තැපෑලෙන් ගිය දරුවෝ…

අප බොහෝවිට තැපැල් සේවාව භාවිතා කරනු ලබන්නේ ලිපියක් හෝ පාර්සලයක් තවත් කෙනෙකු වෙත හුවමාරු කරගැනීම සඳහායි. නමුත් අද අපි කතා කරන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස්වූ තැපැල් හුවමාරුවක් ගැනයි.

 

20 වන ශතවර්ෂය ආරම්භයේ දී ඇමරිකාවේ තැපැල් සේවයේ සිදුවූ වඩාත් කැපී පෙනෙන නවෝත්පාදනයන් නම් විශාල පැකේජ හා පාර්සල් තැපැල් මගින් හුවමාරු කරගැනීමට අවස්ථා උදාවීමයි. 1913 ජනවාරි මස 1 වන දින තැපැල් කාර්යාලීය පාර්සල් බෙදාහැරීමේ සේවය නිල වශයෙන් ආරම්භ වී ඇත. මෙම නව සේවාව මගින් ඇමරිකානුවන් මිලියන ගණනකට සියළුම භාණ්ඩ හා සේවා සඳහා හොඳ ප්‍රවේශයක් ලබා දුනි. එහෙත්, ඒ අතර තරමක් වෙනස් ආකාරයේ හුවමාරුවක් ඇමරිකානු ඉතිහාසයෙන් වර්තා වේ. එනම් ඇතැම් දෙමව්පියන් විසින් තැපැල් මාර්ගයෙන් තම දරුවන් හුවමාරු කිරීමට තැත් කිරීමයි.

 

 

 

 

මෙසේ තැපැල් මාර්ගයෙන් දරුවන් හුවමාරු වූ අවස්ථා පිළිබඳව එක්සත් ජනපදයේ තැපැල් සේවා ඉතිහාසඥ ජෙනී ලින්ච් මහතා විසින් බොහෝ තොරතුරු රැස්  කරගෙන ඇති අතර ඔහු විසින් Smithsonian වෙබ් අඩවිය වෙත පවසා ඇති පරිදි මෙය එවකට බොහෝ සෙයින් කතා බහට ලක්වූ කරුණක් වී ඇත.

 

මෙම පාර්සල් තැපැල් ක්‍රමය ආරම්භ කිරීමෙන් සති කිහිපයකට පසුව, ජෙසී සහ මැතිල්ඩා බෙග්ගල් නම් ඔහියෝ යුවළක් මාස අටක් වයසැති ඔවුන්ගේ පුතා වූ  ජේම්ස් තම මිත්තණියට යැවූහ. ලින්ච් පවසන පරිදි, කුඩා ජේම්ස්ගේ බර, තැපැල් පාර්සල් ක්‍රමය හරහා යැවිය හැකි පැකේජ බර ප්‍රමාණය වූ පවුම් 11 සීමාව ඉක්මවා ගොස් නොමැති අතර ඔහුව භාර දීම සඳහා වූ තැපැල් ගාස්තුව ශත 15 ක් පමණක් වී ඇත. ඒ අනුව ජේම්ස් බෙග්ගල් යනු තැපැල් මාර්ගයෙන් හුවමාරු කරන ලද පළමු දරුවා වේ. ඉන් පසුව ඉතාමත් ඉක්මනින්ම පුවත්පත් හරහා මෙම සිදුවීම ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඊලඟ වසර කිහිපය තුළදී වෙනත් පිරිස් විසින් ද මෙම ක්‍රමය යොදාගනිමින් දරුවන් හුවමාරු කිරීම සිදුකර ඇත.

 

 

 

 

මෙසේ ඊළඟ වසර කිහිපය තුළදී දරුවන් තැපැල් කිරීමේ අවස්ථා තවත් සිදුවී ඇති අතර පාර්සල් තැපැල් සේවාවේ සීමාවන් මිනිසුන්ගේ මැදිහත් වීම මත කාලයෙන් කාලයට වෙනස් වී ඇත. ඒ අතර 1914 පෙබරවාරි 19 වන දින චාලට් මේ පියර්ස්ටර්ෆ් නම් සිව් හැවිරිදි දැරියක, ඇයගේ නිවසේ සිට ඇයගේ මිත්තණියගේ නිවස දක්වා දුම්රිය තැපැල් සේවාව හරහා හුවමාරු කිරීමේ අවස්ථාවක් ද වාර්තා වී ඇත. පසු කලෙක නැන්සි පෝප් විසින් ජාතික තැපැල් කෞතුකාගාරයේ ලියා ඇති මෙම සිව් හැවිරිදි දැරියගේ කතාව පුරාවෘත්තයක් බවට පත්වී ඇත. කෙසේවෙතත් කුඩා දැරියගේ මවගේ ඥාති සහෝදරයකු දුම්රිය තැපැල් සේවාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කල බැවින් හිරිහැරයකින් හෝ කරදරයකින් තොරව ගමන් කිරීමට ඇයට අවස්ථාව හිමිවී ඇත. ලින්ච්ගේ අදහස නම් දුම්රිය ටිකට් පතක මිලට වඩා තැපැල් සේවාවේ ගාස්තුව අඩුවීම හේතුවෙන් චාලට්ගේ දෙමාපියන් මෙවැනි ක්‍රමයක් භාවිතා කරන්නට ඇති අතර මවගේ ඥාති සහෝදරයාගේ ඉල්ලීම නිසාවෙන් කුඩා දරුවා මෙසේ තැපැල් මාර්ගයෙන් යැවීමට ප්‍රාදේශීය නිලධාරීන්ට සිදුවන්නට ඇති බවයි.

 

අවසානයේ,වොෂිංටන් පෝස්ට්, නිව් යෝර්ක් ටයිම්ස් හා ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත් ඇතුලු බොහෝ පුවත්පත් දැන්වීම් මඟින් තැපැල් කාර්යාලය  විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබුනේ දරුවන් තැපැල් මාර්ගයෙන් තවදුරටත් යැවිය නොහැකි බවයි. කෙසේවෙතත් මෙසේ දරුවන් තැපැල් මඟින් හුවමාරු කිරීම නිත්‍යානුකුල නොවන බවක් හා නොසැලකිලිමත් බවක් හැඟී ගියද ලින්ච් පවසන්නේ එහිදී ග්‍රාමීය ප්‍රජාව විසින් ප්‍රාදේශීය තැපැල් නිලධාරීන් මත විශාල විශ්වාසයක් රඳවා ඇති බවයි. තවද ඔහු පවසන පරිදි තැපැල් බෙදාහරින්නන් යනු විශ්වාසනීය  සේවකයින් වන අතර අදටත් ග්‍රාමීය ප්‍රදේශ වල ජිවත්වන මිනිසුන්ගේ ජිවිත සඳහා ඔවුන් සහය වේ. මක්නිසාද යත් ඇතැම්විට ඉතාම ග්‍රාමීය ප්‍රදේශ වල ඇති නිවෙස් වෙත යන එකම ප්‍රාදේශීය නිලධාරියා තැපැල් බෙදාහරින්නා වන නිසාවෙනි.

 

 

කෙසේහෝ වර්තමානය වනවිට නම් දරුවන්ගේ ගමන් සඳහා තැපැල් මල්ලකට එහා ගිය විවිධ වූ ආරක්ෂාකාරී ක්‍රම තිබීම නම් ඉතාමත් සතුටට කරුණකි.

 

තොරතුරු හා ඡායාරූප Smithsonian වෙබ් අඩවිය.

 

Post Author: Madhuni Rajapaksha

1 thought on “තැපෑලෙන් ගිය දරුවෝ…

    Shalini

    (December 14, 2017 - 5:30 am)

    nice article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *