ගුණ අගුණ කෑම රස

ආයුබෝවන්

අද අපි ඔයාලට කියන්න යන්නේ කෑම බීම ගැන අපි හිතාගෙන ඉන්න සමහර බොරු විශ්වාස කිහිපයක් ගැන. ගොඩක් අය විශේෂයෙන් ගෑනු ළමයි සෑහෙන්න මේ බොරු විශ්වාස හිතේ තියාගෙන එක්කෝ මේ කෑම ජාති වැඩිපුර කනවා එහෙම නැත්නම් කටේවත් තියන්නේ නැහැ. ඉතිං පොඩ්ඩක් බලමු එහෙනම් මේ මොනවද කියලා..

 

1. කෝපි වලට බර අඩු වේවිද???

ලංකාවේ අපේ ජනප්‍රිය පානයක් වෙච්ච කෝපි නම් සමහර අය සෑහෙන්න බොනවා බර අඩුකරගන්න කියලා. ඇත්තටම කෝපිවල තියෙන රසායනික සංඝටකය වෙන කැෆේන් හින්දා ඇගේ පරිවෘතිය වේගය පොඩ්ඩක් වැඩි වෙලා අපිට කන්න එන ආසාව පොඩි වෙලාවකට අඩු උනාට ඒක බර අඩු කරන්න තරම් නම් පොඩ්ඩක් වත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ..

 

2. මිරිස් බඩ පුච්චාවිද…???

දයියා දයියා කියලා කටට සැරට අපි කන මිරිස් හින්දා ගැස්ට්‍රයිටිස් ඇවිත් අමාශයේ තුවාල ඇති වෙනවා කියලා වැඩිය මිරිස් කන්න හොද නෑ කියලයි ගොඩක් අය විශ්වාස කරන්නේ. ඒත් ඇත්තම කාරණේ තමයි මිරිස් කෑවට පස්සේ ආහාර මාර්ගය ආශ්‍රිත රුධිර වාහිනී විස්තාරණය වෙලා ආහාර මාර්ගය ආශ්‍රිත පටක වල ආරක්ෂාව හා යහපැවැත්ම ස්ථිර වෙන එක. ඇත්තටම තුවාල වලට නම් හේතු වෙන්නේ විවිධ බැක්ටීරියා විශේෂ වල ක්‍රියාකාරකම්.

 

3. අඹ කෑවම මහත් වෙනවද……???

ඇත්තටම අඹ කියලා කියන්නේ ඉතාම හොද විටමින් ඒ සහ සී වලින් පිරුණු පළතුරක්. ඉතාම අඩු කැලරි ප්‍රමාණයක් තියෙන අඹ හින්දා නම් කිසිම විදිහකින් මහත් වීමක් සිද්දවෙන්නේ නැහැ. එක අඹ ගෙඩියකට ග්‍රෑම් 1ක් වගේ මේද ප්‍රතිශතයක් තමා අඹ වල තියෙන්නේ. ඒ වගේම අඹ ලෙල්ලේ තියෙන සමහර සංඝටක බර පාලනයටත්  වැදගත් වෙනවා.

 

4. බිත්තර කෑවම හාට් ඇටෑක් එනවද…..???

සතියකට බිත්තර දෙකකට වැඩිය කෑවොත් හාට් ඇටෑක් එනවා කියලා සමහර අය විශ්වාස කරනවා. ඒත් ඇත්තටම පර්යේෂණ මගින් තහවුරු කරලා තියෙනවා එහෙම කිසිම සම්බන්ධතාවක් නැති බව. බිත්තර සුදු මදය ප්‍රෝටීන් වලින් පිරුන කොටසක් වෙද්දී කහ මදය ඇස් වලට සහ මොලයට වැදගත් වෙන විටමින් හා ඛණිජලවණ වලින් පිරිලා තිබෙනවා. ඒ නිසා බිත්තරයක් ආහාරයට එකතු කරගන්න පොඩ්ඩක්වත් බයවෙන්න එපා.

 

5. සකසන ලද අඩු මේද ආහාර ගුණයිද…????

ඉතාම පෝෂ්‍යදායි කියලා කිව්වට නිෂ්පාදකයෝ මේකෙදි කරන්නේ ආහාර වලින් මේදය ඉවත් කරාම එන අප්‍රසන්න රස වෙනස ඉවත් කිරීමට අධිකව සීනි හා වෙනත් කෘතීම රසකාරක එකතු කිරීමයි. ඉතිං මේදය ඉවත් කරාට වඩා වැඩි අහිතකර බලපෑමක් මේවා හින්දා ශරීරයට වෙන බව නම් පැහැදිලියි. ඒ හින්දා මේ දේවල් ආහාරයට එකතු කරගැනීමේදී තරමක් කල්පනා කරෝතින් හොදයි.

 

6. මාජරීන් බටර් වලට වඩා ගුණද……?????

මාජරීන් වල බහුල විදිහට සකසන ලද එළවලු තෙල් සහ මේදය අඩංගුයි. මේ සමහර මේද කොටස් ශරීරයට ඉතා අහිතකර වෙන අතර හෘදයාබාධ සදහා හේතු වෙනවා. ඒත් බටර් මේදය අධික කිරි ආහාරයක් වූවත් ස්ථුලතාව සදහා දායක වෙන්නේ ඉතා අඩුවෙන්.
ඒ නිසා බටර් මාජරීන් වලට වඩා හොද තේරීමක් වෙනවා.

 

7. දොඩම් සෙමට හොදද…..???

විටමින් c බහුල ආහාරයක් විදිහට ප්‍රසිද්ධ දොඩම් සෙම්ප්‍රතිශ්‍යාවට හොදයි කියලා ගොඩක් දෙනා විශ්වාස කරත් ඇත්තටම ඒ සදහා දවසකට දොඩම් ගෙඩි 30ක් වත් අවම වශයෙන් උවමනා කරනවා. වැඩිපුර දොඩම් ආහාරයට එකතු කර ගැනීම උදරාබාධ සහ පාචනයට හේතු වෙන නිසා ඒ ආකාරයෙන් දොඩම් නොගෙන දොඩම් වල අඩංගු විටමින් c වෙන්කරගෙන සකසා තිබෙන විවිධ ලොසින්ජර ආදිය මගින් සෙම්ප්‍රතිශ්‍යාව සුව කරගත හැකියි.

 

8. අලිගැට පේර හැමදාම කන්න හොද නැද්ද…..????

ඇත්තටම අලිගැට පේර කියන්නේ ඉතාම ගුණදායක පළතුරක්. අලිගැට පේර වල අසංතෘප්ත මේද අම්ල කොටස් එහෙම නැත්නම් ශරීරයට හොද මේද අම්ල කොටස් බහුලයි. ඒ නිසා අලිගැට පේර ආහාරයට එකතු කර ගැනීමේ කිසිම වැරැද්දක් නැහැ.

 

9. ඉගුරු තේ සහ කටහඩ…????

ඉගුරු තේ පානය මගින් කටහඩ පැහැදිලි වෙනවා කියලා ගොඩක් අය සින්දු කියන්න කලින් එහෙම ඉගුරු තේ පානය කරනවා. ඒත් ඇත්තටම අපි ගිලින කිසිම දෙයක් ස්වරාලය හෝ ශබ්දය නිපදවීමට උපකාරී වෙන ස්වර තන්තු ස්පර්ශ කරන්නේ නැහැ. ඒ නිසා
ඉගුරු තේ මගින් එහෙම කිසිම බලපෑමක් කරන්නේ නැති බව මතක තියාගන්න.

ඉතිං ආයෙත් මේ වගේම ලිපියකින් ඉක්මනටම හමුවෙමු…..

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *