මුගාබේගේ ඉරණම කෙසේ විසදෙයිද?

හමුදා කුමන්ත්‍රණයකට ආසන්න සිදුවීමක් පසුගියදා වාර්තා වුණේ සිම්බාබ්වේ රාජ්‍යයෙන්.  නොවැම්බර් 14 වන අගහරුවාදා උදැසන හරාරේ නගරය දෙසට ගමන් කරන හමුදා රථ පෙළක් දකින්නට ලැබුනා. බදාදා අලුයම වනවිට එරට හමුදා ප්‍රධානි මේජර් ජෙනරාල් එස්.බි.මොයෝ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිවේදනය කලේ, මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් ජනාධිපතිවරයා වටා සිටින දූෂිත පුද්ගලයින්ට එරෙහිව ආරක්ෂක හමුදාව ක්‍රියාත්මක වූ බවයි. ජනපති හා පවුලේ සාමාජිකයින් ආරක්‍ෂිත බවත්, හමුදාව රටේ පාලනය අත්පත් කර නොගත් බවත් අවධාරණය කරා. හමුදාව තම රටේ යහපත උදෙසා පෙනීසිටින බවත්, ජනතාව සාමකාමිව කටයුතු කලයුතු බවත්, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කලයුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. මෙහිදී ජනපතිවරයා,පවුලේ සමාජිකයින් මෙන්ම ජනපතිගේ හිතවතුන් කිහිපදෙනෙකුත් නිවාස අඩස්සියේ රැදවීමට හමුදාව පියවර ගත්තා. මුගාබේගේ පුද්ගලික නිවාස අසලින් සහ සිම්බාබ්වේ විශ්ව විද්‍යාලය අසලින් වෙඩි හඩවල් ඇසුනත් කිසිවකුටත් හානි වි නැහැ. ආරක්ෂක අංශ කෙසේ පැවසුවත් බැලු බැල්මට පෙනෙන්නේ ලේ නොසෙල්වූ කුමන්ත්‍රණයකින් එරට බල අරගලයක් සිදුව ඇති බවයි.

වර්තමානයේදී සිම්බාබ්වේ රාජ්‍යයේ තත්වය

 

වසර 37ක්ම සිම්බාබ්වේ රාජ්‍ය පාලකයා වු 93 හැවිරිදි මුගාබේ ලොව දීර්ඝතම කාලයක් බලයේ සිටි රාජ්‍ය නායකයායි. “උදාර මහල්ලා”යන අන්වර්ථ නාමයෙන් තමන්ව හදුන්වා ගත් ඔහු පසුගිය සතියේදී තම උප ජනාධිපති එමර්සන් නන්ගග්වා ධුරයෙන් නෙරපා හැරියා. තවම හරිහැටි ප්‍රකාශයට පත් නොවුනත් මෙම හමුදා කුමන්ත්‍රණය එම සිදුවිමේම තවත් පුරුකක් බවට සැක පහල වෙලා. පසුගිය ඔක්තෝබරයේ ඉදලම  නන්ගග්වා හා මුගාබේගේ බිරිද ,ග්‍රේස් මුගාබේ , අතර මත ගැටුමක් පැවතුනා. හදිසියේම නන්ගග්වා ධුරයෙන් පහකොට මුගාබේ තම බිරියව එම ධුරයට පත්කරනු ඇතැයි රට පුරා රාවයක් පැතිරුණා. ජනපතිවරයාගේ ක්‍රියාකලාපය පිලිබදව අසතුටට පත් වූ ආරක්ෂක අංශ, මුගාබේ බිරිය වැළක්වීමේ අරමුණින් මෙම ක්‍රියාව කලබවට අනුමාන කරන්න පුළුවන්.

බලයෙන් පහ කල වහාම නන්ගග්වා රටින් පලා ගියා.  පලා යාමට ප්‍රථමයෙන් ජනාධිපතිවරයා  හුදකලා කරන ලෙස ඔහු මුගාබේගේ සානු පෙට්‍රියෝටික් ෆ්‍රනට් පක්ෂයේ සාමාජිකයින්ගෙන් ඉල්වා සිටි අතරම නැවතත් දිවයිනට පැමිණෙන බවටත් සපථ කරා. කෙසේ වුවත් මේ වනවිට සානු පෙට්‍රියෝටික් ෆ්‍රනට් පක්ෂය මුගාබේට සහය දෙන හා නන්ගග්වාට සහය දෙන ලෙස කොටස් දෙකකට බෙදී අවසන්.

සිම්බාබ්වේ උප ජනපති

කුමන්ත්‍රණය දැනගත් විගසින්ම දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් ෂුමා මුගාබේ දුරකතනයෙන් අමතා ඇති අතර එහිදී මුගාබේ නිවාස අඩස්සියේ පසුවන බව දැනගැනීමට හැකි වූ බවත්, මෙම අර්බුදය විසදා ගැනීමට දුත පිරිසක් සිම්බාබ්වේ වෙත යැවීමට දකුණු අප්‍රිකානු ජනපතිවරයා පියවර ගත බවටත් , දකුණු අප්‍රිකානු රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

සිම්බාබ්වේ රාජ්‍යය කලක් කෘෂිකාර්මිකව පොහොසත්ව තිබූ අතර “අප්‍රිකාවේ පාන් මල්ල” නම් විරුදාවලියෙන්ද හැදින්වුනා. සුදු ජාතික ගොවීන්ගේ ඉඩම් අත්කර් ගැනීමෙන් පසුව එම කෘෂිකාර්මික සමෘද්ධිය  බිදවැටුන බව මුගාබේට එරෙහිව පවතින දරුණු චෝදනාවක්. එමෙන්ම රට උද්ධමනයෙන් හා නය බරින් මිරිකී රටවැසියන් දුක් විදිනකොට පාලකයින් සුර සැප වින්ද බවටත් චෝදනා නැගෙනවා.

ග්‍රේස් මුගාබේ කලක් ජනපතිවරයාගේ පුද්ගලික ලේකම් හා අනියම් බිරිය වූ අතර මුගාබේගේ පළමු බිරිය වූ සැලි හෙෆ්රෝන්ගේ මරණයෙන් පසුව 1996දී මුගාබේ සමග විවාහ වුනා. අගේ අරමුණ වුණේ පක්ෂයේ තරුණ කොටස් සමග එක්වී සැමියාගෙන් පසුව සිම්බාබ්වෙහි රාජ්‍ය නායිකාව බවට පත්වීමටයි. නමුත් හමුදාව විසින් එම සැලැස්ම විනාශ කලා. 52 හැවිරිදි ග්‍රේස් ජනතාව අතර “ගුචී ග්‍රේස් “ නමින් ප්‍රචලිතයි. එයට හේතුව , විවිධ සන්නාම යටතේ ඇති  මිල අධික භාණ්ඩ මිලට ගැනීම ඇගේ විනෝදාංශය නිසායි. මේ වනවිට ඔවුන් නිවාස අඩස්සියේ සිටින බ්ලු මන්ෂන් නිවාස පවුම් මිලියන 7.5ක් පමණ වටිනවා.තම දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් පවුම් මිලියන 3ක් පමණ වැය කරන්නත් ඇය පසුබට වුණේ නැහැ. ඇයගේ දේශපාලන ආගමනයටත් දෙවසරකට වඩා වැඩි ඉතිහාසයක් නැහැ. රටේ නිදහස් අරගලයටත් ඇගේ දායකත්වයක් ලැබිලා නැහැ. මේ හැමදේකින්ම පෙන්නේ රටේ නායකත්වය භාරගන්න ඇයට නිසි සුදුසුකම් නොමැති බවයි. එහෙත්, මුගාබේ තම බලය අනිසි ලෙස භාවිතා කිරීමෙන් ග්‍රේස් බලයට ගෙනෙතැයි සැකය හමුදාවේ මෙම කුමන්ත්‍රණයට ප්‍රධාන හේතුව බව පැහැදිලියි.

සිම්බාබ්වේ ජනපති හා බිරිද

මේ වනවිට දකුණු අප්‍රිකානු නියෝජිතයින් මෙන්ම බ්‍රිතානයේ නියෝජිතයිනුත් සිම්බාබ්වේ ආරක්ෂක තත්වය පිලිබදව සාකච්චා කරනවා. දකුණු අප්‍රිකානු ජනපති හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලාසිටින්නේ මෙම තත්වය ඉදිරියට ගෙන නොයන ලෙස හා ගැටුම්කාරී තත්වයක් වර්ධනය නොවීමට ඉඩ නොතබන ලෙසයි.

කෙසේ හෝ සිම්බාබ්වේ රාජ්‍යයේ රගදක්වෙන මේ නාට්‍යයේ අවසානය සුඛාන්තයක්ද,ඛේදාන්තයක්ද  යන්න තවමත් අබිරහසක්. මුගාබේගේ ඉරණමත් කෙසේ විසදෙයිද කියල තාමත් හරියටම කියන්න බැහැ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *