ටියුනීසියාවෙන් ආරම්භ වූ අරාබි වසන්තය

2010 දෙසැම්බර් 18 වැනිදින ටියුනීසියාවෙන් ආරම්භ වුනු මහජන නැගිටීම, ජනතා මතයට ඇහුම්කම් නොදී තමන්ගේ සැපපහසුව පමණක් සිතන රටවල් ගණනාවක දූෂිත ඒකාධිපති පාලනයන් පෙරලා දැමීමට මුල්වුනු සිදුවීමක් විය. ටියුනීසියාවේ පළතුරු වෙළෙන්දෙකු වූ 26 හැවිරිදි මොහොමඩ් බව්සිසි හට එරට පොලීසියකින් සිදුවුනු අසාධාරණයට සාධාරණය ඉටුනොවීම හේතුවෙන් ඔහු ගිනිතබාගත් අතර එම සිදුවීම ටියුනීසියාවේ ජනතා නැගිටීමට හේතු විය. එයින් මාසයක් පමණ කාලයක් ඇතුලත එරට පාලනය පෙරලා දැමීමට ජනතා උද්ඝෝෂණය ප්‍රභල විය.
උතුරු අප්‍රිකානු රාජ්‍යයක්වූ ටියුනීසියාවෙන් ආරම්භ වුනු එම ජනතා නැගිටීම උතුරු අප්‍රිකාවේ අනෙකුත් රටවල් හරහාද වේගයෙන් හමාගිය අතර එතැනින් නො නැවතී මැදපෙරදිග රටවල් වලටද එමෙන්ම දකුණු ආසියානු රටවල්වලටද එහි බලපෑම එල්ලවිනි. ටියුනීසියාවේ මෙන්ම ඊජිප්තුවේ, ලිබියාවේ, යේමනයේ මෙන්ම දකුණු ආසියාතික රටක්වූ මාලදිවයිනේද ඒකාධිපති පාලනයන් පෙරලා දැමීමට සමත්වුනු එම සිදුවීම් මාලාව තවමත් බොහෝරටවල දූෂිත ඒකාධිපති පාලකයන්ට විරුද්ධව ක්‍රියාත්මකව පවතී.

ටියුනීසියාවේ පළතුරු වෙළෙඳාගේ ගිනිතබාගැනීමෙන් මෙම සිදුවීම් මාලාව ඇතිවීම අහඹු සිදුවීමක්ද? එසේත් නැතිනම් දූෂිත පාලකයන් කෙරෙහි කැකෑරෙමින් තිබුනු මහජන මතය පුපුරායාමට දීමට එම සිදුවීම හේතුවිනිද? ඇත්ත වශයෙන්ම එම සිදුවීම් දාමයට එකිනෙක බැඳුනු හේතූන් ගණනාවක් හේතුවුනු බව කිවහැකිය. ඒකාධිපති පාලකයන්ට එරෙහිව මහජන නැගිටීම එහි ප්‍රතිඵලයයි.

රටේ ජනතාව ගැන නොබලා තමන්ගේ සැපපහසුව පමණක් සලකන පාලකයන් ඉතිහාසයේ මෙන්ම වර්තමානයේද සිටිති. ආර්මාර්ථකාමිත්වයෙන් සහ බල ලෝභයෙන් යුතු ඔවුන්ගෙන් ජනතාවට සිදුවන්නේ අයහපතක්මය. පාලකයන් දූෂිතවන විට රජයේ නිළධාරීන්ද දූෂිත වන අතර රාජ්‍යයන් පිරිහී යාමට එම දූෂිත පාලයන් හේතුවෙයි. ටියුනීසියාවේ පැවතුනේද එවැනි පාලනයකි. පළතුරු වෙළෙන්දෙකු වූ මොහොමඩ් බව්සිසි, පයිදා හමාධි නම් ආහාර ද්‍රව්‍ය පරීක්ෂිකාවකගේ පරීක්ෂාවට ලක්ව අනතුරුව පොලිස් නිළධාරීන්ට අල්ලස් දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම පොලිස් නිළධාරීන්ගේ තාඩන පීඩන වලට ලක්වුනු අතර ඔහුට එහෙහිව අසත්‍ය චෝදනා එල්ල කිරීමට එම දූෂිත පොලිස් නිළධාරීන්  ක්‍රියා කළහ.එයින් සාධාරණයක් ලබාගැනීමට ආණුඩුකාරවරයා හමුවට ගිය මොහොමඩ් බව්සිසිට ඔහු හමුවීමටවත් අවස්ථාවක් නොලැබුනු අතර ඉන්පසු තමන්ට සිදුවුනු අසාධාරණයන්ට විරෝධය දැක්වීමක් වශයෙන් ඔහු ගිනිතබා ගන්නා ලද අතර සති කීපයකට පහු ඔහු මරණයට පත්විය.

අසාධාරණයට සාධාරණයක් ඉටුනොවුනු තැන ගිනිතබාගැනීමෙන් තමන්ගේ විරෝධය පලකල කිරීමට ටියුනීසියානු පළතුරු වෙළෙන්දා තීරණය කල අතර සන්නිවේදන දියුණුව එම සිදුවීමට විරෝධය දැක්වීමට ජනතාව ඒකරාශී කිරීමට මෙන්ම එම සිදුවීම ලෝකය පුරා ගෙනයාටද  සමත්විය. අතීතයේදී බලවත් සන්නිවේදන ආයතන හරහා ඔවුන්ට උවමනා තොරතුරු ජනතාවට ලබාදුන්නද අද වනවිට ඍජුවට ලෝකයේ සිදුවන සිදුවීම් දැනගැනීමට හැකියාව ඇත. ෆේස්බුක්, ටුවිටර්, යූටියුබ්, බ්ලොග් වෙබ් අඩවි වලින් මේ සඳහා සෑහෙන අනුබලයක් ලැබේ. ටියුනීසියාවේ සිදුවුනු සිදුවීම එම රටේ සිදුවුනු තවත් එක්  හුදෙකලා සිදුවීමක් නොවී අනෙකුත් රටවලට පැතිරගොස් උත්තේජයක් සැපයීමට එම නිදහස් සන්නිවේදන මාධ්‍ය හේතුවුනි.

අද ලෝකයේ සියලුම දෙනා සන්නිවේදනය හරහා එකිනෙකාට බැඳී සිටිති. දැනුම තොරතුරු ඉතාමත් වේගයෙන් හුවමාරු වේ. වෙනත් රටවල රාජ්‍යයන් සාර්ථක ලෙස රාජ්‍ය පාලනයක් ගෙන යන ආකාරය එම රටවලට නොගියද මොනිටරයක් ඉදිරිපිට සිට දකී. ඒ ආකාරයෙන් බුද්ධිමය ලෙස සන්නද්ධ වූ ජනතාවක් එක්වුනු තැන ආත්මාර්ථකාමී ඒකාධිපති පාලකයන්ගේ පාලනයන් පෙරලීයයි. ලිබියාවේ ගඩාෆි, ඊජිප්තුවේ හොස්නි මුබාරක්, ටියුනීසියාවේ බෙන් අලී, යේමනයේ අබ්දුල්ලා සාලේ වැනි පාලකයන් බලයෙන් පහ කරනු ලැබුවේ මෙහි ප්‍රතිඵලයක් ලෙසටය. මීට අමතරව බෂාර් අල් අසාද් ප්‍රමුඛ සිරියාව අද මුහුණ පා සිටින සිවිල් යුද්ධය, බහරේනයේ ඇතිවෙමින් පවතින ජනතා නැගිටීම, කුවේට්, ලෙබනන් හා ඕමාන් වැනි රට වල ජන විරෝධතා නිසා සිදුවූ ආණ්ඩු වල වෙනස්කම්, ජෝර්දානය හා මොරොක්කෝව වැනි රටවල සිදු වූ ව්‍යවස්ථා සංශෝධන මෙන්ම සෞදි අරාබිය හා සූඩානය වැනි රටවල ඇති වෙමින් පවතින ජනතා විරෝධතාවන් අරාබි වසන්තයේ ප්‍රතිඵලයන් ය.

අරාබි වසන්තය යනුවෙන් හැඳින්වෙන මෙම සිදුවීම් මාලාව මල් නොපිපෙනා වසන්තයක් බව කියනු අසන්නට ලැබේ. අයි.එස්.අයි.එස්, අල්කයිඩා වැනි සංවිධාන මෙම ව්‍යපාරයට සම්බන්ධ වීම,අද වනවිට සිරියාවේ ඇතිවී තිබෙන තවමත් නිමා නොවුනු යුද තත්වය,බලවත් රටවල අනවශ්‍ය ඇඟිලි ගැසීම් වැනි හේතූන් නිසා ඔවුන් එවැනි නිගමනයකට එළඹුනද අරාබි වසන්තයේ මල් පිපීම නුදුරු අනාගතයේදී සිදුවනු ඇතිබව කිවහැකිය.

ජායාරූපය http://edition.cnn.com/2011/WORLD/meast/04/25/voices.arab.future/index.html ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *