ ජෙෆ්රි බාවා 1944 දී අධි නිතීඥයෙක් බවට පත් වුනා. ඒ ලන්ඩන් මිඩ්ල් ටෙම්පල් හිදී නිතිය හැදෑරීමෙන් පසුවයි. නමුත් මෙම සියලු වෘත්තින්ගෙන් සමුගෙන ඔහු වයස අවුරුදු 38දි ගෘහ නිර්මාණ ශිල්පියෙක් බවට පත්වූවා.

 

ලොවම මවිතකළ ලොව සුපතල නිර්මාණ රැසක් ඔහුගෙන් බිහිවන්නේ ඉන් පසුවයි. ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ මුලස්තානය, පාර්ලිමේන්තු සංකීර්ණය, රුහුණු විශ්ව විද්‍යාලය, කණ්ඩලම හෝටලය, හිල්ටන් හෝටලය, ලයිට් හවුස් හෝටලය, ගංගාරාම සීමා මාලකය, බ්ලූ වෝටර්ස්  හෝටලය, ලුණු ගග උද්‍යානය මෙන්ම අකුරැස්ස නිල්වලා විද්‍යාපීඨය ඔහුගේ දක්ෂතාවය ලොවටම හඩගා කියන නිර්මාණයන්. ඔහු මෙරට පමණක් නොව විදේශයන් හිද  නිර්මාණ කොට තිබෙනවා. ඔහු ඉදිකළ සංචාරක හෝටල් 30 අතුරින් 18ක් පමණම විදේශයන් සදහා නිර්මාණය කල ඒවායි.

 

ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනයක් වන දියවන්නා ඔය මැද පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය ඔහුගේ විශිෂ්ටතම නිර්මාණයක්. 1979-80 කාලයේදී ඉදි වූ මෙම ගොඩනැගිල්ල ජෙෆ්රි බාවාගේ නිර්මාණ කෞශල්‍යය මනාව විහිදා දක්වනවා. පාර්ලිමේන්තුවේ නිර්මාණ කාර්යය ජෙෆ්රි බාර දී ඇත්තේ වසන්තා යාකප්ෂන් නම් ගෘහ නිර්මාණ ශිල්පිනියටයි. නමුත්, ඇය අතීත තොරතුරු හෙළි නොකිරීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ගොඩනැගීමේ ඉතිහාසය අපට හරිහැටි දැනගැනීමට නොහැකියි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව

තමන්ගේ නිර්මාණයට ප්‍රධාන අක්ෂයක් එක් කිරීම ජෙෆ්රිගේ නිර්මාණ වල දක්නට ඇති ලක්ෂණයක්. ප්‍රධාන අක්ෂයට අනකුත් කොටස් එක් කිරීම සිදු වෙනවා. එමගින් සමමිතික නිර්මාණයක් බිහි වෙනවා. මෙය Classical Architecture නමින් හැදින්වෙනවා.

 

දේශීය හා විදේශීය ආරයන් මිශ්‍ර කොට නව සංකල්පයන් ඔස්සේ ජෙෆ්රි බාවා නිර්මාණ කල බව විද්වතුන්ගේ මතයයි. ස්වාභාවික පරිසරය ඔහු තම නිර්මාණ තුලට යොදා ගත්තා. ලොව සුපතල කණ්ඩලම හෝටලය මෙයට ඇති හොදම උදාහරණයයි.  භූමියේ හැඩතල වෙනස් නොකර තම ඉදිකිරීම් සිදුකිරීමත් ඔහුගේ දක්ෂතාවයක්. එය රුහුණු විශ්ව විද්‍යාලයේ ඉදිකිරිම් මගින් මනාව ඔප්පු වෙනවා.  ගෘහ නිර්මාණයට අමතරව මුර්ති,පෝසිලෙන් ආයිත්තම්,සිතුවම්,බිත්ති කැටයම් මගින් නිර්මාණ අලංකරණය කිරීමටද ඔහුට අපූරු හැකියාවක් තිබුණා.

කන්ලඩම හෝටලය

 

යටත් විජිත්වාදයත් සමග අපේ ආකල්ප ඒක තැනක පල වූ කාලයක ජෙෆ්රි බාවා කියන්නේ විප්ලවවාදියෙක්. ඔහු පාරම්පරික සංකල්පයෙන් ඔබ්බට ගියා. ලෝකයේ ප්‍රකට කලාවක් දේශීය සංකල්ප සමග මිශ්‍ර කරලා ලාංකික පොලවේ පැලපදියම් කරා. ඉතින්, ශ්‍රී ලාංකික කලාවට ඉමහත් සේවයක් ඉටු කරපු ජෙෆ්රි බාවා ශ්‍රී ලාංකීය හදවත් තුල සදා අමරණීයයි.

 

මුලාශ්‍ර : දෙසතිය සගරාව – 2017 නොවැම්බර් කලාපය

ඔබත් ජීවිතය සමග ආදරෙන් බැදෙන්න -Fall in love with your life

ජීවිතය තියෙන්නේ විදින්න.එත් ගොඩක් මිනිස්සු ජීවිතය විදවනවා. ඒ තමන්ගේම වැරැද්දෙන්. කොච්චර සැප සම්පත් ,සල්ලි ,යාන වාහන,ගෙවල් ,රැකියාවන් කලත් මිනිස්සු අසතුටින්. ඇයි මේ? මොකද මිනිස්සු දන්නේ නැහැ ජීවිතය විදින්න. සතුටින් ඉන්න. ගොඩක් දෙනා තමන්ට ලැබුණ මේ වටිනා මිනිස් ජිවිතයට වෛර කරනවා. අපි අද කථා කරන්න යන්නේ ජිවිතයට ආදරය කරන්න පුරුදු වෙන ක්‍රම කිහිපයක් ගැනයි.

 

  • පැරණි මිතුරන් සමග කාලය ගත කිරීම

පැරණි මිතුරන් හරියට අපේ පවුල වගෙයි. එයාල දන්නවා අපේ ජිවිතයේ සතුටු අවස්ථාවන් වගේම අමිහිරි මතකයන් ගැනත්. අපි අපේ ජිවිතය එයාලත් එක්ක බෙදාගෙන තියෙනවා.ඉතින්, අපේ ඉච්චාභන්ගත්වයන් වගේම අපිව සතුටු කරන විදියත් එයාල දන්නවා. යාලුවෝ මොන දෙකදිත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් සතුටකදී වගේම හිතට දුකක් දනුනමත් පරණ යාලුවෙක්ට කථා කරන්න,හමුවෙන්න යන්න.ඔබට අනිවාර්යෙන්ම සහනයක් දැනේවි.

 

  • විනෝදයෙන් රැකියාව කිරීම

රස්සාවක් කරන ඒක ලේසි නැහැ.අපි මොන රස්සාව කරත් අපිට මුණ දෙන්න වෙන ප්‍රශ්න කෝටියයි.  ඔබ මහන්සි වෙන තරමටම මුදල් ලබන්නේ නැති වෙන්න පුළුවන්, කොච්චර වැඩ කරත් ආයතන ප්‍රධානියා බනිනවා වෙන්න පුළුවන්, අකමැති තැන්වලට මාරුවෙලා යන්න වෙලා ඇති.එත් අනවශ්‍ය විදියට ඒ ප්‍රශ්න ගැනම හිතුවොත් හැමදාම දුක තමයි. ඔබේ සැහැල්ලුබව හා සංවේදීබව තුලින් රැකියාව විනෝදජනක කරගන්න පුළුවන්. අපිට නොලැබුන දේට වඩා ලැබුණ දෙයින් සතුටු වෙන්න උත්සාහ කරොත් , සතුටු වෙන්න ඕන තරම් දේවල් හොයාගන්න පුලුවන්. ඔබේ දැනුම අනයත් එක්ක බෙදාගන්න අතරේම අනිත් අයගෙනුත් ඉගෙනගන්න. ඔබේ රැකියාව කුමක් වුනත් සතුටින් කරගෙන යන්න ඔබට අනිවාර්යෙන්ම පුළුවන් වේවි.

 

  • කාලය නාස්තිවිම අවම කරගැනීම

මොහොතක් සිතන්න. ඔබ කොච්චර නම් කාලය නාස්ති කරනවද? තමන්ට වැඩක් නැති ඕපාදුප කියවන්න, ටෙලි නාට්‍ය බලන්න, සමාජ ජාල පාවිච්චි කරන්න ගිහින් ඔබේ වටිනා කාලය කොච්චර නම් නාස්ති වෙනවද? සමහර මිනිස්සු ,ගොඩාක් වෙලාවට කාන්තාවන්, ඉන්නවා හැමෝගෙම ප්‍රශ්න තමන්ගේ කරගෙන තමන්ගේ වගේම අනුන්ගේත් වෙලාව නාස්ති කරන. ‘කාලය රන් හා වටි’ කියලා පැරැන්නෝ කිවේ කට කහනවට නෙමෙයි. ඉතින් අපි පුරුදු වෙන්න ඕන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න. පොඩ්ඩක් නිස්කලංකව හිතලා බලන්න තමන් අතින් කොච්චර වෙලාව අපතේ යනවද කියලා. තමන්ගේ ජිවිතෙට වැදගත් වෙන දේවල්වලට කාලය යොදාගැනීමෙන් සිතට ලොකු සහනයක් දැනේවි.

  • විවේකයෙන් සිටීම

විවේක වෙලාවෙත් වැඩ කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔබ සැම දිනකම තමන්ට විවේක වෙලාවක් වෙන්කරගන්න ඕන. ඒ වෙලාවේදී තමන් සමගම තනිවෙන්න, අනාගතය ගැන හිතන්න. යම්වෙලාවකට හරි වැඩවලිනුයි, ජංගම දුරකතනයෙනුයි, අන්තර්ජාලයෙනුයි ඈත්වෙලා සන්සුන්ව ඉන්න.එතකොට ඔබේ අඩුපාඩු,වැරදි හදාගන්න ඔබටම හැකිවේවි. මේ පුරුද්ද ඔබේ නිර්මාණශීලි බව දියුණු කරාවි. ඔබ අලුත් මිනිසෙක් බවට පත් කරාවි.

 

  • ඔබ අකමැති දෙයක් කිරීමට අන් අයගේ සහය ලබා ගැනීම

ඔබ කරන්න අකමැති පුංචි,පුංචි දේවල් තියෙනවද? ඒවාට වෙන කෙනෙක්ගේ උදව් අරගන්න.අකමැති දෙයක් වෙනුවෙන් බොරුවට මහන්සි වෙන්න ඕන නැහැ. පරිගණකයෙන් වැඩක් කරගන්න, ව්‍යාපෘතියක් කරගන්න අවශ්‍ය උදව් ලබාගන්න. හිතට අනවශ්‍ය පීඩනයක් ඒක කරගන්න අවශ්‍ය නැහැ. උදව් ලබාගත්තා කියලා කියලා තමන්ගේ තත්වය පහත වැටෙන්නේ නැහැනේ.

 

 

  • හොදට නාන්න

අපි හිතනවාට වඩා අපුරු හැකියාවන් ජලයට තියෙනවා.නානකොට ඔබ අලුත් වෙනවා, විවේක ගන්නවා. භාවනා කිරීමෙන් හෝ පොතක් කියවීමෙන් වගේම හොදට ස්නානය කිරීමෙනුත් සිත සුවපත් වෙනවා. මේ සුවය සල්ලි වියදම් කිරීමෙන් ඔබට ලබා ගන්න බැහැ.

 

  • සංගීතයට සවන් දෙන්න

ඔබ ශාස්ත්‍රීය සංගීතයට කැමතිද? නැතිනම් වදන් භාවිතා නොවන සංගීතය ප්‍රිය කරනවාද? ඔබේ සිතට ශාන්ත බව ලගා කරලා දීලා ජීවිතය ලස්සන කරන්න සංගීතය උදව් කරනවා. අපේ ප්‍රශ්න අමතක කරන්න සංගීතය අපිට උදව් කරනවා. සංගීතය ඔබව මෘදු පුද්ගලයෙක් බවට පත්කර ඔබේ ආත්මය සුවපත් කරාවි.

 

  • ගොඩක් කන්න එපා

අපි අනිවාර්යයෙන්ම ආහාර ගන්නම ඕන.නැතිනම් අපේ ශරීර සෞඛ්‍ය බිදවැටෙන්න පුළුවන්. එත් කැමට ඇබ්බැහි වෙනවා කියන්නෙත් මත්ද්‍රව්‍ය ගන්නවා වගේ වැඩක්. සරල ආහාර රටාවකට පුරුදු වෙන්න. අනවශ්‍ය පැණිරස කෑම,පාන්,බනිස්  වගේ ආහාර වලින් වැළකීමෙන් අපේ ශරීර සෞඛ්‍යය යහපත්ව තියාගන්න පුළුවන්.ඒ වගේම අධික ආහාර අපිව කම්මැලි පුද්ගලයෙක් බවට පත් කරනවා. සැහැල්ලු හා පෝෂණීය ආහාර ගැනීමෙන් ඔබට  මානසික සෞඛ්‍යයත් යහපත් කරගන්න පුළුවන්.

  • පුළුල් මනසකින් ලෝකය දකින්න

අලුත් දේවල් ඉගෙන ගන්න බය වෙන්න එපා. අභියෝගවලට මුහුණ දෙන්න.අලුත් දැනුම එකතු කරගන්න. ඔයාට වඩා අත්දැකීම් අඩු, වයසින් බාල කෙනෙක් අලුත් දේවල් කරනකොට එයාලට උදව් කරන්න. නොදන්නා දේවල් කියලා දෙනගමන් අලුත් දේවල් ඉගෙනගන්න.අලුත් අත්දැකීම් ජීවිතේට එකතු කරගන්න. අලුත් තාක්ෂණය,දැනුම, අභියෝග දැක්කාම හැකිලෙන්න එපා. බය නැතුව මුහුණ දෙන්න පුළුවන් පුළුල් මනසක් නිර්මාණය කරගන්න.

 

  • ආකර්ශණියව අදින්න

ඔබ ඇදුම් පැළදුම්, ආභරණ,ඔබේ පෙනුම ගැන සැලකිලිමත් වෙනවාද?ඔබට ගැලපෙන ඇදුම් තෝරාගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. තමන්ට කැතයි කියල හිතෙන ඇදුම්,අභරණ, මේකප් පාවිච්චි කරන්න ඕන නැහැ.  අනිත් ය මොනවා කිවත් ,ඔබ මේකප් කරන්න කැමති නම් මේකප් කරන්න. මොකද ඔක්කොටම කලින් තමන්ට තමන් ලස්සන වෙන්නම ඕන.සරාගිබව කැපී පෙන්න ඇදුම් ඇන්දේ නැති වුනාට ඔබේ ගැහැනුකම හෝ පිරිමිකම ඉස්මතු වෙලා හොද පෞරුෂයකින් දිස් වෙන්න අදින්න ඕන.  හැඩති ගමනකින්, ආකර්ශනිය හිනාවකින් අන්‍යන්ගේ සිත්ගන්න දක්ෂ වෙන්න ඕන.

                                        

 

මේ ක්‍රම අනුගමනය කරලා බලන්න. ටික දවසකින් ඔබට දැනේවි ඔබත් ඔබේ ජිවිතයට ආදරය කරනවා කියලා.

 

මුලාශ්‍ර: Gay Walley ගේ 50 Ways to fall in love with your life ග්‍රන්ථය ඇසුරිනි.

 

 

ඒඩ්ස් මාරාන්තිකයි!

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දෙසැම්බර්  පලවනදා ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කොට තිබෙනවා. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වුයේ “Right to Health” යන්නයි. මෙමගී ලොව පුරා වාසය කරන මිලියන 36.7 වැනි HIV ආසාදිත පුද්ගලයින් මෙන්ම අසාදනයට ලක්විනේ අවදානමට ලක්ව ඇති පුද්ගලයින්ගේ ජීවන තත්වය ඉහල නංවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණු සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

එයට සමගාමීව මෙවර  ශ්‍රී ලංකාවේ ඒඩ්ස් දින තේමාව වූයේ ‘මවගෙන් දරුවාට ඒඩ්ස් සම්ප්‍රේෂණය වලක්වමු – Elimination of mother to child transmission of HIV’ යන්නයි. ඒ අනුව රජය මගින් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක්ම දිවයින පුරාම සංවිධානය කොට තිබුණා. වර්ෂ 2025 වනවිට ශ්‍රී ලංකාවෙන්  මවගෙන් දරුවාට ඒඩ්ස් සම්ප්‍රේෂණය තුරන් කරලීමට සෞඛ්‍ය අමාත්‍යංශය බලාපොරොත්තු වෙනවා.

 

ඒඩ්ස් රෝගයේ ඉතිහාසය

මීට අවුරුදු 30කට පමණ පෙර HIV(  https://en.wikipedia.org/wiki/HIV ) වෛරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිරෙන්න පටන් ගත්තා. සැමගේ විශ්වාසය වන්නේ 1920දි පමණ කොන්ගෝ ජනරජයෙන් මෙය පැතිර යාම ආරම්භ වූ වගයි. චිම්පන්සින්ගෙන් මෙය මිනිස් වර්ගයාට බොවූ බවට සාක්ෂි තියෙනවා. නමුත් 1980 පමණ වනතුරු මෙය මිනිසාට ආසාදනය වි ඇති බව සොයාගැනීමට නොහැකිවූයේ රෝග ලක්ෂණ පහසුවෙන් හදුනා ගැනීමට නොහැකි නිසාය.කෙසේ හෝ ඒඩ්ස් 1980 වනවිට උතුරු ඇමෙරිකාව,දකුණු ඇමරිකාව, යුරෝපය,අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව  ආක්‍රමණය කරලා අවසන්. ඒ වනවිට 100,000 හා 300,000 අතර පිරිසක් ආසාදනයට ලක්වී තිබුණා.වර්ෂ 2016 වනවිට මිලියන 18.2 පමණ පිරිසක් ආසාදිතයන් වාර්තා වුයේ දරුවන් 910 000ද ඇතුලත්වයි.

 

එච්.අයි.වී. ලෙස හදුන්වන්නේ කුමක්ද?

ඒඩ්ස් ඇති කරන රෝගය හදුන්වන්නේ  එච්.අයි.වී. නමින්. ඉංග්‍රීසි බසින්  මෙය Human Immuno deficiency Virus නමිනුත්,සිංහල බසින් මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය නමිනුත් හදුන්වනවා. ඉතා කුඩා වයිරසයක් වන මෙය බලාගන්න පුළුවන් ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයකින් විතරයි.

 

ඒඩ්ස් හැදෙන්නේ කොහොමද?

මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියට කලින් කිව වයිරසය ඇතුළු වුනොත් විෂබිජවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ශරීරයෙන් බැහැර වෙනවා. ශරීරයේ ආරක්ෂක ක්‍රියාවලිය බිදවැටෙනවා.  එවැනි අවස්ථාවකදී ඕනෑම විෂබිජයකට ශරීරයේ රෝග ඇතිකරන්න පුළුවන්. මේ අවස්ථාවට තමයි ඒඩ්ස් රෝගය වැලදුනා කියන්නේ.

 

ඒඩ්ස් රෝගය හැදෙන්න බලපාන කරුණු

රෝගී පුද්ගලයෙක් හා පවත්වන ලිංගික ඇසුරකදී  එච්.අයි.වී. වයිරසය බෝවෙන්න පුළුවන්. ලිංගික සංසර්ගය, මුඛ සංසර්ගය හා ගුද සංසර්ගයේදී මේ රෝගය බෝවෙන්න ඉඩ තියෙනවා. නවතම වාර්තාවලට අනුව සමලිංගික ආශ්‍රය නිසා ලංකාවේ ඒඩ්ස් රෝගය පැතිර යන අවදානම ගොඩක් ඉහල ගිහින්. විශේෂයෙන්ම අදාළ පුද්ගලයා හර්පීස් වගේ රෝගයකින් පෙළෙනවා නම් දැනටමත් සැම තුවාල වෙලා නිසා  එච්.අයි.වී. වයිරසය ලේසියෙන්ම අසාදනය වෙන්න පුළුවන්.

ඊට අමතරව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන එච්.අයි.වී. රෝගීන් භාවිතා කරන එන්නත් කටු මගින් මෙම රෝගය බෝවෙන්නත් පුළුවන්.

මවගෙන් තම කුස තුල ඉන්න දරුවාටත්, ආසාදිත මවක් මව් කිරිදිමෙනුත් මෙම රෝගය බෝවෙන්න පුළුවන්. නමුත්,කලින් මවගේ රෝගය හදුනා ගැනීමෙන් දරුවා ආසදිතයක් නොවී බේරගන්නත් දැන් හැකියාව තියෙනවා.

අසාදිත රෝගියකුගේ රුධිරය පරාවිලයනය මගිනුත් මෙම රෝගය පැතිරෙනවා.වෛද්‍ය කාමලිකා අබේරත්න මිය එවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්න අයෙක්.

ආසදිතයකු භාවිතා කල රේසර්,බ්ලේඩ් හා දත් බුරුසු මගිනුත් මේ රෝගය බෝවෙන්න පුළුවන්.

 

එච්.අයි.වී. ආසාදනය වෙලා කියලා හදුනා ගන්නේ කොහොමද?

මේක දුනා ගන්න පුළුවන් එකම ක්‍රමය රුධිර පරීක්ෂණයක් කිරීමයි. ඉතින් යමෙක්ට කුමක් හෝ නිසා හිතෙනවා නම් මට ඒ රෝගය වැළදිලා කියලා වහාම රුධිර පරීක්ෂාවකට යොමු වෙන්න ඕන.

ඒ සදහා  කොලඹ මහ රෝහලට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්, දැන් කොළඹ විතරක් නෙමෙයි කුරුණෑගල ,මහනුවර වගේ රෝහල වලිනුත් මේ රුධිර පරික්ෂාව නොමිලේම කරගන්න පුළුවන්.

ඒඩ්ස් රෝගය ගැන තියෙන මිත්‍යා මත

 ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ ඒඩ්ස් හුලගිනුත් බෝ වෙන්න පුළුවන් කියලා.එත්, ස්පර්ශ කිරීමකින්,සිපගැනීමෙන්,එකම වැසිකිලි භාවිතයෙන්,වැලද ගැනීමෙන් විතරක් නෙමයි එකම වීදුරුවෙන් වතුර බීවත් ඒඩ්ස් හැදෙන්නේ නැහැ.

මදුරුවන්ගෙන් වගේම අනිත් කෘමි සතුන්ගෙනුත් ඒඩ්ස් බෝවෙන්නේ නැහැ.

එච්.අයි.වී. අසාදනය වුනොත් එතනින් ඔක්කොම ඉවරයි කියලයි ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ.එත් දැන් විද්‍යාව ගොඩක් දියුණු නිසා එච්.අයි.වී. අසාදිතයෙක්ට පුළුවන් ගොඩක් කල් යනකම් එඩ්ස් රෝගයෙන් බේරිලා ඉන්න. ඉතින් එච්.අයි.වී. ධනාත්මකයි කියල සියදිවි හානි කරගන්න ඕන නැහැ.

ඒ වගේම තමයි,දැක්ක ගමන් කෙනෙක්ට ඒඩ්ස් ආසාදිතයි ලියන්න බැහැ.අනිවාර්යෙන්ම රුධිර පරීක්ශණයක් කරන්නම ඕන.

 

එච්.අයි.වී. ආසාදිතයෙක්ට දෙන්න පුළුවන් උපදෙස් මොනවද?

ආසාදිත රෝගියෙක් තමන් ගැන තමන් ලගින්ම ආශ්‍රය කරන අයට කියන්න ඕන. ඒ වගේම ලිංගාශ්‍රිත රෝග පිළිබද සායන කරන අය,පවුල් සංවිධාන සංගමය,ඒඩ්ස් රෝගය නිවාරණයට  සම්බන්ධ ස්වෙච්චා සංවිධාන වල අයගෙන් උපදෙස් ගන්නත් පුළුවන්.

තමන් එච්.අයි.වී. ආසදිතයෙක් නම් අන් ය හා ලිංගික ඇසුර නවත්වන්න ඕන. එන්නත් කටු හුවමාරුවත් එසේමයි.

දැනට ඒඩ්ස් රෝගය සම්පුර්ණයෙන් හොද කරන්න බෙහෙත් නැහැ. එත්, යම් තරමකින් එම රෝගය මර්ධනයට බෙහෙතක් හොයාගෙන තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය ලැබූ එම බෙහෙත truvada නමින් හැදින්වෙනවා.

අනාගතයේදී ඒඩ්ස් හොද කරන්න බෙහෙත් හොයා ගනීවි.නමුත් තාමත් ඒඩ්ස් කියන්නේ මාරාන්තික රෝගයක්. තාමත් බෙහෙත් හොයාගෙන නැති නිසා ඒඩ්ස් ගැන ඉගෙන ගෙන පුලුවන් තරමින් ඒ රෝගය නිවාරණයට කටයුතු කරන්න ඕන. ඒ වගේම එච්.අයි.වී. ආසාදිතයින් සමාජයෙන් කොන් නොකර සිටීමත් අත්‍යාවශ්‍යයි.

 

මුලාශ්‍ර: අන්තර්ජාලය ඇසුරිනි.

 

 

 

පිබිදෙන පොළොන්නරුව- Awakening of Polonnaruwa

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුග්‍රහයෙන් ‘සියවසක දුර දකින පස්වසක දිගහැරුම’ (Five Year Plan of Hundred Year Vision) නම් වූ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘති තේමාව යටතේ මෙම ‘පිබිදෙන පොළොන්නරුව’ (Awakening of Polonnaruwa) දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය මෑතකදී ආරම්භ කළා.එනම්, 2015.10.21 වන දිනදී එම ව්‍යාපෘතියේ අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාශයට පත් වුනා.  එය පහතින් සදහන් වෙනවා.

 2015.10.21 දිනැති අමාත්‍ය මණ්ඩල තිරණය පිළිබද මාධ්‍ය ප්‍රකාශය :-

අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කරනු ලබන පිබිදෙන පොළොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකාරිත්ව ආයතනය වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය පත්කිරීමටත්, එම ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පී උපදේශක කාර්යය සදහා ඉංජිනේරු කාර්යයන් සදහා උපදේශක කාර්යාංශය පත්කිරීමටත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සාමාන්‍ය ජනතාවගේ ජිවන තත්වය ඉහල නැංවීමට අපේක්ෂා කරමින් මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම්, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, පරිසරය, ආර්ථික, විදුලි හා තාක්ෂණික ක්ෂේත්‍ර හා නිවාස ඉදිකිරීම් ආදී ක්ෂේත්‍රයන්හි සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය පිලිබදව ජනාධිපතිවරයා මුල් වරට පැවසුයේ අරලගංවිල මධ්‍ය මහා විද්‍යාලයේ නව පන්ති කාමරයකට මුල්ගල තැබූ උත්සවයේදීය. නව රජය විසින් ආරම්භ කල මෙම ව්‍යාපෘතිය යටතේ පොළොන්නරු දිස්ත්‍රික්කය වේගවත් සංවර්ධනයක් අත්කරගනු ඇතැයි බලාපොරොත්තුවන බව ජනාධිපතිතුමා පැවසුවා.එසේම පසුගිය සමයේ මෙන් එක් ප්‍රදේශයක් නොව මුළු රටම සංවර්ධනය කිරීම තමන්ගේ අදහස බවත් එතුමා වැඩිදුරටත් පැවසුවා.

මේ වනවිට ඒ හා සබැදි නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

පිබිදෙන පොළොන්නරුව වැඩපිළිවෙල යටතේ වසර 2025 වන විට මුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේම ජනතාවගේ පානිය ජල අවශ්‍යතා සම්පුර්ණ කිරීමට සැලසුම් කර තිබෙනවා.එයට රුපියල් බිලියන 54ක මුදලක් වැය කිරීමට නියමිතයි.එයට ආධාර දෙන්නේ චීනයයි. පොළොන්නරුව, මැදිරිගිරිය ,හිගුරක්ගොඩ ජනතාවට නළ මගින් පිරිසිදු ජලය ලබාදීමෙන් එම පලාත්වල දක්නට ලැබෙන වකුගඩු රෝගීන් සංඛ්‍යාවද පහල දමා ගැනීමට ඉඩකඩ සැලසෙනු ඇත. මෙයට අමතරව ආසියානු සංවර්ධන බැංකුව මගින් පොළොන්නරුව ගල්ලෑල්ල ජල යෝජනා ක්‍රමය මගිනුත් පොළොන්නරුව නාගරික ජනතාවගේ පානිය ජල අවශ්‍යතාවය සපුරාලීමට වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙනවා.

එමෙන්ම,වැලිකන්ද නගරයේ පානිය ජාල යෝජනා ක්‍රමය විවෘත කිරීම,වැලිකන්ද මහා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨය හා විද්‍යාගාරය විවෘත කිරිම, නව දෙමහල් ගොඩනැගිල්ලකට මුල් ගල් තැබීමත් සිදුකොට තිබෙනවා.

එසේම, ‘පිබිදෙමු පොළොන්නරුව -රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ ‘රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය’ තේමාව යටතේ 2017.03.10 සිට 2017.03.12 දක්වා තෙදින යොවුන් කදවුරක් ද පැවැත්වුනා. එය පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී 3000ක පමණ පොළොන්නරුවේ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනා. එහිදී මත්ද්‍රව්‍ය නිවාරණය,තිරසර පරිසර ආරක්ෂණය,කෘෂිකර්මාන්තය හා  පෝෂණීය ආහාර ,වකුගඩු රෝග නිවාරණය හා ළමා ආරක්ෂණය පිලිබදව තරුණ තරුණියන් දැනුවත් කරනු ලැබුවා.

මේ වනවිට මෙම ව්‍යාපෘතිය ආරම්භ වී වසර දෙකක් ගතවී අවසන්. ඒ හා සබැදි නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පසුගිය රජය මුලිකවම අවධානය යොමුකළේ දකුණු පළාතේ හම්බන්තොට ප්‍රදේශය සංවර්ධනය කිරීමටයි. එහිදී සිදු කල යම් යම් ව්‍යාපෘති අසාර්ථකව ඇතිබවට තහවුරු වෙනවා. ඉතින්,මෙම ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතිය මහජනයාට ප්‍රතිලාභ ලබාදෙන ඵලදායි ව්‍යාපෘතියක් වනු ඇතැයි සියල්ලන්ගේම අපේක්ෂාවයි.

 

අන්තර්ජාලය ඇසුරිනි.

 

ආර්තව දුගීබව පිටුදකිමු – End Period Poverty

ආර්තව දුගීබව පිලිබදව ලෝකය පුරාම කතාබහක් ඇතිවෙමින් පවතී.එය ඇමරිකා එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාව දක්වාම ඇතිවූ සංවාදයකි. මෑතකදී ස්කොට්ලන්තය period poverty හෙවත් ආර්තව දුගීබව ජයගත් ප්‍රථම රට බවට පත්වූයේ මාස 6ක පමණ කාලයක් දුප්පත් කාන්තාවන්ට හා දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා සැපයිමේ ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරිම තුලිනි.

කාන්තාවන්ට මෙන්ම යොවුන් පාසල් දැරියන්ට ද සෑම දින 28කටම වරක් ඔසප්විමට ලක්වීමට සිදුවේ. වැඩිවිය පැමිණි දැරියකගේ නිරෝගී බව පෙන්වමින් ගර්භාෂයේ බිත්තිවල තිබෙන ස්වභාවිකව මැරුණු පටක රුධිරයත් සමග මිශ්‍රව  පිටවේ.එය ස්වාභාවික සංසිද්ධියකි. නමුත් පාසලේදී සනීපාරක්ෂක තුවා සපයා ගැනීමට නොහැකි වීමත්, නිසි පරිදි  වැසිකිලි පහසුකම් නොමැති නිසාත්  බොහෝ පාසල් දැරියන් එම කාලසීමාව නිවසේ නතර වන ආකාරය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම දක්නට ලැබෙන සිදුවීමකි. අප්‍රිකාවේ දිනකට ගැහැණු ළමුන් දහයකට ඔසප් වීම නිසා පාසල මගහැරෙන බව සමීක්ෂණයකින් හෙළිවී ඇත. ලෝකය පුරාම දක්නට ලැබෙන ආර්තව දුගීබව නම් මෙම ගැටලුවට රාජ්‍ය මට්ටමින් පිළියම් සෙවීමට  බොහෝ රටවල් උත්සාහ දරමින් සිටි.

අපගේ අසල්වාසි ඉන්දියාව ද මෙම ගැටලුවට පිළියම් සෙවීමට උත්සුකවී ඇත. නිදසුනක් ලෙස ඉන්දියාවේ මිට මාස කිහිපයකට පෙර “රුධිර පැල්ලම් බද්ද” නැති කිරීමට නව නීති සම්පාදනය වී ඇත.එනම්,කාන්තාවන්ගේ සනීපාරක්ෂක නිෂ්පාදනවලට රජය මින් ඉදිරියට බදු අය නොකරන බවයි. කාන්තාවන්ට  ඇතිවන අපහසුතාවයෙන් මුදල් ඉපයීම අසාධාරණ බව ඔවුන් පවසා සිටියා. එමෙන්ම,කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා හදුනාගැනීමට ඔසප් සමයේ භාවිතාකිරීමෙන් පසුව ඉවතලන සනීපාරක්ෂක තුවා හා රෙදි කැබලි එකතු කිරිමේ මධ්‍යස්ථාන රට පුරා ආරම්භ කර තිබේ. ඒවායෙන් ලබාගන්නා ඩින්ඒ (DNA) සාම්පල් මගින් මෙම ගැබ්ගෙල පිළිකා ආශ්‍රිත පරීක්ෂණ සිදුකෙරෙනු ඇත.

බොහෝ අසියා,අප්‍රිකා මෙන්ම යුරෝපිය රටවල පවා ආර්තව දුගීබව ගැටළුවක් බව හදුනාගෙන ඇතත් සම්ප්‍රදාය,සංස්කෘතියට යටව මිත්‍යා මත කරපින්නා ගත් නේපාලය වැනි රටවල ඔසප් සමයේදී කාන්තාවන් දැඩිව දුක් විදින බව ප්‍රසිද්ධ රහසකි.  මාසික ඔසප් දිනයන්හිදී එම කාන්තාවන් නිවසින් පිටමන් කිරීමක් සිදුවේ.ඔවුන් එම දින කිහිපය නිවස අසල හෝ නිවස පෙනෙන මානයේ ‘ඔසප් මඩුවක’(බොහෝවිට නිවසට අයත් හරක් ගාලේ) ගතකලයුතුය.දරා ගත නොහැකි ශාරීරික අපහසුතාවට අමතරව මානසික පිඩාවන්ටද ගොදුරු වීමට මොවුන්ට සිදුව ඇත. දැරියන් පමණක් නොව කුඩා දරුවන් සිටින කාන්තාවන්ටද මෙය පොදු ඉරණමකි. එම කාලයේදී  තම දරුවන් සමගින්ම ඔවුන් මෙම ඔසප් මඩු තුල කාලය ගත කරන්නේ තමන් නිසා ගෙදර කිල්ලට අසු වී දේව කෝපයට නිවැසියන් හසුවනු ඇතයි ගොඩ නගාගත් මිත්‍යා විශ්වාසය නිසාවෙනි. ඔසප් මඩුව තුලදී කාන්තාවන් සර්පයින් දෂ්ට කිරීමෙන් මිය ගිය අවස්ථා රාශියකි. එමෙන්ම, ඔසප් සමයේදී ලිංගික සබදතා පැවැත්වීමෙන් ගැබ් නොගන්නා බව දන්නා නිසා සල්ලාලයින්ගේ අතවර වලටද මොවුන් නිරන්තරයෙන් ගොදුරු වෙති.එම කාලය තුලදී ඔවුන්ට කිරි අහාර හා එළවලු පවා ආහාරයට ගැනීම තහනම්ය. ශරීරයට පෝෂණය අත්‍යවශ්‍යම විටදී මෙසේ ආහාර පාලනය කිරීමට සිදුවීමෙන් ඔවුන් වඩාත් දුබල වේ.

‘වහුපදී’ ලෙස හැදින්වෙන මෙම චාරිත්‍රය නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කලේ වර්ෂ 2005දියි. 2008 වර්ෂයේදී මෙම සිරිත රටින් තුරන් කිරීමට මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කලත් තවමත් නේපාලයේ ගම්බද කාන්තාවන් මෙම චාරිත්‍රය නිසා දුක් විදිනවා.

වහුපදී  චාරිත්‍රය

සරස්වතී දේවිය කෝප වේයැයි සිතා නේපාලයේ සමහර පලාත්වල දැරියන්ට ඔසප් සමයේදී  පොත්පත් පවා ඇල්ලීම තහනම්. සනීපාරක්ෂක තුවා නොමැති වීම නිසා පාසලේදී මුහුණදීමට සිදුවන අමිහිරි සිදුවීම් මෙන්ම ගුරුවරුන්ගේ අමානුෂික හැසිරීම් නිසා ඉන්දියාවේ පාසල් දැරියන් අවම වශයෙන් වසරකට තුන්දහසක් පමණ සියදිවි හානි කරගන්නා බව සංඛ්‍යා ලේඛන මගින් හෙළිවී ඇත.

 

ආසියාවේ තත්වය මෙසේ වනවිට ශ්‍රී ලංකාවේ තත්වය කෙබදුදැයි විමසිය යුතුමය. ලංකාවේ පාසල් දැරිය ඔසප් වීම ආරම්භ කල දිනයේ හෙවත් වැඩිවිය පැමිණි දිනයේ පටන්ම මෙම සංවාදය ආරම්භ කලයුතුය. වැඩිවිය පැමිණීමත්  සමග ගම්බද කාන්තාවන් එම දැරියව වට කරගෙන ‘දැන් පරිස්සම් වියයුතු’ බව පැවසුවත් කෙසේද යන්න පහදා දෙන්නේ නැත. ප්‍රශ්න නගන විට ‘ඕවා පස්සේ දැනගනීවි’ යනුවෙන් පවසති.චාරිත්‍ර ඉටුකළ පසු උත්සවයක් ගන්නා නමුත් අවශ්‍ය දැනුම දැරියන්ට ලබා නොදිම අදටත් ගැටලුවකි. බොහෝ පාසල්වලද සෞඛ්‍යය විෂයයේ ප්‍රජනනය පිළිබද පාඩම ගුරුවරුන් මගහරින බව ප්‍රසිද්ධ රහසකි.

ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසාත්, සංස්කෘතිය හා සම්ප්‍රදාය සමග එක්වූ මිත්‍යා විශ්වාසත් නිසා වැඩිවිය පැමිණීම මෙන්ම ඔසප් වීමත් ලාංකීය සමාජයේ අරුම පුදුම සිදුවිම් බවට පත්ව ඇත. ලංකාවේ ආර්තවයට ලක්වන කාන්තාව කිල්ලට හසුවනවා යනුවෙන්  ද හැදින්වේ. මෙසේ කිල්ලට හසු වූ කාන්තාවට දේවාල,සාස්තර මෙන්ම පොරොන්දම් බැලිම පවා තහනම්ය. මසකට වරක් කාන්තාව මුහුණ දෙන මෙම සිදුවීම නිසා අවම වශයෙන් දින තුනක්වත් අධික කායික පීඩාවකට ගොදුරු වේ. ලාංකික සමාජය තුල ඇය මානසික පීඩාවන්ටද ගොදුරු වේ. හදිසියේවත් පාසල් දැරියකගේ ඔසප් කාලයේදී ඇගේ සුදු ගවුමේ රුධිර පැල්ලමක් සටහන් විම අගේ ජිවිතයේ ලබන අමිහිරිම අත්දැකීමක් වීමටද ඉඩ ඇත. පිරිමි ළමුන්ගේ විහිලුවට ලක්වීමත් මෙන්ම ගුරුවරුන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් මෙවැනි සිදුවීම්වලට හේතු වී ඇත.

නිසි අධ්‍යාපනයක් නොලැබීම  නිසා ළමුන් වෙනත් ක්‍රම මගින් දැනුම සොයා යාමට පෙළබේ. කුඩා කාලයේදීම ‘නිල් චිත්‍රපටි’ නැරබීමට පවා පාසල් දරුවන් යොමු වන්නේ මෙම කුතුහලය නිසාය.

ශ්‍රීලංකාවේ ද ආර්තව දුගීබව තුරන්කිරීමට වහාම පියවර ගත යුතුය. සනීපාරක්ෂක උපකරණ නොමැතිවිම නිසා දුක්විදින පිටිසර දැරියන් රැසකි. පාසල මුල්කොටගෙන මෙම වැඩපිළිවල ක්‍රියාත්මක  කලයුතු අතර ලිංගික අධ්‍යාපනය පිලිබදව පාසල් ශිෂ්‍යයින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතුය. සංස්කෘතියේ නාමයෙන් සමාජගත වී ඇති මිත්‍යා විශ්වාස තුරන් කොට ආර්තව දුගීබව තුරන්කිරීම තුලින් කාන්තාවන්ට වඩාත් යහපත් ජිවිතයක් ලැබෙනු ඇත.

 

 

 

අන්තර්ජාලය ඇසුරිනි.

 

 

මුදල් රෙගුලාසි පිළිබදව ඔබ දැනුවත්ද?

මේ දවස්වල ශ්‍රී ලංකාවේ අයවැය පිලිබදව සාකච්ඡා වෙනවා. 2018 වර්ෂයට අදාළ අයවැය පාර්ලිමේන්තුවට මේ වනවිටත් ඉදිරිපත් කරලා  අවසානයි. රාජ්‍ය සේවයේ යෙදෙන පුද්ගලයින් මුදල් රෙගුලාසි පිලිබදව යම්තාක් දුරට දැනුවත් වුනත්, ලංකාවේ බහුතරයක් පුද්ගලයින් අයවැය නිර්මාණය කරන ආකාරය වගේම මුදල් රෙගුලාසි පිලිබදවත් දැනුවත් නැහැ.  ඉතින් අද අපි කථා කරන්න යන්නේ රාජ්‍ය මුල්‍ය පාලනය, මුල්‍ය කළමනාකරණය  වගේම අයවැය සකස් කිරීම සම්බන්ධවයි.

 

රාජ්‍ය මුල්‍ය පාලනය

 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 සිට 154 දක්වා වන ව්‍යවස්ථා මගින් රාජ්‍ය මුල්‍ය පාලනය පිලිබදව විධිවිධාන යොදා තිබේ. රාජ්‍ය මුල්‍ය පිලිබදව පාලනය පිලිබදව සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර පාර්ලිමේන්තුව සම්මත කල නිතියකින් හෝ අධිකාරිය අනුවත් පාලන ආයතනයකට හෝ අධිකාරියකට බදු පැනවිය නොහැකිය.

 

ඒකාබද්ධ අරමුදල යනු………………

 නියමිත කාර්යය සදහා නීතියෙන් වෙන්කරනු නොලැබුවා වුද, ජනරජය සතුවුද සියලුම මුදල් එක්වන අරමුදල ඒකාබද්ධ අරමුදලයි. සියලුම බදු,තීරු බදු,වරිපනම් හා ගාස්තු මෙම අරමුදලට ලැබීම වේ. රාජ්‍ය ණය අරමුදල් පොලිය, නිදන් අරමුදලට ගෙවන මුදල් මෙන්ම පාර්ලිමේන්තුව නිශ්චය කරන වෙනත් වියදම් මෙහි වැය බරයි. ඒකාබද්ධ අරමුදලෙන් වියදම් සදහා වෙන්කරන ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වන අතර සැපයුම් සේවා හා විශේෂ නිති සේවා යනුවෙන් හැදින්වේ.

මුදල් පිලිබදව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ පහත පරිදිය.

රජයේ අරමුදල්වලට වැය බරක් පැවරීමට හෝ රාජ්‍ය ආදායමට බලපාන පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගතයුතු අතර අමාත්‍යවරයකු විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරීපත් කළයුතුය.  (ආ.ක්‍ර.ව්‍ය.-152 ව්‍ය.)

 

භාණ්ඩාගාර අධීක්ෂණය හා පාලනය

  • මහා භාණ්ඩාගාරය මුදල් අමාත්‍යවරයා යටතේ පවති. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා භාණ්ඩාගාර ලේකම්වරයා වේ.නමුත් භාණ්ඩාගාරයේ ප්‍රධානය වන්නේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ය.
  • මුල්‍ය පරිපාලනය හා අධීක්ෂණය භාණ්ඩාගාරයේ ප්‍රධාන කාර්යයකි.මෙහිදී අයවැය,ආදායම් එකතු කිරීම, අරමුදල්වල ආරක්ෂාව,වියදම් පාලනය හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ඇතුළු මුල්‍ය පාලනයක් සැකසීම භාණ්ඩාගාරයේ වගකීමයි. සම්පත් වෙන්කරදීම, විදේශාධාර, රාජ්‍ය ආදායම් හා වියදම් ගිණුම් ගත කිරීම ආදී කාර්යයන් ද භාණ්ඩාගාරයේ වගකීම් වේ.
  • රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,නීති කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව,ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරය යටතේ ඇති දෙපාර්තමේන්තු කිහිපයකි.
ශ්‍රී ලංකාවේ වත්මන් මුදල් අමාත්‍යවරයා

මුල්‍ය කළමනාකරණය

මුදල් කටයුතු අධීක්ෂණය

රජයේ සියලු මුදල් කටයුතු අධීක්ෂණය පිලිබද පොදු ආවේක්ෂණය මුදල් අමාත්‍යවරයා සතුය. එනිසාඅ සියලුම ආකාරයේ මුදල් කටයුතු ඉටුකළ යුත්තේ කවර සීමාවක් තුලද යන්න මුදල් අමාත්‍යවරයා හෝ ඔහු වෙනුවෙන් භාණ්ඩාගාරය විසින් නියම කරනු ලබයි.

 

මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය  හා පාලනය

  • ප්‍රධාන ගණන්දීමේ නිලධාරින් හා ගණන් දීමේ නිලධාරීන් පත් කිරීමට විධි විධාන සැලසීම හා ඔවුන්ගේ වගකීම් නිශ්චය කිරීම.
  • රජයේ දෙපාර්තමේන්තු මුදල් රෙගුලාසි පිළිපදින බවට සැහීමකට පත්වීම
  • දෙපාර්තමේන්තුවල සේවක සංඛ්‍යා හා වැටුප් පරිමාන පාලනය පවත්වාගෙන යාම.
  • මුදල් අමාත්‍යවරයාගේ විධාන ප්‍රධාන ගණන් දීමේ නිලධාරින් හා ගණන් දීමේ නිලධාරීන් වෙත දැන්වීම හා අර්ථකථනය කිරීම.

 

ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා

 මුදල් අමාත්‍යවරයා විසින් එක් එක් අමාත්‍යංශයේ ලේකම්වරයාද, අමාත්‍යංශයකට යටත් නොවන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද, ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ලෙස පත්කර භාණ්ඩාගාරයේ විධානයන්ට යටත්ව, දෙපාර්තමේන්තුවල මුදල් කටයුතු අධික්ෂණය කිරීමේ වගකීම ඔවුන්ට පවරයි. ඔවුන්ගේ වගකීම්වලින් කොටසක් පහත දැක්වේ.

  • තමන් යටතේ ඇති දෙපාර්තමේන්තුවල මුල්‍ය කටයුතු නිවැරදිව සිදු කිරීම.
  • තම වෙතම යොමුවිය යුතු ගැටළු යොමු කරගනිමට යාන්ත්‍රණයක් සකසා ගැනීම.
  • දෙපාර්තමේන්තුවල අධි වියදම පිලිබදව අමාත්‍යාංශයේදී පරික්ෂා කිරීම
  • රජයට වන පාඩු නිවැරදිව අධිභාර කරගැනීම.

 

ගණන් දීමේ නිලධාරියා

 භාණ්ඩාගාරය විසින් වෙනත් වැඩපිළිවලක් යොදා නැත්තම්  එක් එක් දෙපාර්තමේන්තු ප්‍රධානියා තම දෙපාර්තමේන්තුවේ සියලු ගනුදෙනු පිලිබදව ගණන් දීමේ නිලධාරියා වේ.රාජ්‍ය මුල්‍ය වියදම් ගණන් තැබීමේ ප්‍රධාන ගිණුම් ඒකකය (ශීර්ෂය -Head) මොවුන්  මුල් කරගෙන පවති. ඔවුන්ගේ වගකීම්වලින් කොටසක් පහත දැක්වේ.

  • රාජ්‍ය ආදයම් පිලිබදව ප්‍රගති වාර්ථා නිතිපතා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙත යැවීම.
  • හිග ආදායම් එකතු කිරීමට විශේෂ විධාන යෙදීම.
  • රාජ්‍ය වත්කම් සුරක්ෂිත කිරීම
  • අදාළ වර්ෂයේ ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කිරීම.
  • වර්ෂය අවසානයේදී නිසියාකාරව පිලියල කල විසර්ජන ගිණුමක් ඉදිරිපත් කිරීම

 

වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිලියල කිරීම් පිලිබදව ගණන්දීමේ නිලධාරියාගේ වගකීම

  • සහේතුකව පුර්වානුමාන කළහැකි සියලුම සේවාවන් ඇස්තමේන්තුවලට ඇතුලත් කර ඇති බවට සහතික වීම.
  • එම ඇස්තමේන්තු කාර්යයන් මුදල් වර්ෂය තුල තම දෙපාර්තමේන්තුවට ඉටු කිරීමට හැකිබව සහතික වීම.
  • ඇස්තමේන්තු සම්පුර්නව හා හැකිතාක්දුරට නිවැරදිව පිලියල කර ඇති අවට සහතික වීම.
  • ඇස්තමේන්තු සැකසීමේදී සකසුරුවම් හා කාර්යක්ෂමව නිසි සැලකිල්ලෙන් කටයුතු කලබවට සහතික වීම.
  • ඇස්තමේන්තුවලට මුදල් ප්‍රතිපාදන ඇතුලත් කිරීමට පෙර අවශ්‍ය අධිකාරි බලය ලබා ඇතිබවට සහතික වීම.
  • ඇස්තමේන්තු නිසි කලට හා නියමිත ආකෘතියට ඉදිරිපත් කිරීමට වගබලා ගැනීම.

 

ජාතික අයවැය ඇස්තමේන්තු සකස්කර පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත්කර අනුමතකරගැනීම හා වියදම් දැරිම ආරම්භ කිරීම දක්වා කාර්ය පටිපාටිය

  • ගණන් දීමේ නිලධාරීන් විසින් ඇස්තමේන්තු පිලියල කර ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් මගින් භාණ්ඩාගාරයට යැවීම.
  • ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් විසින් තමන් යටතේ වන දෙපාර්තමේන්තු වල ඇස්තමේන්තු ගණන් දීමේ නිලධාරීන් වෙතින් ගෙන්වාගෙන් අධීක්ෂණය හා අමාත්‍යාංශයට අයත් මණ්ඩල /සංස්ථා වල ඇස්තමේන්තු ගෙන්වාගෙන අමාත්‍යාංශය ඇස්තමේන්තු කිරීම.
  • ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් විසින් භාණ්ඩාගාරය වෙත ඇස්තමේන්තු භාර දිම.
  • භාණ්ඩාගාරය විසින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා ගණන් දීමේ නිලධාරීන් හා එක්ව ඇස්තමේන්තු සමාලෝචනය කර අවසන් නිගමනයකට පැමිණීම.
  • භාණ්ඩාගාරය විසින් විසර්ජන පනත් (අයවැය) කෙටුම්පත සැකසීම.
  • මුදල් අමාත්‍යතුමා විසින් විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල සන්දේශයක් මගින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීම.
  • අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

මෙහිදී පාර්ලිමේන්තුව අවස්ථා තුනක් යටතේ සලකා බැලේ.

පළමුවර කියවීම – අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

දෙවනවර කියවීම- කාරකසභා අවස්ථාව-එක් එක් අමාත්‍යංශයේ වැය ඇස්තමේන්තු සංශෝධනයට යටත්ව අනුමත කරගැනීම මෙහිදී සිදුවේ.

විසර්ජන පනත් කෙටුම්පත සදහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ ඡන්ද විමසීම

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
  • විසර්ජන පනත පාර්ලිමේන්තුවේ සම්මත කල බවට කතානායක සහතිකකර මුදල් අමාත්‍යවරයාට දැන්වීම.
  • අනුමත ඇස්තමේන්තු ප්‍රතිපාදන දැක්වෙන ලේඛන භාණ්ඩාගාරය විසින් දැනුම්දීමේ නිලධාරීන් වෙත දන්වා යැවීම.(ඒ අනුව ගණන් දීමේ නිලධාරීන් ඉදිරි වර්ෂයේ විසර්ජන සම්මත වැය ලෙජරය පිලියල කරගනි.)
  • මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව අනුමත කල ප්‍රතිපාදන යටතේ වියදම් දැරීම සදහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට බලය පවරමින් භාණ්ඩාගාරය වෙත වොරන්ට් බලපත්‍ර අත්සන් කර නිකුත් කිරීම.
  • ගණන් දීමේ නිලධාරීන් විසින් ඉදිරි වර්ෂය සදහා වියදම් දැරීමට මුදල් අවශ්‍ය ආකාරය දක්වමින් අක මුදල් ප්‍රවාහ සටහන් ප්‍රකාශ පත්‍ර භාණ්ඩාගාරයට ඉදිරපත් කිරීම.
  • මුදල් අමාත්‍යවරයා නිකුත් කරන ලබන වොරන්ට් බලපත්‍රවල අධිකාරය මත භාණ්ඩාගාරය විසින් ගණන් දීමේ නිලධාරීන් හා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් වෙත අග්‍රිම අධිකාර බලය පැවරීම හා අග්‍රිමයක් නිකුත් කිරීම. ඒ අනුව ගණන් දීමේ නිලධාරීන්ට නව වර්ෂය සදහා මුදල් පොතේ සටහන් තබමින් වියදම් ආරම්භ කල හැකිය.

 

 

 

මුලාශ්‍ර: ආයතන හා මුදල් රෙගුලාසි ග්‍රන්ථය -ඒ.කේ.ඩි.රූපසිංහ මයා