ජාතික විප්ලවයෙන් ඇරඹී අදටත් පවතින චීනයේ සීතල යුද්ධය

ලොව දෙවන විශාලම ආර්ථිකය ලෙසින් පිළිගැනෙන මහජන චීන සමූහාණ්ඩුව යන නිළ නාමය ලත් චීනය, බිලියන 1.3 ට වඩා වැඩි ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර මිලියන 9.6ක බිම් ප්‍රමාණයකින් යුත් (වර්ග ප්‍රමාණය අතින් ලොව හතර වැනි තැනද ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව තුන්වන තැන ද දරණ) නැගෙනහිර ආසියානු රාජ්‍යකි. චීන කොමියුනිස්ට් පක්ෂය මගින් පාලනය කරනු ලබන තනි පක්ෂ පාලන ක්‍රමයක් සහිත චීනය, පළාත් 22 ද, පරිපාළන නගර සභා හතරක් මෙන්ම ස්වත්න්ත්‍ර ප්‍රදේශ 5ක් සමග විශේෂ පරිපාලිත ප්‍රදේශ දෙකක් ද සහිත ලොව නැගීඑන බලවතා ලෙස ලෝක අවදානය දිනාගෙන ඇත.

ඉපැරණි ශිෂ්ටාචාරයකට උරුමකම් කියන චීනය වසර ගණනාවක් තිස්සේ රාජාණ්ඩු මගින් පාළනය වෙමින් රාජ වංශ ක්‍රමයක් ගණනාවක් ඔස්සේ විකාශනය වී තිබේ. ක්‍රි.පූ. 2000 චීනය පාළනය කළ සියා (Xia) රාජවංශයෙන් පටන්  1911 දී අවසන් වූ කින්ග් (Quing)  රාජවංශය දක්වා රාජවංශ ගණනාවකින් පාළනය වෙමින් අද පවතින සමූහාණ්ඩු ක්‍රමය දක්වා පැමිණි ගමනේ දී චීනයේ සිදුවූ සංස්කෘතිකමය, දේශපාලනික, සමාජීය හා පාරිසරික වෙනස්කම් ගණනාවක් සිදුව තිබේ.

1911 දී චීනයේ පැරණි රාජාණ්ඩු ක්‍රමය බිඳවැටෙන්නේ රට තුල සිදුවන සුවිශේෂී විප්ලවයක ජයග්‍රහණය සනිටුහන් කරමිනි. ජනතාව මත පැටවුණු පීඩනය හා සුර සැප විඳින රජ පෙලපතේ ප්‍රභූන් අතර ඇතිවන පන්ති අරගලයේ පුපුරා යාම ලෙස මෙම විප්ලවය හැඳින්විය හැක. එම අරගලයම අද පවතින චීන තායිවාන සීතල යුද්ධයට පාර කැපුවා යැයි කීම සැම අතින්ම සාධාරණ සත්‍යක් ය.

KMT සහ කොමියුනිස්ට්වරු එක්ව කටයුතු කල අයුරු      

19 වන සියවස මුල් භාගය වන විට චීන අධිරාජ්‍යා ප්‍රමුඛරාජ වංශය බෙහෙවින් දුභල තැනකට වැටී සිටි අවධියක් විය. මේ අතර ප්‍රාදේශීය යුධ නායකයන් වඩාත් ප්‍රභල වී සිටින එකල එනම් 1911 දී චීන ජාතිකවාදී විප්ලවය ඇරඹෙන්නේ සුන් යත් සෙන් නම්චීන විප්ලවවාදී නායකයාගේ මූලිකත්වයෙනි. මෙම චීනයේ ජාතිකවාදී පක්ෂය හැඳින්වෙන්නේ ගුවොමින්ඩාන් (Kuomintang – KMT) යන නමිනි.

KMT නිර්මාතෘ සුන් යත් සෙන්

විප්ලවනායක සුන් යත් සෙන් දේශපාලනික වශයෙන් ඉතා ප්‍රකට අයකු වුවද හමුදාමය අතින් ඔහුගේ පක්ෂය එතරම් ප්‍රබල නොවීය. එහෙයින් යුධ නායකයන් සතු බලය එලෙසම පැවති අතර ජාතිකවාදීන් දුබල තත්ත්වයක පසු වූහ. එකළ චීනයේ බලය යනු හමුදා ශක්තියයි. සුන් යත් සෙන් ගේ ඇවෑමෙන් ජාතිකවාදීන් මෙහෙයවීමට බලාපොරොත්තු වූ ප්‍රධානම දෙපළක් වූහ. එක් අයකු වෑං යින්ග්වේ විය. අනෙක් තැනැත්තා චියැං කායි ෂෙක් ය. මේ අතරින් චියැං කායි ෂෙක් හමුදා පුහුණුව ද ලැබූ අතර ජාතිකවාදී පාක්ෂික හමුදාවල සහය ඔහු සතු වූ හෙයින් 1925 දී සුන් යත් සෙන් මිය ගිය අවස්ථාවේ චියැං ජාතිකවාදී නායකයා බවට පත් විය .

චීන ජාතිකවදී නායක ජෙනරාල් චියැං කායි ෂෙක්

චීනයේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගනු ලැබුණේ 1921 දී ය. මුලදී කුඩා සංවිධානයක් වූ මෙය යුධ නායකයන්ට එරෙහිව ජාතිකවාදී පක්ෂයට සහය දීමට කටයුතු කළේය. මෙමගින් කොමියුනිස්ට් පක්ෂයේ ජනප්‍රියත්වය ද ඉහළ ගියේය.මෙකළ KMT පක්ෂය ස්ථාපිත වී තිබුණේ චීනයේ දකුණුදිග ග්වන්ඩොංග් පළාතේ ය. චියැං එහි සිට යුධ නායකයන් පරාජය කර සිය පාලනය යටතට චීනය ලබා ගැනීම සඳහා උතුරුදිග මෙහෙයුම (Northern Expedition) ක්‍රියාත්මක කළ අතර එය යම් සාර්ථකත්වයක් ලැබූ අතර කොමියුනිස්ට්වරු ද ඊට සහය වූහ.

නමුත් 1927 දී චියැං කොමියුනිස්ට්වාදීන්ට පහර දීමට වූයේ අනතුරු ඇඟවීමකින් ද තොරව ය. 1927 අප්‍රේල් මාසයේ “ධවල භීෂණයෙන්” කොමියුනිස්ට්වාදීන් සහ ඔවුනගේ ආධාරකරුවන් කිහිප දහසක් මරා දමන ලදී.

 

චීන විප්ලවයේ ජාතිකවාදී හමුදා

 

මින් පසු ජාතිකවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් අතර වූයේ දරුණු භේදයකි. 1937 – 1945 සමයේ ජපන් ආක්‍රමණික හමුදාවලට එරෙහිව සටන් කරන සමයෙහි මෙම එදිරිවාදිකම් යටපත් කරමින් ඔවුන් එක්ව ක්‍රියා කිරීමට එකඟ වූ නමුත් දෙවන ලෝක යුද්ධය 1945 දී නිම වී ටික කළකින් ම යළි දෙපාර්ශවය සටන් වැදීමට ගත් හ.

1949 වන විට කොමියුනිස්ට්වාදීන් ජයග්‍රහණය කරන බව පැහැදිලි විය. එම වසරේ මැයි මාසයේදී චියැං ෆෝර්මෝසා දූපතට (තායිවානය) පළා ගියේය. ඔක්තෝබර 1 වනදා මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවන ලදී. මාඕ සේතුං එහි සභාපතිවරයා විය.

චීන කොමියුනිස්ට් නායක මාවෝ සේදොංග්

කෙසේ වෙතත් 1920 ගණන්වල සිට ම චීනයේ නීත්‍යානුකූල රජය ලෙස ජාත්‍යන්තර ප්‍රජාව අතර පිළිගැනීම දිනා ගත්තේ චියැංගේ චීන සමූහාණ්ඩුවය. 1945 දී එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු ලෙස පත් විය. 1949 දී චීන ප්‍රධාන භූමිය කොමියුනිස්ට්වාදීන් විසින් අල්ලාගනු ලැබූව ද බටහිර රටවල් දිගටම නිල වශයෙන් පිළිගත්තේ චියැංගේ රජය ය. කොමියුනිස්ට් කඳවුරේ රටවල් පමණක් මහජන චීනය පිළිගත්තේය.

චීනය සහ තායිවානය අද

මේ අතර මහජන චීනය කිසිදු ලෙසකින් තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළි ගැනීමට සූදානම් නැති අතර වෙනත් රටවල් තායිවානය පිළිගැනීම කෙරෙහි ද දැඩි විරුද්ධත්වය අදටත් පළ කරයි.

දශක කිහිපයක් ගතවන විට මහජන චීනයේ විශාල වෙළෙඳපොළ සහ ශ්‍රම බලකාය විසින් ආකර්ශ

ණය කරන ලද බටහිර රටවල් එරට කරා යොමු විය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ 1971 දී එක්සත් ජාතීන්ගේ නිල චීන නියෝජිතයා ලෙස මහජන චීනය පිළි ගැනීම ය.

මහජන චීනය ආර්ථික බලවතෙකු බවට පත් වෙද්දී බොහෝ රටවල් තායිවානය අතැර චීනය දෙසට නැඹුරු විය. යම් රටක් තායිවානය සමඟ තානාපති සබඳතා පැවැත්වීම චීනයේ උදහසට ලක් වීමේ පහසුම මගකි. නමුත් ආර්ථික බලවතෙකු වන චීනය අමනාප කරගන්නට අකැමැති හෙයින් බොහෝ රටවල් තයිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වයි. චීනය හා තායිවානය අතර පවතින මෙම අමනාපය සීතල යුද්ධයක් ලෙසින් අදවන තෙක් පැවතියද යම් දිනක මෙය පිපිරී යාමට ඉඩ ඇත්තේ උතුරු හා දකුණු කොරියාවන්, ඉන්දියාව හා පකිස්තානය වැනි දෙකඩ එවන් වූ රාජ්‍යන් ගණනාවක් මෙම අර්බුදයට මුහුණපා ඇති බැවිනි.

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි

Post Author: Isuru Hidellaarachchi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *