මිනිත්තු තුනක දිග ගමනක්…

දිග ගමනක් මිනිත්තු තුනකින් යන්න පුළුවන් කතාවක් තමයි අද මේ කියන්න යන්නේ. වර්තමානය වනවිට ලෝකයේ බොහෝදෙනා ඉතාමත් අවිවේකී ජිවිතයක් ගත කරන නිසා කාලය කියන්නේ බොහොම වැදගත් දෙයක්. ඉතින් මිනිසා විසින්ම තමන්ගේ පහසුව සඳහා තාක්ෂණය යොදාගනිමින් කාලය කළමනාකරණය කරගත් අවස්ථා බොහොමයක් සාමන්‍යය ජීවිතයේදී අපට හමුවෙනවා. ගමන් කරන පඩිපෙළ (Escalator) ආධාරයෙන් අඩු කාලයකින් දිග ගමනක් යන ඒවගේ අවස්ථාවක් තමයි මේ.

 

ලංකාවෙදී නම් බොහෝවිට සාප්පු සංකීර්ණයක දැකිය හැකි ගමන් කරන පඩිපෙළ (Escalator) යම් ස්ථානයක සිට ඉන් ඉහළ හෝ පහළ ඇති ස්ථානයකට  ගමන් කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රමයකි. ලෝකයේ බොහෝ දියුණු රටවල ඉතා සුලබ ලෙස භාවිත කරනු ලබන මෙම ගමන් කරන පඩිපෙළ බොහෝ දියුණු රටවල විදුලි දුම්රිය (metro) එනම් වේගවත් දුම්රිය නැවතුම් ස්ථාන වලදී භාවිතා කරනු ලැබේ. මේවාහි උස සාමාන්‍යයෙන් අඩි 15 ක් පමණ වන නමුත්  එවැනි සාමාන්‍ය ගමන් කරන පඩිපෙළ මෙන් අට ගුණයක් පමණ උසින් යුත් ගමන් කරන පඩිපෙළක් ඇමරිකාවේ අගනගරය වූ වොෂින්ටන් ඩී.සී හි ඇති විදුලි දුම්රිය ගමනාගමන පද්ධතියේදී ( Washington Metro) අපට හමුවේ.

 

 

 

වොෂින්ටන් ජනපදයේ වීට්න් ග්ලේන්මොන්ට් මෙරන්ලන්ඩ් (Wheaton Glenmont Maryland ) හි පිහිටි වීට්න් දුම්රිය ස්ථානයේ සිට උමං මාර්ගයෙන් ඉවතට යන ඔබට එම රටෙහි උසම හා දිගම ගමන් කරන පඩිපෙළ හමුවනු ඇත. මෙය තාක්ෂණික වශයෙන් තුන් ගුණයකින් යුක්ත වන අතර, එය නොකැඩී ඒකාකාරව පවතින පඩිපෙළකි. මෙම ගමන් කරන පඩිපෙළ අඩි 230 ක් දිගින් හා උස අඩි 115 කින් යුක්ත වේ. නමුත්  ඔබට මෙහි ඉහළ සිට පහළට ගමන් කිරීම සඳහා ගත වන්නේ මිනිත්තු තුනක් පමණ කාලයකි. මෙවැනි දැවැන්ත ගමන් කිරීමේ පඩිපෙළක් ක්‍රියාකරවීමේදී තාක්ෂණික ගැටළු ඇතිවීම සාමාන්‍ය අවස්ථාවක් වන අතර මෙහි එවැනි ගැටළු ඇතිවීමේ හැකියාව වසරකට සියයට දහයක් පමණ වේ. නමුත් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව එවැනි තාක්ෂණික ගැටළු ඇතිවූ අවස්ථාවන් වලදී ලඟම ඇති අනෙකුත් නැවතුම්පොළවල් සඳහා බස්රථ යෙදීමක් සිදුකෙරෙන බව කියවේ.

 

 

 

වීට්න් දුම්රිය ස්ථානය යනු මෙවැනි  දැවැන්ත ගමන් කිරීමේ පඩිපෙළක් පිහිටි එකම ස්ථානය නොවන අතර දිග අඩි 213 ක් හා උස අඩි 106 ක් වූ, 2017 මාර්තුවේ බෙතෙස්දා මෙරන්ලන්ඩ් (Bethesda Maryland) හි ඉදිකරන ලද ගමන් කරන පඩිපෙළ දෙවැනි වන්නේ වීට්න් ගමන් කරන පඩිපෙළට පමණි.

කෙසේ වෙතත් රුසියාවේ අගනුවර වූ මොස්කව් නගරයේ පිහිටි මොස්කව් පාර්ක් මෙට්‍රෝ නැවතුම්පොළෙහි  හි ඇති අඩි 425 ක දිගකින් යුත් ගමන් කරන පඩිපෙළ ලොව දිගම ගමන් කරන පඩිපෙළ (Escalator ) ලෙස හැඳින්වේ.

 

මුලාශ්‍ර: Reader’s Digest Magazine

 

 

Post Author: Madhuni Rajapaksha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *