හරිතාගාර ආචරණය – Green House effect

ලෝකයේ විද්‍යාත්මක ප්‍රජාව තුල වැඩි කතා බහට ලක්වන මාතෘකාවක් තමයි ගෝලීය උණුසුම වැඩි වීම (global  warming). දැනට වසර 20 ක පමණ සිට  විද්‍යාඥයන්මේ පිළිබඳව ලෝකය තුල දැනුවත්භාවය වැඩි කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ආකාරය දැකිය හැකියි. ඇත්තටම මොකක්ද මේ ගොලීය උණුසුම වැඩි වීම  කියන්නේ? අපි අද ඒ ගැන දැනුවත් වෙමු.

 

පෘතුවිය එහෙමත් නැත්නම් අපේ ලෝකය කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් එක් ග්‍රහලෝකයක් පමනයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ සියලුම ග්‍රහලෝක අතරින් ජීවින් සිටින ග්‍රහ ලෝකය වන්නේ පෘතුවිය වීමයි. මෙලෙස පෘතුවියේ පමණක් ජීවය ඇති වීමට හේතුව ලෙස  විද්‍යාඥයන්  විසින් සොයාගෙන ඇත්තේ පෘථුවිය  වටා පවතින වායුගෝලය හා ජීවීන්ට සුදුසු ප්‍රශස්ත උෂ්ණත්වයයි.  මෙම ප්‍රශස්ත උෂ්ණත්වය ඉතා වැදගත් සාධකයක් වෙනවා. පෘතුවිය තුල ජීවය පවත්වා ගැනීමට නම් මෙම ප්‍රශස්ත උෂ්ණත්වය දිගින් දිගටම පවත්වා ගතයුතුයි. නමුත් වර්තමානය වනවිට ලෝකයේ උෂ්ණත්වය පෙර නොවූ විරූ ලෙස වැඩි වෙමින් පවතිනවා. මෙය මිනිසුනට එකවර නොදැනෙන දෙයක් වුවත් පරිසරයට  මෙමගින් ඇති වන බලපෑම ඉතා ඉහලයි.විද්‍යාඥ කණ්ඩායම් විසින් වසර සිය ගණනක සිට පෘතුවියේ උෂ්ණත්වය වෙනස්වීම සලකා බැලු විට පසුගිය සියවස තුල ඇති වී ඇති උෂ්ණත්වය ඉහල යාම අනෙක් කාල වලට වඩා ඉහල බව සොයාගෙන තිබෙනවා. වඩාත් බැරෑරුම් දෙය වන්නේ එය තවදුරටත් ඉහල යාම මිස පාලනයක් සිදු නොවීමයි.

 

හරිතාගාර ආචරණය 

 

මෙම ප්‍රශස්ත උෂ්ණත්වය කෙරෙහි බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකය ලෙස  විද්‍යාඥයන් සොයා ගෙන තිබෙන්නේ හරිතාගාර ආචාරණය යි (green house effect) . හරිතාගාර ආචරණය යනු වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩි වීම  නිසා ඇතිවන තත්වයකි. මුලින්ම අපි හරිතාගාර වායුන් හඳුනාගනිමු.

හරිතාගාර වායුන් (green  house  gases) වන්නේ කාබන් ඩයොක්සයිඩ් (carbon Dioxide) , මීතේන් (Methane) , නයිට්‍රස් ඔක්සයිඩ් (Nitrous Oxide) හා ජල වාෂ්ප ආදියයි. හරිතාගාර වායුන්ගේ ලක්ෂණයක් වන්නේ තාපය උරාගැනීමේ හැකියාව වැඩි වීමයි. ඔබ දන්නවා පෘතුවියට ආලෝකය හා තාපය ලැබෙන්නේ සූර්ය කිරණවලින්  බව. මෙලෙස ආලෝකය හා තාපය රැගෙන එන සූර්ය කිරණ පෘතුවිය මතට වැටෙන්නේ වායුගෝලය හරහා පැමිණයි. මෙම  සූර්ය කිරණ පෘතුවිය මතට වැටීමෙන් පසුව නැවත පරාවර්තන වී වායුගෝලයට නිදහස් වෙනවා. වැටෙන සියලුම සූර්ය කිරණවල අඩංගු තාපය  පෘතුවිය විසින් උරා ගත්තේ නම් පෘතුවිය මත උෂ්ණත්වය ඉතා අධික වී ජීවිනට අහිතකර තත්වයක් ඇතිවනවා. මෙලෙස පරාවර්තන වී යන සූර්ය  කිරණ නිවැරදි  ආකාරයට නම් නැවත ඉහල අවකාශයට ගමන් කල යුතයි. නමුත් හරිතාගාර වායුන් විසින් මෙම කිරණ වල අඩංගු තාපය උරාගැනීම  සිදු කරනවා. හරිතාගාර වායු බොහෝවිට රැඳෙන්නේ වායුගෝලයේ  පහල මට්ටම තුලයි. මෙම නිසා පෘතුවිය ආසන්නයේ වායුගෝලය රත්වී උණුසුම අධික වනවා. වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩිවන තරමට උෂ්ණත්වය වැඩි වීමද ඉහල යනවා. හරිතාගාර ආචරණය ලෙස හඳුන්වන්නේ මෙම සිද්ධියයි.

 

ඉදිරි වැඩපිළිවෙල

 

ලොව පුර විවිධ රටවල විද්‍යාඥයින් 1300ක් පමණ සම්බන්ධ කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයක දී  ලෝකයේ උෂ්ණත්වය ඉහල යාමට ප්‍රධාන හේතුව ලෙස හරිතාගාර ආචරණය නම් කෙරුණා. එමෙන්ම වායුගෝලය තුල හරිතාගාර වායුන් වැඩි වීමට 95% ක්ම හේතු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් බවත් ඔවුන් ප්‍රකාශ කලා. වසර 200ක් පමණ අතීත දත්ත සැළකු විට පසු ගිය වසර 50 තුල වායුගෝලය තුල කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉතා ඉහල අගයකට පැමිණ තිබෙනවා. කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරෙන ක්‍රම බොහොමයකට මිනිස් ක්‍රියාකාරකම් හේතු වනවා. කර්මාන්තශාලාවලින් පිටවන දුම්, රථවාහන වලින් පිටවන දුම්, වන විනාශය ආදිය මෙම ක්‍රියාකාරකම් අතරින් කිහිපයක්. මෙම අධ්‍යයනයන්ගෙන් පසු ලෝකය තුල හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රමුඛ වී විවිධ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. ප්‍රධාන වශයෙන් වැඩියෙන් කබන් ඩයොක්සයිඩ් පිටකරන රටවල් හඳුනාගැනීමත් එම රටවල්වල රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමත් සිදු කෙරුණා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කියෝටෝ සම්මුතිය (Kyoto  protocol) නමින්  ලෝකයේ රාජ්‍ය නායකයින්  සමග ගිවිසුමකට එළඹුණා. 1997 දෙසැම්බර් 11 වන දින ජපානයේ කියෝටෝ නගරයේ  දී අත්සන් කෙරුණු මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ වුයේ ලෝකයේ රට රටවල් විමෝචනය කරන හරිතාගාර වායුන් ප්‍රමාණය සීමා  කිරීමයි. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටළු වලට මුහුණ දීමටද සිදුවුණා .

 

මිනිසාගේ හිත සුව පිණිස මිනිසා සිදුකරන බොහෝ කටයුතු ගෝලීය උණුසුම වැඩි කිරීමට දායක වී තිබෙනවා. නමුත් තවදුරටත් එසේ  නොසැලකිලිමත්ව කටයුතු කළහොත් ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නෙත් මිනිසාටම බව අප  මතක තබා ගත යුතුයි. ගෝලීය උණුසුම වැඩි වීම නිසා ලෝකයට ඇති වන බලපෑම පිළිබඳව ඉදිරි ලිපියකදී වැඩි දුරටත් සාකච්ඡ  කරමු.

 

සැකසුම : ගිෂානි නිසංසලා 

 

 

මුලාශ්‍ර :

 

https://climate.nasa.gov/causes/

http://unfccc.int/kyoto_protocol/background/items/2879.php

http://www.environment.gov.au/climate-change/climate-science-data/climate-science/greenhouse-effect

Leave a Reply

Your email address will not be published. Required fields are marked *