කෘත්‍රිම බුද්ධිය කොයිබටද ?

නවීන තාක්ෂණය ඇසුරු සැනින් වෙනස් වෙමින් වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. ලෝකය වෙනස් වෙනකොට අපිත් ඒවිදියට වෙනස් වෙන්න ඕන. දැනුම ලබා ගන්න ඕන. නැත්තම් විශ්ව ගම්මානය ඇතුලේ අපිව අතරමං වේවි. ඉතා සූක්ෂම විදියට තාක්ෂණයේ වෙනසක්  ඇති කරපු කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence ගැනයි අද අපි කථාකරන්න යන්නේ.

 

මොකක්ද මේ කෘත්‍රිම බුද්ධිය?

මිනිසාට වගේම තනියෙන් හිතල වැඩකරන්න පුළුවන් බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරිම අරමුණු කරගත්ත පරිගණක විද්‍යාවේ එක් ක්ෂේත්‍රයක් කෘත්‍රිම බුද්ධිය, ‘Artificial Intelligence’ නැත්තම් AI කියල හදුන්වනවා.සුහුරු ලෝකයේ කර්මාන්ත නිෂ්පාදනයට දැන් AI නැතුවම බෑ.  ඒ යටතේ,ඉගෙනුම (learning) , සැලසුම්කරණය (Planning), ගැටළු විසදීම (Problem Solving), හේතු දැක්වීම (Reasoning)  වගේ හැකියාවන්ගෙන් සමන්විත යන්ත්‍ර දැනටමත් නිපදවල අවසානයි.

 

කෘත්‍රිම බුද්ධියේ ඉතිහාසය

අජීවි වස්තුන්ට පණ දීලා ඒවාට බුද්ධිය ලබා දෙන්න මිනිස්සු හිත යොමුකෙරුවේ මීට ශතවර්ෂ ගානකට ඉස්සරවෙලා. ග්‍රීක,චීන වගේම ඊජිප්තු ජාතිකයන් අතරේ ප්‍රසිද්ධ මිත්‍යා කථා මේක තහවුරු කරන්න  සාක්ෂි සපයනවා.

දහනවවන සියවසේ මැද භාගයෙදී නවීන කෘත්‍රිම බුද්ධිය (Modern AI) ගැන ලෝකේ අහුමුලු වල විවිධ කථා පැතිරුණා. ඒත්, AI පරිගණක විද්‍යාවේ අලුත් ක්ෂේත්‍රයක් විදියට අත්පොත් තිබ්බේ 1956දී නිව් හැම්ප්ෂයර් නගරයේ පැවැත්තුන ලෝක ප්‍රසිද්ධ ඩාර්ට්මවුත් විද්‍යාත්මක සම්මේලනයේදී (Dartmouth Conference) .  ඒ අවස්ථාවේදී AI වල ප්‍රාරම්භක පියවරුන් විදියට මර්වින් මින්ස්කි,ජෝන් මැක්කර්නි, ඇලස් නිව්වෙල්, හර්බට් සිමොන් නම් කරා. තාර්කික සිද්ධාන්තවාදයේ සංවර්ධනයට තැබූ විද්‍යාත්මක පියවරක් විදියට නුතන කෘත්‍රිම බුද්ධිය ලෝකය තුල ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ එහෙමයි.

 

මොනවටද කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්නේ?

ලෝකයේ සිදුවෙමින් පවතින පර්යේෂණ ගොඩකට AI පාවිච්චි කරනවා. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දවසින් දවස වර්ධනය වෙන එක මිනිස්වර්ගයාගේ යහපතට මෙන්ම අයහපතටත් යොදාගන්න අවස්ථා වාර්තා වෙනවා. මේවනවිට  යන්ත්‍රෝපකරණ මිනිසාව අභිබවා නොගියත්, නුදුරු අනාගතයේ  දී  එහෙම වෙන්නත් ඉඩ තියෙන බව අමතක කරන්න හොද නෑ.

ආරක්ෂක පද්ධති සැකසීම, මෝටර් රථ නිෂ්පාදනය, විඩියෝ ගේම්  නිපදවීම, සයිබර් ආරක්ෂාව සැපයීම, ස්වයංක්‍රීයව ක්‍රියා කල හැකි යන්ත්‍ර නිපදවීම, අපරාධ විද්‍යාව , සෞඛ්‍ය ක්ෂේත්‍රය, පාරිභෝගික සේවා සැපයීම,අත්‍යන්ත සහයකයින් (Virtual Assistant) ලෙස ක්‍රියා කිරීම ආදී එකී මෙකි  නොකී බොහෝ ක්ෂේත්‍රයන් කෘත්‍රිම බුද්ධිය අතික්‍රමණය කරලා ඉවරයි.

 

කෘත්‍රිම  බුද්ධියට මිනිස් මොලය පැරදෙයි ද?

වර්තමානයේ මිනිසාට ඇතිවෙලා තියෙන ගැටළුවක් තමයි  මේක. මිනිසාම නිර්මාණය කරපු කෘත්‍රිම බුද්ධිය දවසක මිනිසා අබිභවා යාවි කියන සාධාරණ සැකය ලෝකයේ නිර්මාණය වෙලා තියෙනවා. Ex Machine, A Space Odyssey, A.I. Artificial Intelligence, The Matrix, I Robot වගේ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ ගැටලුව ආශ්‍රිතවයි. විද්‍යාඥයින් හා පර්යේෂකයින් නව නිර්මාණ හා නිපැයුම් කරමින් දිනෙන් දින මිනිස් සංවේදන තේරුම් ගතහැකි කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කරන්න වෙර දරනවා. යම් දිනයක මෙවැනි අවධානමක් ඇති වෙන්නත් වගේම නොවෙන්නත් පුළුවන්.   මිනිස්වර්ගයාට හානියක් නොවෙන විදියට නව නිපැයුම්  බිහි වීම තුලින් වඩාත් ලස්සන ලෝකයක් නිර්මාණය වේවි.

Post Author: Gayani Herath

Leave a Reply

Your email address will not be published. Required fields are marked *