ගෝලීය උණුසුම වැඩිවීමේ බලපෑම් – effects of global warming

ශ්‍රී ලංකාවට පසුගිය කාලය තුල ස්වභාවික විපත් රැසකින් පීඩා විදින්නට සිදුවූවා . ඇතැම් වැඩිහිටියන් පැවසුවේ ඔවුන්ට මතක කාලය තුල මෙතරම් ස්වභාවික විපත් එක පෙලට සිදුවූ කාලයක් නැති බවයි. ශ්‍රී ලංකාව තුල පමණක් නෙවෙයි මුළු ලෝකයටම පෙර නොවූ විරූ ආකාරයට ස්වභාවික විපත්වලින් බැටකෑමට සිදුවුණා. මෙලෙස ස්වභාවික විපත් එක පෙලට ඇති වීම අහම්බයක් නොවන බවයි විද්‍යාඥයින්ගේ මතය. එසේනම් මොකක්ද ස්වභාවික විපත් වැඩි වීමට හේතුව? අද අපි ඒ ගැන කතා කරමු.

පෙර ලිපියකදී අපි හරිතාගාර ආචරණය සහ හරිතාගාර ආචරණය නිසා ගෝලීය උෂ්ණත්වය ඉහල යන ආකාරය පිළිබඳව දැනුවත් වුණා. බොහෝ විද්‍යාඥයින්ගේ මතය නම් මෙම ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ලෝකයේ දේශගුණ විපර්යාස බොහොමයකට හේතුව වන බවයි. නමුත් මේ පිළිබඳව කාලයක් තිස්සේ විද්‍යාත්මක ප්‍රජාව හා රට රටවල පාලන අධිකාරී අතර මත ගැටුමක් පැවතුණා. විද්‍යාඥයින් පැවසුවේ ගෝලීය උණුසුම දිනෙන් දින වැඩි වන නිසා ඉදිරියේදී දරුණු දේශගුණ විපර්යාස ඇති විය හැකි බවත්, ඒ සඳහා සුදුසු පිළියම් ගත යුතු බවත්ය. මොවුන් යෝජනා කල පිළියම් ආර්ථික වශයෙන් රට වලට අවාසිදායක වූ නිසා මෙම යෝජනා එක්වරම පිළිගැනීමට පාලකයින් සුදානම් වුයේ නැහැ. මේ නිසා පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට විද්‍යාත්මක ප්‍රජාවට සිදු වුණා. ඒ අතරින් වැදගත් කරුණු කිහිපයක් පහත ආකාර වෙයි.

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම

නාසා ආයතන මගින් වර්ෂ 1880 සිට ලබාගත් ගෝලීය උෂ්ණත්වය පිලිබඳ දත්ත එකතුකර කාලයත් සමග උස්ණත්වය වෙනස් වීමේ ප්‍රස්තාර සටහනක් ඉදිරිපත් කළා . මෙහි පැහැදිලිව මෑත කාලය තුල උෂ්ණත්වය ඉහල ගොස් ඇති ආකාරය පෙන්වා දෙනවා. ඔවුන්ට අනුව මෙම කාලය තුල උෂ්ණත්වය අධිකම වර්ෂය වී ඇත්තේ 2016 වර්ෂයයි.

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල යාම  

 

ගෝලීය උණුසුම වැඩි වීමට හේතුවන ප්‍රධාන සාධකය ලෙස සලකන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වෙනස් වන ආකාරයද විද්‍යාඥයින් විසින් ප්‍රස්තාරගත කළා. මෙහිදී පෙනී ගියේ ඉතිහාසය තුල වැඩිම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් විමෝචනය වී ඇත්තේ 1950 සිට කාලය තුල බවයි. එයත් ඉතා ශිග්‍ර ඉහළයාමක් බව නිරීක්ෂණය වුණා. මෙයට ප්‍රධාන හේතුව ලෙස කාර්මික විප්ලවය නිසා සිදුවූ කර්මාන්තවල නැගීම හා පොසිල ඉන්ධන දහනය අධික වීම හදුනාගැනුනා.

උත්තර ධ්‍රැවයේ ග්ලැසියර් දිය වීම

ගෝලීය උණුසුම වැඩි වීම හොඳින්ම පෙන්වන අවස්ථාව වන්නේ පෘථීවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ඇති අයිස් සහ විශාල ග්ලැසියර් පසුගිය වර්ෂ කීපය තුල ශීග්‍රයෙන් දිය වී යාමයි. චන්ද්‍රිකා ඡයාරූප මගින් මෙය පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය. වර්තමානයේ ආක්ටික් ධ්‍රැව ප්‍රදේශයේ අයිස් දිය වීම වසර 10කට සියයට 13.2 ක ශිග්‍රතවයකින් සිදුවෙනවා. මෙලෙස අයිස් දියවීම නිසා මුහුදේ ජල මට්ටම ඉහල යාම හා එම ප්‍රදේශවල ජීවත්වන සතුන්ට වාසස්ථාන අහිමිවීම සිදුවේ.

 

මෙවැනි ප්‍රතික්ෂේප කල නොහැකි කරුණු ඉදිරිපත් වනවිට දරදඬුව සිටි ලෝක පාලකයින් තම මතයට නමම ගනිඉමට විද්‍යාත්මක ප්‍රජාවට හැකි වුනා. එහි ප්‍රතිපලයක් වශයෙන් තමයි කියෝටෝ ගිවිසුමට ලෝක නායකයින් අත්සන් කිරීම සිදු වුයේ , මෙය 1997 දී අත්සන් කෙරුණත් ක්‍රියාත්මක කිරීම සිදු වුනේ 2005 වසරේ සිටයි. 2005 සිට 2012 කාලය තුල ගිවිසුමට එකඟ වූ රටවල් තම රටවල්වලින් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එකඟ වූ සීමාවක් තුල තබාගත යුතු වුණා. මෙම කාලසීමාව අවසන්වනවිට මෙය සාර්ථකව සිදුවූ නිසා දෙවන අදියරක් ද ක්‍රියාත්මක කිරීමට ලෝක නායකයින් එකඟතාව පලකලා. නමුත් අවාසනාවන්ත ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව මෙම ගිවිසුම්වලට ක්‍රියාකාරී සහභාගිත්වයක් දැක වුයේ නැහැ. නමුත් ඔවුන් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වැඩිම ප්‍රමාණයක් නිකුත් කරන රටවල් දෙකක් වීම නිසා මෙය අවාසිදායක තත්වයක් වුණා.

කෙසේ වෙතත් විද්‍යාඥයින් පැවසුවේ ගෝලීය උණුසුම වැඩි වීම නිසා අනාගතයේ ලෝකය දැඩි දේශගුණ විපර්යාසවලට මුහුණ පෑ හැකි බවයි. මෙය සත්‍යයක් බව පසක් කරමින් වර්තමානය වනවිට ලෝකයේ දේශගුණ තත්වය වෙනස් වී තිබෙනවා. වැසි වැටීමේ රටාවේ වෙනස්කම් ඇති වී ඇති අතර වැසි වැටෙන විට ඒවා ඉතා අධික ප්‍රමාණයකින් ලැබෙන අතර, වැසි නොලැබෙන විට ඉතා තද ඉඩෝර කාලවලට මුනුන දීමට සිදුවී තිබෙනවා. ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට විටින්විට ඇතිවන සුළි කුණාටු ප්‍රබලත්වයෙන් වැඩි වී තිබෙනවා. මෑතකදී එක පෙලට ඇමෙරිකාවට බලපෑ සුළි කුණාටු ඒ සඳහා සාක්ෂි දරයි. අයිස් දියවීමෙන් හා උෂ්ණත්වය වැඩි වීම නිසා මුහුදු ජලය ප්‍රසාරණය වීමෙන් මුහුදු මට්ටම ඉහල යාම නිසා පහත් ප්‍රදේශවල තිබෙන මාලදිවයින වැනි රටවල් යටවී යාමේ අවධානමක් ඇති වී තිබේ. බෝග වගා සඳහා අවශ්‍ය දේශගුණික තත්ත්ව වෙනස් වීම නිසා බෝග විනාශ වීමද සිදුවේ.

මේ සියලු කරුණු සලක බැලූ විට දේශගුණ විපර්යාස යනු තවදුරත් අනාගතයේ සිදුවන දෙයක් නොව වර්තමානයේ අප හමුවේ ඇති අභියෝගයක් බව වැටහී යනවා. එයට මුහුණ දීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අනාගත පරම්පරාවේ සුරක්ෂිතතාව ඇති කිරීමට අත්‍යවශ්‍ය කරුණකි.

 

සැකසුම :ගිෂානි නිසංසලා

https://climate.nasa.gov/vital-signs/arctic-sea-ice/

https://www.nationalgeographic.com/environment/global-warming/global-warming-effects/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *