කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු?

ඔබ මීට වසර 20ට පමණ පෙර නැරඹූ ටයිටස් තොටවත්තයන් හඬ කවා ජාතික රූපවාහිනියේ විකාශය වූ රොබින් හුඩ් කතා මාලාව ඔබට මතකද? එහෙමත් නැතිනම් සුප්‍රකට ලේඛක ඩෑන් බ්‍රවුන්ගේ ‘Da Vinci Code’ පොතේ කියවෙන ‘Priory of Sion’ සංවිධානයේ මුල් සංවිධානය ගැන ඔබට මතකද? නැතිනම් assassin’s creed වීඩියෝ ගේම් එකේ, චිත්‍රපටයේ ඉන්න වීරයා ඔබට මතකද? රොබින්, මැරියන්, ලිට්ල් ජෝන්, ටක්, ෂෙරීෆ්, ගිස්බන් වැනි චරිත සමග එංගලන්ත සොල්දාදුවන්, මංකොල්ලකරුවන් වගේ ලාංකික අපට නුහුරු අලුත්ම ඉතිහාස පැතිකඩක් තමයි රොබින් හුඩ් කතාමාලාවේ තිබුණේ. එහි එන, රතු කුරුසයක් ලකුණු කරගත් ලෝහ සන්නාහ සහිත සුදු පාට ඇදුමක් ඇඳපු ටිකක් භයංකාර පෙනුමක් තිබුණු අශ්වාරෝහක නයිට්වරු පිරිසක් ෂෙරීෆ්, ගිස්බන් එක්ක එකතුවෙලා රොබින්ලගේ කණ්ඩායම අල්ලගන්න උත්සාහ කරනවා මතකද? ඊට පසුවත් කතාංග කීපයකින්ම අපට හමුවෙන මේ අමුතු නයිට්වරු තමයි ටෙම්ප්ලර් නයිට්වරු එහෙම නැතිනම් පල්ලියේ නයිට්වරු කියලා ලෝක ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ ලිපි මාලාවේ අපි මුලින්ම කතා කරන්නේ මේ පල්ලියේ තාපස නයිට්වරු ගැන.

ටෙම්ප්ලර් නයිට්වරයෙක්

පළමු කුරුස යුද්ධයෙන් (First Crusade) පස්සේ යුරෝපීයන් විසින් 1099 දී පූජනීය ජෙරුසෙලම (Jerusalem) මුස්ලිම්වරුන්ගෙන් මුදාගැනීමෙන් පසුව කතෝලික බැතිමතුන්ට ජෙරුසෙලම වන්දනා කරන්න අවස්ථාව ලැබුණා. මේ ජෙරුසෙලම සම්පූර්ණයෙන්ම කතෝලික පාලන බලය යටතේ තිබුණත් යුරෝපයෙන් එයට යන මාර්ගය මුළුමනින්ම යුරෝපීන්ගේ ආරක්ෂාව යටතේ තිබුණේ නැහැ. මේ නිසා ජෙරුසෙලමට එන මාර්ගයේ සිටි මංපහරන්නන්, සොරුන් වගේ කණ්ඩායම් වලින් ශුද්ධවූ දේශය වන්දනා කරන්න එන බැතිමතුන්ට එල්ලවුණේ දැඩි හිරිහැරයක්. කතෝලික බැතිමතුන්ගේ වස්තුව කොල්ලකෑමෙන් නොනැවතී ඔවුන් විවිධ වද බන්ධන වලට ලක් කරලා මරලා දාන්න තරම් මේ මංපහරන්නන් කෲර වුණා.

ටෙම්ප්ලර්වරුන්ගේ කුරුසිය ලකුණ

තත්ත්වය උග්‍ර වෙද්දී 1119 දී මේකට විසඳුමක් අරගෙන ප්‍රංශයේ නයිට්වරයෙකු වන හියුස් ඩි පෙයින්ස් (Hugues de Payens) එවකට ප්‍රංශයේ රජු වූ කුරුස යුද්ධයේ ප්‍රධානියා වූ II වන බෝල්ඩ්වින් රජු ( Baldwin II of Jerusalem) සහ ජෙරුසෙලමේ පූජක ප්‍රධානියා වන ප්‍රධාන පූජකවර වෝමන්ඩ් ( Warmund, Patriarch of Jerusalem) හමුවීමට එනවා.

හියුස් ඩි පෙයින්ස්

එමගින් ජෙරුසෙලමට එන බැතිමතුන්ට ආරක්ෂාව සැරයීම වගේම ශුද්ධ වූ නගරයේ ඇති කතෝලික සිද්ධස්ථාන සතුරු උවදුරු වලින් ආරක්ෂා කරගැනීම ද සිදු කිරීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. අනතුරුව 1120 ජනවාරි මාසයේ දී ජෙරුසෙලමේ ශුද්ධ වූ නගරයේ පූජනීය මණ්ඩලය වූ නෙබියුලස් කවුන්සිලය (Council of Nablus) මගින් සම්මත කිරිමෙන් පසුව රාජ්‍ය අනුග්‍රහය යටතේ කලින් අල්-අක්සා ( Al-Aqsa Mosque) ඉස්ලාම් දේවස්ථානය තිබූ කුරුස යුද්ධයෙන් පසුව ටෙම්පල් මවුන්ට් (Temple Mount) නම් වූ කිතුණු නගරයේ පළමු ටෙම්ප්ලර් මූලස්ථානය පිහිටුවනු ලබනවා.

 

සොලමන් දෙවොලේ ආකෘතියක්

ටෙම්පල් මවුන්ට් හි මෙම මූලස්ථානය පිහිටුවීමට මූලික වූ තවත් එක් හේතුවක් වෙන්නේ පුරාණ සොලමන් රජුගේ දෙවොල (Temple of Solomon) එහි පිහිටා තිබීමයි. හීබෘ බයිබලයට අනුව ලොව පළමු කිතුණු දෙවොල වන්නේ මේ සොලමන් දෙවොලයි. කුරුස යුද්ධයට කලින් ඉස්ලාම් භක්තිකයන් විසින් අල්-අක්සා නමින් අත්පත් කරගෙන සිටියේ මේ සොලමන් දෙවොලම බවයි කියැවෙන්නේ. මේ දෙවොල ආශ්‍රිතව ජීවත්වෙමින් කුරුස යුද්ධයට තමන්ගේ සියලුම වස්තුව කැප කරපු ප්‍රභූ නයිට්වරුන් පිරිසක් ජෙරුසෙලමට පැමිණීම නිසා ‘පල්ලියේ නයිට්වරුන්’ එහෙමත් නැත්නම් ‘දුප්පත් තාපස නයිට්වරුන්’ යන නමින් ජනතාව ඔවුන්ව හැඳින්වීමට පටන්ගන්නවා. නයිට්වරුන් නවදෙනෙකුගේ පෙළගැසීමෙන් ආරම්භ වූ ටෙම්ප්ලර් සංවිධානය මූල්‍යමය අතින් ඉතා පහළ මට්ටමක සිටි බව මුල්කාලීන ඔවුන්ගේ මුද්‍රා සලකුණ වූ එක් අසෙකු පිට නැගි නයිටුවන් දෙදෙනකු සහිත සලකුණ මගින් ද ඔප්පු වෙනවා.

 

ටෙම්ප්ලර් මුද්‍රාව

ටෙම්ප්ලර්වරුන්ගේ දුගීභාවය වැඩි කලක් තිබුණේ නැහැ. ප්‍රංශ ජාතික පූජකයෙකු මෙන්ම සිස්ටරිකන් (Cistercian Order) නම් පූජක නිකායේ නිර්මාතෘවරයෙකු ලෙස සැලකෙන ක්ලෙයාවෝක්ස් හි ශාන්ත බර්නාර්ඩ් ( Bernard of Clairvaux) නම් පූජකතුමා විසින් 1129 දී රෝමානු කතෝලික පූජක කවුන්සිලය ( Council of Troyes)වෙත ලිඛිතව දන්වා ටෙම්ප්ලර්වරුන්ට ආධාර උපකාර කරන මෙන් ඉල්ලා සිටියා.

 

ශාන්ත බර්නාර්ඩ්

ඊට පිළිතුරු විදියට ලොව පුරා කිතුණු බැතිමතුන්ගේ ආධාර උපකාර ටෙම්ප්ලර්වරුන් වෙත ගලා එන්න වුණා. විශේෂයෙන් වංශවත් ප්‍රභූන්ගේ නොමද ආධාර උපකාරයන්ට ටෙම්ප්ලර් සංවිධානය පාත්‍ර වුණා. වර්ෂ 1139 වනවිට එවකට පාප්වහන්සේ වූ Innocent II පාප්තුමා විසින් නිකුත් කරන ලද Omne Datum Optimum ආඥාපනත මගින් ටෙම්ප්ලර්වරුන් තවත් බලවත් කෙරුනා. එමගින් බදු නොගෙවා ඕනෑම දේශසීමාවක් හරහා ගමන් කිරීමට ටෙම්ප්ලර්වරුන්ට අධිකාරිය ලැබුණු අතර පාප්වහන්සේ හැර වෙන කිසිම බලාධිකාරයකට යටත් නොකල හැකි සුවිශේෂී බලයක් ඔවුන්ට හිමි වුණා.

 

ටෙම්ප්ලර්වරුන් කුරුස යුද්ධයේදී

කුරුස යුද්ධ වලදී ටෙම්ප්ලර්වරුන් ප්‍රධාන ප්‍රහාරක බළඇණි ලෙස කටයුතු කළා. ඔවුන්ගේ දියුණු ප්‍රහාරක ක්‍රම, යුධ අශ්වයින්, අවි ආයුද, ශක්තිමත් යුද ඇඳුම ආදිය නිසා ඔවුන් ඉක්මණින් යටත් කළ නොහැකි වුණා. 1177 දී ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන්වරයා වූ සලාදීන් (Saladin) ට එරෙහිව කෙරුණු මොන්ට්ගිසාර්ඩ් සටන (Battle of Montgisard) ටෙම්ප්ලර්වරුන්ගේ බිහිසුණු බව හොඳින්ම කියාපාන්නක්. එහිදී ටෙම්ප්ලර්වරුන් 500ක බළඇණියක් සමග දහස් ගණනක් වූ අනෙක් පාබළ සෙබළ බලඇණියක් සමගින් එක්වී 26000 ක් වූ ඉස්ලාම් බළඇණිය විනාශ කර දමා තියනවා.

 

මතු සබැඳි..

 

මීලඟ කොටසින් ටෙම්ප්ලර්වරුන්ගේ ව්‍යාප්ත වී යාම..

 

සටහන – ඉසුරු හිදැල්ලආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *