ස්විට්සර්ලන්තය කැළඹූ ගෑස් මුහුණේ මිනිසා

මානව සංවර්ධන දර්ශකයේ ඉහළම ස්ථානයක මෙන්ම මිනිසාට වාසය කිරීමට සුදුසුම රටවල් අතර මුල් පෙලෙහි ලා කියැවෙන ස්විට්සර්ලන්තය පිළිගැනෙනුයේ ස්වභාව සෞන්දර්‍යයෙන්ද අනූන ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින් ක්‍රියාත්මක වන රාජ්‍යයක් ලෙසිනි. එවන් රාජ්‍යයක වැසියන් භීතියෙන් ඇලලූ ආන්දෝලනයට තුඩු දුන් පුවතකි ගෑස් මුහුණ පැළඳි මිනිසාගේ අද්භූත සිදුවීම.

බටහිර ස්විට්සර්ලන්තයේ මූල්ස් (Maules) නගරය ආශ්‍රිත වනාන්තරයේ දී පළමුවරට මිනිසාගේ නෙත ගැටුණු මෙම අද්භූත පුද්ගලයා සිය මුහුණ සම්පූර්ණයෙන්ම ගෑස් වෙස්මුහුණක් මගින් ආවරණය කර ඉතා රළු වූ බොයිලේරුකරුවන්  අදිනු ලබන ආකාරයේ ඇදුමකින් සැරසී දිගු ලෝගුවක් පැලඳ සිටි බවක් කියැවේ. මෙම පුද්ගලයා සම්පූර්ණයෙන්ම පාහේ මුහුණ ආවරණය කරගනිමින් ගෑස් මුහුණ පැලඳ සිටි නිසා කවරෙක්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීම අසිරු වී ඇත.

Loyon නම් වනාන්තරය ආශ්‍රිතව වසර දහයක් තිස්සේම විටින් විට දර්ශනය වූ මෙම අද්භූත සත්ත්වයා Le loyon ලෙස නම් කරන ලද්දේ මූල්ස් නගරවාසීන් විසිනි. වසර දහය පුරාවටම මෙම අද්භුත ජීවියා වනාන්තරයේ එකම මංපෙතක් ඔස්සේ ඇවිද යන බව ගම්වාසීන් කියා ඇත. එමෙන්ම මොහු පිළිබඳ පලමු දර්ශනය වීම සිදුවූ අවස්ථාවේ සිටම පොලීසිය ගම්වාසීන්ගේ හෝඩුවාවන් ඔස්සේ කැලය හා අවට ප්‍රදේශ සෝදිසි කරනු ලැබුවත් ඉන් කිසිඳු ඵලක් නොවුණි.

කෙසේ නමුත් Loyon හි මෙම අද්භූතජනක පුද්ගලයා ගේ ජායාරුවක් පළමු වරට ගැනෙන්නේ පැට්‍රික් නම් තම අනන්‍යතාව හෙලි කිරීමට අකමැති වූ ජායාරූප ශිල්පියෙකු විසිනි. ස්විට්සර්ලන්තයේ ප්‍රසිද්ධ පුවත්පතක් වන Le Matin පුවත්පත තුලින් මෙම ජායාරූපය එළිදැක්වීමත් සමග රට පුරා ආන්දෝලනයක් ඇති වීමට මෙය හේතු විය.

ගෑස් මුහුණේ මිනිසා සැබෑ ලෙසම හසුවූ ජායාරූපය

‘මම හෙමින් ඔහු ගමන් කරමින් සිටි දෙසට ලං වුණා. අපි අතර දුර මීටර දුසිමක් පමණ පරතරයක් ඇති වෙනකල්ම. ඔහු හැඳ සිටියේ හමුදා කබායක්, බූට්ස් සපත්තු සහ පැරණි පන්නයේ හමුදා ගෑස් මුහුණක්. ඔහුගේ උස මීටර 1.9 පමණ වෙනවා. ඔහු මාව දැකලා ටිකක් වේලා මා දිහා නිෂ්ශබ්දව බලන් ඉඳලා ආපසු හැරිලා යන්න ගියා.’ ගෑස් මුහුණු මිනිසා දැක ජායාරූපයට නැගූ මූල්ස් වාසී කැමරා ශිල්පියා ලබා දී තිබූ ප්‍රකාශයේ මෙසේ කියා තිබුණි. ‘මා සිටියේ මගේ පවුලේ අයත් සමග නිසා මට ඔවුන්ව ආරක්ෂා කිරීම ගැන හිතන්න වුණා. කොහොම වුණත් මම ඔහු ආපසු හැරී යන මොහොතේ මගේ ජංගම දුරකතනයෙන් ජායාරූපයක් ගත්තා.’ ඔහු තවදුරටත් කියා තිබේ.

වසන්ත සමයක මූල්ස් වනාන්තරයේ ඇවිදීමට ගිය Marianne Descloux නැමැත්තියට ද ගෑස් මුහුණේ මිනිසා හමුවී තිබේ. ‘එදා වැසිබර ඉරිදාවක්, ඔහු ගේ හිසේ කැප් eඑකක් තිබුණා. අඳුරු පාට ලෝගුවක් හා ගෑස් මුහුණු ආවරණයක් පැළඳගෙන හිටියේ. ඒවා ඉතාම පිළිකුල් සහගත පෙනුමක් ගෙන දෙනවා. මං නැවතත් නම් ඔහුව දැකීමට කැමත්තක් නැහැ’ ඈ කියයි.

එමෙන්ම තවත් වරක් මෙම අද්භූත පුද්ගලයා වනාන්තරයේ ඇවිද යනු දක්නට ලැබෙන්නේ 2012 උණුසුම් ග්‍රීෂ්ම ඍතුවේ  වනාන්තරය අසබඩින් තම පවුලේ පිරිස සමග මෝටර් රථයක ගමන් කරන පුද්ගලයෙකුටය. මෙවර ගෑස් මුහුණේ මිනිසා හමුව තරමක් අමුතු එකක් වන්නේ ඔහු අත මල් පොකුරක් ද තිබීම හේතුවෙනි. එහෙදී ඔහු ඔවුන්ට පහර දේ යන බයෙන් එතැනින් ඉක්මණින් ඉවත් වීමට පිරිස කටයුතු කර ඇත.

Mules වනාන්තරය දැක්වෙන සිතියම

අවාසනාවන්ත අවසානයක් ලඟා කරමින් ගෑස් මුහුණේ මිනිසා ගේ ඇදුම් පැලදුම් Loyon වනාන්තරයෙන් හමුවන්නේ මිනිස් අත් අකුරින් ලියවුණු අද්භූත ලිපියකුත් සමගිනි. ප්‍රංශ බසින් ලියැවුණු එය Le risque d’une chasse à la Bête යනුවෙන් සඳහන් කරමින් කියන්නේ “මෘගයා දඩයම් වීමේ අවදානමක” යනුවෙනි. මෙම ලියැවිල්ල ගෑස් මුහුණේ මිනිසාගේ මරණ ලියැවිල්ල ලෙසින් පසුව ප්‍රචලිත වූ අතර මෙය ලියා තබා මෙම අද්භූත මිනිසා සියදිවි නසාගන්න ඇතැයි අනුමාන කෙරේ. එමෙන්ම ඔහුගේ ලිපියේ ‘සතුටේ ප්‍රතිකර්මය’ ලෙසින් හඳුන්වා දෙනු ලැබූ වනාන්තරය තුල ඔහුගේ නිදහස් හැසිරීම් වලට බාධා එල්ල වීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගනු ලබන්නට ඇති බව කියැවේ.

කෙසේ නමුත් කිසිවෙකුට හිරිහැරයක් නොකළ මෙම අද්භූත මිනිසා මරණයට පත් වීමේ වගකීම Le Matin පුවත්පත ඇතුළු ඔහුගේ ජීවිතයට එබිකම් කළ මාධ්‍ය ආයතන වගකිව යුතු බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් සටනට බසින ලද්දේ පසුකාලීනවය.

එනමුත් අදටද මෙම අද්භූත මිනිසා මිය ගියා ද නැතිද යන්න පිළිබඳ හෝ ඔහුට අයත් මළසිරුරක හෝඩුවාවක් හෝ පිළිබඳ තොරතුරක් ලැබී නොමැත.

 

  • නරඹන්න

 

 

 

අන්තර්ජාලය ඇසුරිනි.

සටහන – ඉසුරු හිදැල්ලආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *