හීන අල්ලන Dream Catcher

Dream Catcher අද වෙනකොට ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය සැරසිල්ලක් වෙලා. අපේ රටෙත් Dream Catcher කොච්චර ජනප්‍රියද කියලා කියන්න ඕනි නෑ නේ.

ඉතිං අද කියන්න යන්නේ මේ Dream Catcher ගැන…..

 

ඉතිහාසය

Dream Catcher වල අයිතිකාරයෝ විදිහට සැලකෙන්නේ දේශීය ඇමෙරිකානු ජනතාව. අද වෙනකොට විවිධ ප්‍රමාණවලට , විලාසිතාවලට හා විවිධ පාටින් එන Dream Catcher ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තයි. ඒ මකුළු දැලක් සිහිවෙන ආකාරයට නූල් වලින් වියන ලද රටා සහිත ලී රවුමක් සහ එයට එල්ලෙන ලෙස සම්බන්ධ කල පුජනීය යයි සැලකෙන විවිධ පාට පිහාටු සහ පබළු සහිත කොටසයි. නියම සාම්ප්‍රදායික Dream Catcher එකක් සම්පුර්ණයෙන්ම අතින් නිම කල සහ ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන කල නිර්මාණයක්. මෙහිදී ලී රවුම ලෙස භාවිතා කරන්නේ විලෝ ලීයක්. ඒ වගේම මේ ලී රවුම ලෙදර් වලින් ආවරණය කර නිමවීමත් නියම Dream Catcher වල ප්‍රධාන ලක්ෂණයක්.

මුල් අයිතිකාරයෝ

දේශීය ඇමෙරිකානු ගෝත්‍ර පනහක් පමණ ජීවත් වෙන අතර මේ අතරින් Dream Catcher වල අයිතිය සදහා ගෝත්‍ර දෙකක් නම් වෙනවා. උතුරු ඇමෙරිකාව ආශ්‍රිතව ජීවත් වෙන ඔජිබ්වේ ගෝත්‍රය සහ ලකෝටා ගෝත්‍රය යි. නමුත් තොරතුරු පිරික්සීමේදී Dream Catcher නිර්මාණයට වැඩි අයිතියක් හිමිවෙන්නේ ඔජිබ්වේ ගෝත්‍රයටයි.ජනවාර්ගික ග්‍රන්ථ වලට අනුව ඔජිබ්වේ ගෝත්‍රිකයන් නිර්මාණය කරන මේ Dream Catcher විවාහ සම්බන්ධතා සහ වෙලදාම් කටයුතු නිසා අනෙක් ගෝත්‍ර වලටද ව්‍යාප්ත වී තිබෙනවා. ඔජිබ්වේ ගෝත්‍රිකයන් Dream Catcher හදුන්වන්නේ asabikeshiinh යන නමින්. එහි තේරුම “මකුළුවා” යන්නයි. මකුළු දැලක් ආකාරයට වියන ලද නූල් සැරසිල්ල මෙයට හේතු වෙනවා. Dream Catcherහි දකින්නට ලැබෙන මේ විවිධ නූල් රටා මෙම ගෝත්‍රිකයින් හිමේ යාම සදහා භාවිතා කරන සපත්තු වලද දකින්න පුළුවන්.

අතීත කතාව

බොහෝ ඇමෙරිකානු ගෝත්‍ර මකුලුවන්ව තරමක් බියජනක සත්තු විශේෂයක් විදිහට සලකනවා. ඔජිබ්වේ ගෝත්‍රය මකුලුවන්ව සලකන්නේ ආරක්ෂාවේ සහ සැපපහසු බවේ සංකේතයක් විදිහටයි. ඔවුන්ට අනුව ඔජිබ්වේ ගෝත්‍රයේ ගෝත්‍රිකයන්ගේ ආත්ම
ආරක්ෂාකරන අද්භූත මකුළු කාන්තාවක් අතීතයේ ජීවත්වී තිබෙනවා. විශේෂයෙන් තරුණ පිරිසට හා කුඩා දරුවන්ට ඇයගේ ආරක්ෂාව ලැබී තිබෙනවා. නමුත් ක්‍රමයෙන් ගෝත්‍රය විශාල වීමත් සමග පිරිස් විවිධ ප්‍රදේශ කරා සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා. එහිදී පෙර ආකාරයට සියලුම දෙනා පිලිබදව විමසීමෙන් සිටීමට ඇති නොහැකියාව නිසා මෙම කාන්තාව Dream Catcher නිර්මාණය කරනවා. එය මගින් පෙර පරිදි ඇයගේ ආරක්ෂාව ගෝත්‍රිකයන්ට ලැබෙන බව විශ්වාස කෙරෙනවා. ඇයගේ මග ඔස්සේ යන
පසු පරම්පරාවල මව්වරු තම දරුවන්ගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව සදහා Dream Catcher නිර්මාණය කරනවා.

Dream Catcher ඇත්තටම මොකද කරන්නේ….???

විශ්වාසයන්ට අනුව Dream Catcher මගින් නින්දේදී පෙනෙන නපුරු හීන වලින් ආරක්ෂාවක් ලබාදෙනවා. විශේෂයෙන් කුඩා දරුවන්ට මේ මගින් ආරක්ෂාවක් ලබාදෙන බව විශ්වාස කෙරෙනවා. බොහෝ ඇමෙරිකානු ගෝත්‍ර වල විශ්වාසයන්ට අනුව රාත්‍රී අන්ධකාරය නපුරු සහ හොද හීන වලින් පිරී තිබෙනවා. නිදාගන්නා ස්ථානයට ඉහලින් Dream Catcher එකක් එල්ලා තැබීම මගින් නින්දේදී අප වෙත පැමිණෙන නරක හීන රදවාගෙන සුබ සිහින වලට පමණක් අප වෙත පැමිණීමට ඉඩ ලබා දෙනවා. උදේ හොදින් හිරු එලිය වැටෙන තැනක Dream Catcher එක එල්වා තැබිය යුතු බව සැලකෙන්නේ රාත්‍රී කාලයේ ග්‍රහණය කරගන්නා නපුරු හීන හිරු එළියෙන් පුච්චා
දැමීමට බව විශ්වාස කෙරෙනවා.

Dream Catcher සංකේත කරන්නේ මොනවාද…..???

Dream Catcher එකක හැම කොටසකටම තේරුමක් තියෙනවා. ඒ හැම දෙයක්ම ස්වභාවික ලෝකය හා සම්බන්ධ විවිධ හේතූන්. Dream Catcher එකක් වෘත්තාකාර වීම සංකේතවත් කරන්නේ මිනිසාගේ ජීවන චක්‍රය සහ හිරු සහ චන්ද්‍රයා ගේ චලනය බව සලකනවා. නූල් වලින් වියන ලද දැල මගින් නරක හීන ග්‍රහණය කරගන්නා බව සලකනවා. පිහාටු මගින් හොද හීන අදාළ පුද්ගලයාගේ නින්ද තුලට කිසිම බාධාවකින් තොරව ඇතුළු කරන්න භාවිතා කරන බව සලකනවා. පබළු පිලිබදව නම් විශ්වාස දෙකක් තියෙනවා. සමහරු විශ්වාස කරන්නේ පබළු මගින් සංකේතවත් කරන්නේ මකුළු දැල නිර්මාණය කරන මකුලුවා වූවත් සමහරු නම් විශ්වාස කරන්නේ පබළු මගින් සමහර සුබ සිහින ජීවිත කාලය පුරාවටම රදවා තියාගන්න උදව් කරන බවයි.

 

Post Author: Sasindu Kronikz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *