හොල්මන් වෙන හොල්මන් ගෙවල්

පුංචි කාලේ ඉදලම කිව්ව ගමන් ඇඟ කිළිපොලා යන වචනයක් තමයි හොල්මන් කියලා කියන්නේ. පස්සේ ඉතිං ලොකු වෙනකොට එහෙම බය ටික ටික ගියත් තාමත් ඉතිං කාට උනත් හොල්මන් ෆිල්ම් එකක් බලනකොට එහෙම මයිල් ඉස්මයිල් වෙනවා කියන එකනම් රහසක් නෙවේ. ඉතිං අද මේ කියන්න යන්නේ මේ හොල්මන් ඇත්තටම ඇස්දෙකට බලාගන්න පුළුවන් තැන් කිහිපයක් ගැනයි.

 

මවුන්ඩ්ස්විලේ බන්ධනාගාරය

වසර 100කට වැඩි කාලයක් තිස්සේ අතිශය දරුණු සිරකරුවන් විශාල ප්‍රමාණයකට නිවහන වුන මෙය පිහිටා තිබෙන්නේ ඇමෙරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රදේශයේ යි. අත්අඩංගුවට පත්වූ දහසකට අධික අපරාධකරුවන් ප්‍රමාණයකගේ ඉරණම විදුලි පුටුවක් මත හෝ එල්ලුම් ගහ මතදී විසඳුනේ මෙම බන්ධනාගාරය තුලදී යි. එමෙන්ම මෙහි සිරකරුවන්ට ජීවත් වීමට සිදුවූයේ ඉතාමත්ම පටු සිර කුටි තුලයි. මේ නිසා නිතරම පාහේ සිරකරුවන් අතර කැරලි කෝලාහල ඇතිවූ අතර ඒ නිසාද බොහෝ සිරකරුවන් මියගියා.1995දී මෙම බන්ධනාගාරය වසා දැමුවද තවමත් වධ හිංසාවන්ට ලක්වූවන්ගේ වියරු ආත්ම බන්ධනාගාරය පුරා ඇසීමට දැකීමට හැකි බව පැවසෙනවා.

ට්‍රාන්ස් ඇලෙජෙනි මානසික රෝහල

1864 වර්ෂයේ සිට දහස් ගණනක් වූ මානසික රෝගීන්ගේ නවාතැන්පොළ වූ මෙම ගුප්ත ස්ථානය පිහිටා තිබෙන්නේ ඇමෙරිකාවේ බටහිර වර්ජිනියාවේ වෙස්ටෝන් ප්‍රදේශයේ යි.මෙහි නේවාසිකව සිටියදී මියගිය රෝගීන් සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක්. weston
state Hospital යන නාමයෙනුත් හදුන්වන මෙම ස්ථානය 1994 වර්ෂයේදී වසා දමනු ලබනවා. මෙහි මුලින්ම විවිධ ගුප්ත සිදුවීම් පිළිබද වාර්තා වෙන්නේ ඇමෙරිකානු සිවිල් යුද්ධය සමයේදී යි. ඒ සමයේ මෙම ස්ථානය කඳවුරක් ලෙස භාවිතා වී ඇති අතර එහිදී සෙබළුන්ට විවිධ අසාමාන්‍ය අත්දැකීම් වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔබත් හොල්මන් පිලිබඳ අත්දැකීමක් ගන්න කැමති නම් මෙම ස්ථානය ඔබට ගැලපෙනම ස්ථානයයි. මොකද මෙහි පැකේජ ක්‍රමයට හොල්මන් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබාදෙන බව ආරංචියි.

වැලිස්කා මිනීමැරුම් නිවස

ඒ 1912 ජුනි දහවෙනිදා…. ඇමෙරිකාවේ ලෝවා ජනපදයේ කුඩා නගරයක් වන වැලිස්කා හි පදිංචිව සිටි මුවර් මහතා ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් සතර දෙනා එදා සිටියේ වෙනදාටත් වඩා ඉතා ප්‍රීතියෙන්. පවුලේ මිතුරන් වූ තවත් ගැහැණු ළමයින් දෙදෙනෙකුත්
එකතු වූ ඔවුන්ගේ එදා රාත්‍රී භෝජනය ඔවුන්ගේ අවසාන භෝජනය යයි ඔවුන් කවදාවත් නොසිතන්න ඇති. කෙසේ වෙතත් මුළු අමෙරිකාවම හොල්ලමින් එදා රාත්‍රියේ කිසියම් අභිරහස් ඝාතකයෙක් විසින් ඔවුන් සියලු දෙනාවම එදා රාත්‍රියේ ඝාතනය කරනවා.
එම ඝාතකයා කිසිම දිනක පොලිසියට සොයා ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ. පසු කලෙක මෙම නිවසේ පදිංචියට එන නිවැසියන් අසාමාන්‍ය අත්දැකීම් වලට මුහුණ දෙනවා. රාත්‍රී කාලයේ පොරවක් අතින් ගත් යම් ඡායාවක් සහ කුඩා ළමුන් හඩන ශබ්ද මේ අතර
ප්‍රධාන වෙනවා. 1994 දී නැවත ප්‍රතිසංස්කරණය කරන ලද මෙම නිවස තුල කිසිම විදුලි බල්බයක් නොමැති ආකාරයට සකසා ඇති අතර ලන්තෑරුම් එළියෙන් අප්‍රේල් සිට නොවැම්බර් දක්වා කාලය තුල කණ්ඩායම් වශයෙන් මෙහි සංචාරයන්ට සහභාගී වෙන්න ඔබටත්
පුළුවන්..

සැමී ඩීන් ගේ අවතාරය

ජෙරෝම් කියලා කියන්නේ ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිට තිබෙන කොපර් නිධි බහුල වෙච්ච පුංචි නගරයක්. අද වෙනකොට 400 දෙනෙක් පමණක් ඉන්න මේ ගම ඉස්සර නම් 15000 කට අධික ප්‍රමාණයකට නිවහන වුණා. අතීතයේ කැනීම් වලදී  සහ විවිධ අවස්ථාවලදී ඝාතනයට ලක්වූ බොහොමයකගේ සාපලත් ආත්ම මෙහි සැරිසරන බව ප්‍රචලිතයි. මේ අතරින් ජනප්‍රියම වන්නේ සැමි ඩීන් නම් වූ ගණිකාවකගේ අවතාරයයි. එකල සේවාදායකයෙකුගේ අතින් ගෙල සිර කිරීමට ලක්ව මිය ගිය ඇය සිය මිනීමරුවා සොයා තවමත් නගරය පුරා සැරිසරන බව ආරංචියි.

කියුබානු ක්ලබ් එක

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටා ඇති මෙය Circulo Cubano de Tampa යන නමින්ද හදුන්වනවා. 1917 වර්ෂයේදී සරණාගත කියුබානු වැසියන්ගේ රජදහනක් වූ මෙම ස්ථානය එකල නර්තන උළෙලවල් සංගීත සන්ද්‍යාවන්ගෙන් වර්ණවත් වුණා. අදටත් ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස සංරක්ෂණය කර ඇති මෙය විශේෂ උත්සව අවස්ථා සඳහා භාවිතා කරනවා. විවිධ අසාමාන්‍ය අත්දැකීම් වලට මෙහිදී මුහුණ දී ඇති පිරිස අති විශාලයි. විශේෂයෙන් පියානෝව වාදනය වීම විදුලි සෝපානය ඉබේ ක්‍රියාත්මක වීම වැනි සිදුවීම් මෙහි බහුල බව සැලකෙනවා.

 

මේ වගේම තව හොල්මන් ඉන්න තැන් ටිකක් ගැන විස්තර අරන් ඉක්මනටම එනකම්
Diyaneth.com එක්ක දිගටම රැදිලා ඉන්න හොදේ……

 

– Travelchannel.com ඇසුරෙනි. –

 

Post Author: Sasindu Kronikz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *