කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු – අවසන් කොටස

ටෙම්ප්ලර් නයිට්වරු ගැන කතා බහ කරන ලිපි මාලාවේ අවසන් ලිපිය.

ශුද්ධ වූ දේශය රකින්න දිවි හිමියෙන් කැප වූ ටෙම්ප්ලර් නයිට්වරු කුරුස යුද්ධ කිහිපයකින්ම පසු ජෙරුසෙලමේ බලය අහිමි කරගෙන යුරෝපයට පසු බැස්ස ආකාරය පසුගිය ලිපිවලින් අපි කතා කළා මතක ඇති. ඊට පස්සේ ප්‍රංශ රජුගේ කපටි වැඩ නිසා මිත්‍යාදෘශ්ටිකයින් විදියට හංවඩු ගහලා ටෙම්ප්ලර්වරුන් සමූලඝාතනයකට ලක්වුන ඛේදජනක ඉරණම ගැනත් අවසන් ලිපියෙන් අපි කතා කළා. දැන් අපි කතා කරන්නේ ඊට පසු කාලීනව මේ ටෙම්ප්ලර් සංවිධානයේ ඉරණම මොන වගේද කියලා.

 

VI වන පිලිප් රජුගේ (Philip IV of France) ටෙම්ප්ලර් ඝාතන මාලාවෙන් පසුව ඉතිරි වූ සැඟවගත් ටෙම්ප්ලර් නයිටුවන් සමකාලීන අනෙකුත් නයිට් නිකායන් සමග එක වුණා. හොස්පිටලර් නිකාය සමග අනුබද්ධ වීම වගේම තම සංවිධානයේ නම වෙනස් කරමින් අලුත් මුහුණුවරකින් ගමන් ආරම්භ කරන්නට වුණා. පෘතුගාලයේ කතෝලික අධිකරණ බලය හිමි Order of Christ සහ Supreme Order of Christ යන සංවිධාන මෙන්ම  වතිකානුවේ අධිකරණ බලය හිමි ශුද්ධ වූ කතෝලික සංවිධානය වන Holy See යන නාමයන්ගෙන් අදටත් තම සංවිධානය ඉදිරියට පවත්වාගෙන යමින් සිටින්නේ ටෙම්ප්ලර්වරුන්මයි.

 

order of Christ හි ලාංජනය

2001 වසරේ සැප්තැම්බරයේ ඉතාලි ජාතික පුරාවිද්‍යාඥවරියක් වන බාබරා ෆ්රේල් විසින් (Barbara Frale) විසින් වතිකානු රහස්‍ය ලේඛන (Vatican Secret Archives) අතර තිබී 1308 වසරේ අගෝස්තු මස 17- 20 කාල වකවානුවේ ලියන ලද “චිනන් පත්‍රිකා” (Chinon Parchment) නම් ලියවිල්ලක් සොයාගනු ලබනවා. එහි සඳහන් වන්නේ ටෙම්ප්ලර්වරුන් මිත්‍යාදෘශ්ටිකයන් ලෙස 1308 වසරේ දී නම් කළ බවත් 1312 වසර වනවිට සංවිධානය සම්පූර්ණ ලෙසම විසිරුවා හරිනු ලබන බවත් ය. 1308 අගෝස්තු 20 දාතම යුත් තවත් චිනන් පතක කියවෙන්නේ ටෙම්ප්ලර්වරුන් තමා කළ මිසදිටු කම් පිළිගත් බවත් එසේ පිළිගත් පිරිසකට නැවත පල්ලිය සමග එක් වී කටයුතු කිරීමට ඉඩ දෙන බවට පිලිප් රජු විසින් නියෝග කළ බවත් ය.

බාබරා ෆ්රේලෙ

කෙසේ නමුත් යුරෝපය පුරා ටෙම්ප්ලර්වරුන් හා ඔවුන්ට අයත් පල්ලි හා දේවස්ථාන පිළිබඳ පුරාවෘත බහුළව පවතිනවා. විශේෂයෙන් ප්‍රංශය, එංගලන්තය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉතාලිය, හන්ගේරියාව හා ඊශ්‍රායලය වැනි රට වලින් එවන් දෑ බහුලවම සොයා ගන්න පුළුවන්. එම රටවල් පුරා විසිරුණු ටෙම්ප්ලර්වරුන්ගේ සංඛ්‍යාව හරියටම ගණන් බලා නැතත් එය 15,000 ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් විය හැකි බව පැවසෙනවා.

චිනන් පත්‍රිකා

ප්‍රධාන ආචාර්‍යවරයා (Grand Master) යන තනතුර යටතේ පාලනය වූ ටෙම්ප්ලර් සංවිධානය තුල තවත් සංවිධාන මට්ටම් තුනක් තිබූ බව කියවෙනවා. එනම් වංශවත් නයිට්වරු, වංශවත් නොවන සැරයන්වරු සහ දේවගැතිවරු යන කොටස්. වංශවත් නයිට්වරුන් ගැන කතා කිරීමේදී ඔවුන් පරම්පරානුකූල නයිට්වරුන් වියයුතු යි. ඊට හේතුව නයිට්වර ප්‍රදානය කෙරෙන උත්සවාදිය ටෙම්ප්ලර් සංවිධානය තුල නොතිබීමයි. ඒ වාගේම නයිටුවන් හට තරමක විශාල අශ්වාරෝහක කණ්ඩායමක් ( heavy cavalry) අයත් වෙනවා. එය අශ්වයන් තුනක් හෝ හතරක් සහිතව සුළු සේවකයන් දෙදෙනෙකු පමණ ඇතුලත් කණ්ඩායමක් වෙනවා. මේ සුළු සේවකයන් සංවිධානයෙන් පිටත සිටින තාවකාලික පදනම යටතේ කුලියට බඳවාගනු ලබන සේවකයන්.

ටෙම්ප්ලර් නයිට්වරුන් සහ සැරයන්වරුන්

මීලඟ අංශය වන වංශවත් නොවන සැරයනවරු යුරෝපයේ වංශවත් නොවන පවුල් වලින් තමාට අනන්‍ය දක්ෂතා මත බඳවාගනු ලබන පිරිස්. ඔවුන් අතර වෙළෙන්දන්, කම්මල්කරුවන්, පෙදරේරුවන්, වඩුවන් වැනි විවිධ ක්ෂේත්‍රයෙහි නිපුණ පිරිස් එකතු කරනු ලැබුණා. අශ්වයෙකු ( light cavalry) පමණක් සපයනු ලැබූ සැරයන්වරුන් කුරුස යුද්ධයේදී අනෙක් නයිට්වරුන් සමග තම දායකත්වය ටෙම්ප්ලර්වරුන්ට ලබා දුන්නා. සැරයන්වරුන්ගේ ප්‍රධානී තනතුර කළු හෝ දුඹුරු ඇඳුමක් හැඳි කමාන්ඩර්වරයෙකු විසින් දරණු ලැබුවා. අවසන් සංවිධාන මට්ටම වන පූජකවරුන්  (chaplains) ටෙම්ප්ලර් සංවිධානය තුල ආධ්‍යාත්මික, ආගමික වතාවත් ඉටු කරමින් සංවිධානයේ  අනුශාසකත්වය දක්වනු ලැබුවා.

පූජකවරයෙක්, නයිට්වරයෙක් හා සෙසු නිලධාරියෙක් ඇතුලත් ටෙම්ප්ලර් කණ්ඩායමක්

පසු කාලීනව නයිට්වරුන්ට තම රුචි ඇදුම් ඇදීමට මෙන්ම භාවිත කිරීමට ඕනෑ තරම් අශ්වයින් සිටියත් මුල් කාලීන ටෙම්ප්ලර් නයිට්වරුන් ගේ ඇවතුම් පැවතුම් ගැන කතා කිරීමේදී ඉතා පුදුම සිතෙන කරුණු කාරණා රාශියක් මතු වෙනවා. සතියකට දෙතුන් වතාවකට වඩා අඩු වේල් ගණනක් මස් අනුභවයට ගනිමින් කාන්තාවන් සමග හෝ තමාගේම පවුලේ කිසිවෙකුත් සමග කිසිඳු සම්බන්ධතාවක් ඇතිකර නොගනිමින් තාපස ජීවිතයක් ගත කරනු ලැබුවා. පසු කාලීනව ප්‍රධාන ගුරුවරයෙකු යටතේ අශ්වයින් හතරදෙනෙකු, එක් පූජකවරයෙකු, අශ්වයින් තිදෙනෙකු සහිත ලිපිකරුවෙකු හා අශ්වයින් දෙදෙනෙකු සහිත සැරයන්වරයෙකු අනුයුක්තව කටයුතු කළා.

රැවුලුකාර ටෙම්ප්ලර්වරු

නයිට්වරුන් රතු කුරුසිය සහිත ප්‍රාවරයක් ඇඳි අතර සැරයන්වරු රතු කුරුසිය සහිත කළු ගාංචුවක් බැඳ දුඹුරු පැහැ ප්‍රාවරයකින් සැරසුණා. නයිට්වරුන් සුදු ප්‍රාවරය පැලඳීම චාරිත්‍රයක් කොටගෙන තිබුණේ දෙවන කුරුස යුධ කාලයේ පටන්මයි. රතු පැහැ කුරුස සලකුණෙන් දිවි පිදීම සංකේතවත් කෙරෙනවා. ආගම වෙනුවෙන් දිවි පිදීම නිසැක වශයෙන්ම ස්වර්ගයේ තැනක් හිමි කරන්නක් බව ඔවුන් අදහන්නක්. ඒ නිසා කුරුස යුද්ධයකදී මිය යාම ඉතා උතුම් දෙයක් ලෙස අතීත කතෝලික ප්‍රජාව සලකනු ලැබුවා. රැවුල වැවීම සම්බන්ධයෙන් ටෙම්ප්ලර්වරුන් හා බැඳි චාරිත්‍ර පශ්චාත් කාලීන යුගවල දී ඇති විය. සම්පූර්ණ වශයෙන් දික්ව රැවුල වැවීමට පෙළඹ සිටි ටෙම්ප්ලර්වරුන් ගණනාවක් 1310-1311 වකවානුවේ දී ප්‍රංශ රජු අත් අඩංගුවට ගත් බව කියැවේ.

 

Temple Underground Railway Station, London

අදට ද ටෙම්ප්ලර්වරුන් සමග සම්බන්ධ ස්ථාන, නාම ගණනාවක් (List of places associated with the Knights Templar) යුරෝපය පුරා පවතිනවා. මහා බ්‍රිතාන්‍යයට අයත් ලන්ඩනයේ පමණක් Temple Bar පිවිසුම, ටෙම්පල් උමං දුම්රිය නැවතුම (Temple Underground station) වැනි ස්ථාන මෙම නයිටුවන්ගේ නමින් අදටත් දැකිය හැකියි.

IGOT සංවිධානය

ටෙම්ප්ලර්වරුන්ගේ ආභාෂය ලද සංවිධාන ගණනාවක් අදටත් ලොව පුරා පවතී. International Order of Good Templars (IOGT) සංවිධානය මුල් කාලීන තාපස ටෙම්ප්ලර්වරුන් දුක්විදිමින් පිළුණු වූ කිරි බොමින් ගතකළ දුෂ්කර කාලය ගැන සිහි කරමින් අමද්‍යප හා මත්ද්‍රව්‍ය වලින් තොර වීම පිළිබඳව අද කාලයේ සමාජයට යහපත් සේවාවක් ඉටු කරයි. ටෙම්ප්ලර්වරුන්ගේ චාරිත්‍ර බොහොමයක් පිළිපදිනු ලබන ෆ්රීමේසන්වරුන්  (Freemasonry) විසින් පවත්වාගෙන යනු ලබයි.

Freemasons සංවිධානය

කෙසේ නමුත් ටෙම්ප්ලර් නයිට්වරුන් සම්බන්ධව බොහොමයක් අභිරහස් කරුණු අදට ද නිරාකරණය වී නැහැ. විශේෂයෙන් ඔවුන් ජෙරුසෙලමේ සිට පසු බසිද්දී රැගෙන එනු ලැබුවා යැයි පුරාවෘතයේ සඳහන් සොලමන් දේවාලයේ නිධන් වස්තු යුරෝපයේ කොහේ හෝ තැනක සැඟව ඇතැයි ඇතැමුන් විශ්වාස කරනවා. ටෙම්ප්ලර්වරුන් විසින් සොලමන් දෙවොලෙන් ගෙන එනු ලැබූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ අවසාන භෝජන රාත්‍රියේදී වයින් පානය කළ ‘ශුද්ධ වූ බඳුන’ (Holy Grail) සහ ගල පුවරු වල කොටන ලද ‘දස පණත’ ඇතුලත් මංජුසාව (Ark of the Covenant) වැනි පුරාවස්තු ඔවුන් එලෙස ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

National Treasure චිත්‍රපටය

මේ ඇතැම් පුරාවෘත අලලා ඓතිහාසික නවකතා වන IvanhoeFoucault’s Pendulum සහ The Da Vinci Code වැනි ග්‍රන්ථ ද චිත්‍රපට වන  National Treasure සහ Indiana Jones and the Last Crusade මෙන්ම වීඩියෝ ක්‍රීඩා වන  Broken Sword සහ Assassin’s Creed වැනි ඒවා නිර්මාණය කර තිබෙනවා.

 

කොටස් හතරකින් සමන්විත ටෙම්ප්ලර් නයිට්වරුන් ගැන ලිපි මාලාව මෙතෙකින් සමාප්තයි.

පෙර පළවූ කොටස් පහතින්..

සටහන – ඉසුරු හිදැල්ලආරච්චි

කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු?

කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු? – 2 කොටස

කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු ? – 3 කොටස

 

Post Author: Isuru Hidellaarachchi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *