දුෂ්ට විකටයෙක් ඔබට හමුවුවොත්…

ඔබත් ඉංග්‍රීසි චිත්‍රපට නරඹන්නෙක් නම්, විශේෂයෙන් භීෂණ චිත්‍රපට වලට කැමති, ඒවා නරඹන්නෙක් නම් හෝ ස්ටීවන් කිං (Stephen King) වැනි ලේඛකයන්ගේ භීෂණ නවකතා ප්‍රිය කරන්නෙක් නම් අනිවාර්යෙන්ම මේ දුෂ්ට විකටයන් ඔබ දැනටමත් හඳුනනවා ඇත. එසේත් නොමැති නම් ලෝ සුප්‍රසිද්ධ බැට්මෑන් චිත්‍රකතා, කාටූන් හා චිත්‍රපට මාලාවේ එන ප්‍රධාන දුෂ්ට චරිතය වන ජෝකර් ඔබට අමතක නැතිවාට සැක නැත. සාමාන්‍යයෙන් විකටයාගේ භූමිකාව වූ විහිළු සැපයීම වෙනුවට භීෂණය පැතිරවීම කරා මේ චරිත වෙනස් වූයේ කෙසේ ද? මේ පිළිබඳසොයා බැලිය යුතු නොවේද? එසේ නම් මේ ලිපිය තුලින් අපි ඒ බව විමසා බලමු.

 

අතීතයේදී විකටයා යන චරිතය රාජ සභාවේ රජු පිනවීම සඳහා සැකසුණු වෘත්තියක් ලෙස බොහෝ පරීක්ෂකයන් පෙන්වා දෙනු ලබයි. ලංකාවේද ඊට රුකුල් සපයමින් අන්දරේ වැනි චරිත මෙම විකටයාගේ මුල් පුරුක් ලෙස සැලකිය හැකිය. අතීතයේ එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි යුරෝපීය රටවල රජ මාලිගාවේ දී රජුට විහිළු සපයමින් විවිධ රූපණ රඟ දැක්වූ මෙම චරිතය මුහුණේ පාට තවරා ගෙන නොයෙක් විසිළු ආකාරයෙන් මාලිගය පුරා ප්‍රභූන් ප්‍රහසනයට ලක් කර ඇත.

සාමාන්‍ය විකටයෙක්

තවත් කල් යත්ම මේ රැඟුම් රජුට පමණක් සීමා නොවී පොදු මහජනයාට ද දැකබලා ගත හැකි ආකාරයේ නාට්‍ය ලෙසින් සැකසිණි. විශේෂයෙන් අදටද නාට්‍ය ආරම්භයට පෙර එන කෝලමා යන චරිත මෙහි මුල් ස්වරූපයක් වේ. ඉන් අනතුරුව සර්කස් වැනි සංදර්ශන ඔස්සේ මහජනයා ප්‍රහසනය කළ විකටයන් නොහොත් ජෝකර්වරුන් විශේෂයෙන් කුඩා දරුවන්ගේ වින්දනය උදෙසා ළමා සැණකෙලි, උත්සව ආදියේ නැතිවම බැරි අංගයක් වී ඇත. මීට අමතරව  McDonald’s වැනි අවන්හල් වල සංකේතයක් ලෙස විකටයෙකු බාවිතා කිරීම විනෝදය සමග මිනිසුන් ගේ ජීවිත හැඩගැස්වීමට හේතු වී ඇත.

මැක්ඩොනල්ඩ්ස් විකටයා

කෙසේඑ නමුත් ප්‍රහසනය මුල්කොට බිහිවූ විකටයා එයින් අංශක 180ක්ම කැරකී සම්පූර්ණයෙන්ම විරුද්ධ භීෂණය පාදක කරගෙන බිහිවූයේ කෙසේද? මෑතකාලීන භීෂණ සාහිත්‍ය සැලකීමේදී එහි රජු නමින් විරුදාවලිය ලත් ස්ටීවන් කිං 1986 දී ලියූ It නවකතාව මෙහි ආසන්නතම පිබිදීමට හේතුවූවා යැයි කිව හැක.

 

ස්ටීවන් කිං ලියූ It නවකතාවේ චිත්‍රපටය

නමුත් ඊට ප්‍රථමව භීෂණ සාහිත්‍යයේ ආරම්භකයා ලෙස හඳුන්වන එඩ්ගා ඇලන් පෝ  (Edgar Allan Poe) 1849 දී රචිත Hop-Frog  නම් කෙටිකතාවේ පළමුවරට දුෂ්ට විකටයෙකු ගැන සඳහනක් තිබේ. එමෙන්ම දුෂ්ට විකටයෙකු සැබෑ ලෙසින් වේදිකාවට පැමිණෙන්නේ 1874 වසරේ දී  Ruggero Leoncavallo නම් ඉතාලියානු නාට්‍යවේදියාගේ (Pagliacci) නම් නාට්‍ය හරහාය.

Pagliacci නාට්‍ය පෝස්ටරය

ඉන් අනතුරුව විවිධ විත්‍රපට, රූපවාහිනී වෘතාන්ත ආදිය මගින් විශේෂයෙන්ම යුරෝපය හා ඇමරිකාව පුරා මෙම දුෂ්ට විකටයන් පිළිබඳ විවිධාකාර අදහස් ජනතාව වෙත සමීප වෙද්දී මෙය මානසික ගැටළුකාරී තත්ත්වයක් දක්වා දික් ගැස්සීම සිදු විය.  coulrophobia යනුවෙන් හැඳින්වූ මෙම මානසික රෝගී තත්ත්වය බොහෝසෙයින් යොවුන් වයසේ පසුවන පිරිස් අතර දක්නට ලැබෙන අතර එහිදී වෙස් ගන්වා සිටින විකටයන් දැකීමට ඇති බිය මෙහි මූලික රෝග ලක්ෂණය ලෙස හඳුනා ගෙන ඇත. කැලිෆෝනියානු ජාතික විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරයෙකු වූ ජෝසප් ඩර්වින් විසින් ප්‍රකාශ කර ඇත්තේ තරුණ තරුණියන් විසින් නාඳුනන මුහුණු දැකීමට ඇති බිය හා සමාජභීතිකාව වැනි කරුණු සියල්ල එක්ව ගත් විට විවිධ වෙස්ගැන්වීම්, වෙස්මුහුණු කෙරෙහි ඇතිවන බිය හා යම් සබඳතාවක් පවතින බවයි.

 

දාම ඝාතක John Wayne Gacy හා ඔහු Pogo clown ඇඳුමෙන් සැරසී

මෙම දුෂ්ට විකටයාගේ භූමිකාව මාරක විකටයෙකු දක්වා දික් ගැස්සෙන්නේ ජෝන් වේන් ග්‍රේසි (John Wayne Gacy) සිදුවීමත් සමගිනි. මානසික විකෘතියක් සහිත දාම ඝාතකයෙකු වූ ග්‍රේසි 1972 – 1978 කාලවකවානුව තුල කුඩා පිරිමි දරුවන් හා පිරිමින් 33 දෙනෙකු පමණ වධහිංසනයට හා ලිංගික අපහරණයට ලක් කරමින් ඝාතනය කර ඇත්තේ ළමා උත්සව හා සංදර්ශන වලට Pogo the Clown නම් විකට රූපය නිරූපණය කරමිනි. දාම ඝාතක විකටයෙකු සත්‍ය ලෝකයට පැමිණීම එලෙසට සනිටුහන් වෙද්දී අදටද බොහෝමයක් මංකොල්ලකෑම්, පැහැරගැනීම්, විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමේ දී විකට මුහුණකින් සැගවී ඒවා සිදු කිරීම බහුලව දැකිය හැකිය.

එමෙන්ම විකටයන් හා සම්බන්ධ අවතාර සිදුවීම් ගණනක් ද ලෝකයේ නන් දෙසින් වාර්ථා වී ඇත. 1981 වසරේ දී මසෙචුසෙට්ස් ප්‍රාන්තයේ බෘක්ලින් නුවර දී විකට වෙස් ගත්තෙකු කුඩා ළමුන් දෙදෙනෙකු වෑන් රථයක් තුලට ඇද දමා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් ඇමරිකාව කැළඹීමට හේතු වී ඇත. එයින් ඇරඹි විකට භීෂණය Midwest, northwest, Arizona හි Phoenix, New jersy හි West orange, Honduras සහ Illinois වැනි ප්‍රදේශ වලින් ද වාර්තා වී ඇත.

 

මියගිය මර්ලින් වොරන්

 

සිද්ධිය පුවත්පත් වාර්තා කර තිබූ අයුරු

 

මේ අතරම 1990 මැයි මස 26 ෆ්ලොරීඩාහි වෙලින්ග්ටන් නගරයේ විසූ මර්ලින් වොරන් නම් නම් කාන්තාවගේ මරණය සිදු වූයේ ද විකටයෙකු අතිනි. මර්ලින් ගේ නිවසේ දොරට තට්ටු කරන හඬ ඇසී දොර හැරිය ඇයට දක්නට ලැබුණේ මල් සහ බැලුන් අතින් ගත් දුඹුරු දෑස් ඇති විකටයෙකි. එම විකටයා එක වරම ඇයට වෙඩි තබා පලා ගියේ කිසිවක් සිතාගැනීමට වත් ඉඩ නොතබමිනි. මෙලෙස මියගිය මර්ලින් ගේ මරණයට හේතු වූ ඝාතකයා පොලීසියටසොයා ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් 2017 වසරේ දී මෙම ඝාතනයේ මහමොළකරු නීතියට කොටු වන්නේ නොසිතූ ලෙසිනි. ඒ වෙන කවුරුත් නොව මර්ලින්ගේ වැන්දඹු පුරුෂයා 2002 වසරේදී නැවත විවාහ වන ශීලා වොරන් නම් කාන්තාවයි.

ඝාතනයේ වැරදිකාරිය බවට ඔප්පු වූ ශීලා වොරන්

මේ ආකාරයට භීෂණයේ සලකුණක් වන තැනට පත්වූ විකටයාගේ දුෂ්ටත්වය, කෲරත්වය මැනවින් පිළිබිඹු වන මෑත දී තිරගත් වූ චිත්‍රපට අතරට  Stephen King’s It (1990),  Killer Klowns from Outer Space (1988),  Amusement (2008), Clownhouse (1989),  Blood Harvest (1987),  Poltergeist (1982),  Carnival of Souls (1998),  Killjoy (2000),  Zombieland (2009), 100 Tears (2007), වැනි චිත්‍රපට හැඳින්විය හැක. මීට අමතරව බැට්මෑන් (The Dark Knight) වැනි සුපිරි වීර ක්‍රියාදාම චිත්‍රපට වලට ද මෙම දුෂ්ට විකටයා ගේ ආගමනය සිදුවී ඇත.

 

බැට්මෑන් කතාමාලාවේ එන දුෂ්ටයා ජෝකර් The Dark Knight චිත්‍රපටයේ

ඉතින්.. මෙය කියවන ඔබගේ නිවසටත් දුෂ්ට විකටයෙකු පැමිණියහොත්?? සූදානම් වන්න.

 

නරඹන්න

  1. දුෂ්ට විකටයන් සැබෑ ලෙසම කැමරාවේ සටහන් වීම්..

2. මර්ලින් වොරන් සිදුවීම

Victim’s Family Shares Relief and Heartbreak After the Arrest of ‘Killer Clown’ Suspect

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි

සටහන – ඉසුරු හිදැල්ලආරච්චි

Post Author: Isuru Hidellaarachchi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *