කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු ? – 3 කොටස

ටෙම්ප්ලර් නයිට්වරුන් ගැන කතාබහ කෙරෙන ලිපි මාලාවේ තුන්වැන්න…

කතෝලික ආගම ආරක්ෂා කරන්න බිහිවුණ ටෙම්ප්ලර්වරුන් ශුද්ධ වූ දේශය, ඒ කියන්නේ ජෙරුසෙලම අතහැරලා දමලා එන්න වුණ හැටි පසුගිය ලිපි වලින් ඔයාලා කියවන්න ඇති. දැන් අපි කතා කරන්න යන්නේ යුරෝපයට පසුබැස්ස ටෙම්ප්ලර් කණ්ඩායමේ ඉරණම ගැන.

ක්‍රි.ව. 1305 දී අළුතින් පත් වුණ පාප්වහන්සේ වූ ප්‍රංශයේ අවිග්නොන් (Avignon) හි V වන ශුද්ධෝත්තම ක්ලෙමන්ට් පාප්තුමා  (Pope Clement V) විසින් එවකට ටෙම්ප්ලර් හි ප්‍රධාන ආචාර්‍යවරයා වූ ජැකස් ඩි මොලෙ (Jacques de Molay) සහ හොස්පිටලර් නයිටු නිකායේ ප්‍රධාන ආචාර්‍යවරයා වූ ෆල්ක් ඩි විලට් ( Fulk de Villaret) වෙත ලිපියක් මගින් දන්වා තිබුණේ නිකාය දෙකම එකතු වෙලා කටයුතු කිරීම පිළිබඳව සිතා බලන ලෙසට.

 

ටෙම්ප්ලර් ප්‍රධානී ජැකස් ඩි මොලෙ

නමුත් දෙපිරිසෙන්ම ලැබුණේ අයහපත් ප්‍රතිචාරයක්. තමන්ගේ අදහසේ දිගින් දිගටම සිටි පාප්තුමා වසර 1306 දී නයිටු නිකාය දෙකේම ප්‍රධාන ගුරුවරුන්ට ලිපි මගින් දන්වන්නේ වහාම තමන් සමග  සාකච්ජාවකට එන ලෙස. 1307 වසර ආරම්භ වීමත් සමග ඩි මොලෙ පාප්තුමා සමග සාක්ච්ඡා කිරීමට යනවා. නමුත් ඩි විලට් නයිට්වරයාගේ පැමිණීම මාස දෙකකින් පමණ ප්‍රමාද වන බව ආරංචි වන නිසා පාප්තුමා ටෙම්ප්ලර් ප්‍රධානියා සමග සංවිධානයෙන් නෙරපූ ඇතැම් නයිට්වරුන්ගේ ක්‍රියාවන් පිළිබඳව ප්‍රංශ රජුට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව දැනුවත් කරනවා.

 

ශුද්ධෝත්තම V වන ක්ලෙමන්ට් පාප්තුමා

නෙරපූ නයිටුවන් තවමත් ටෙම්ප්ලර් නාමය භාවිත කරමින් විවිධ දුරාචාර වල නිරත වන බව පාප්තුමා පැහැදිලි කරනවා. මේ පිළිබඳ එවකට ප්‍රංශයේ රජු වූ IV වන පිලිප් රජු (Philip IV of France) අවධානයෙන් පසුවන බවත් පැමිණිලි විභාග කිරීමට යන බවත් පාප්තුමා තවදුරටත් පැහැදිළි කරනවා. නමුත් සම්පූර්ණ නයිට් සංවිධානය කෙරෙහිම රජුගේ දැඩි අප්‍රසාදයක් ඇති බව පාප්තුමා කියා සිටිනවා.

ප්‍රංශයේ IV වන පිලිප් රජු

මේ තත්ත්වය විමසා බලන ඩි මොලෙ ට මෙය සිතාමතා තම සංවිධානය උගුලකට හසු කිරීමට යාමක් බවට වටහාගන්න වැඩි වෙලාවක් ගතවෙන්නේ නැහැ. වර්ෂ 1285 දී රාජ්‍යත්වයට පත්වන IV වන පිලිප් රජු ඔහුගේ අවසාන සටන වන නෝමන්වරු හා ඉංග්‍රීසීන් අතර ඇති වූ සටන සඳහා අධික වශයෙන් මුදල් ණයට ගනු ලබන්නේ ධනවත් ටෙම්ප්ලර් සංවිධානයෙන්. එ නිසා තම ණය බරින් බේරීමට ටෙම්ප්ලර්වරුන් විනාශ කිරීමට කරනු ලබන සැලසුමක් ලෙසට මෙය ඩි මොලෙ තේරුම් ගන්නවා. ඒ වගේම ප්‍රංශයෙන්ම පත් වූ නව පාප්වහන්සේට ද ටෙම්ප්ලර්වරුන් මර්දනය කිරීම කෙරෙහි රජුගේ දැඩි පීඩනයක් එල්ලවෙන බව ඩි මොලෙ ට පෙනී යනවා.

 

යක්ෂ වන්දනාවේ යෙදෙන ටෙම්ප්ලර්වරු

අවසානයේ 1307 වසරේ ඔක්තෝබර් 13 වැනි සිකුරාදා දිනක IV වන පිලිප් රජු විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනවා. ඒ, ඩි මොලෙ ඇතුළු ටෙම්ප්ලර් නයිට්වරුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින්. “Dieu n’est pas content, nous avons des ennemis de la foi dans le Royaume” (දෙවියන්වහන්සේ සතුටු නැත. රාජ්‍යයේ භක්තිමත් බවට එරෙහිව සතුරන් අපට සිටී) යනුවෙන් ආරම්භ වන එම ආඥාව ඔස්සේ ක්‍රියාත්මක වී ඩි මොලෙ ඇතුළු ටෙම්ප්ලර්වරුන් බොහෝදෙනෙක් අත්අඩංගුවට පත් වෙනවා. මෙලෙස ටෙම්ප්ලර්වරුන් අත්අඩංගුවට ගැනීමට චෝදනා ලෙස කරුණු ගණනක් ගොනු කරනවා.

 

v වන ක්ලෙමන්ට් පාප්තුමා ටෙම්ප්ලර්වරුන්ට විරුද්ධව චෝදනා විභාග කිරීම

ටෙම්ප්ලර් උත්සවාදියෙහි හා නවකයින් බඳවාගැනීමේ දී සාමාජිකයන් ලවා ශුද්ධ වූ කුරුසිය මත කෙළ ගැසීමට සැලැස්වීම, ව්‍යාභිචාරී ක්‍රියාවන්ට අනුබල දීම, ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කිරීම, අශ්ශීල සිප ගැනීම සහ සමලිංගික ක්‍රියාවන් සිදු කිරීම මෙන්ම යක්ෂයා වන්දනාමාන කිරීම වැනි කරුණු ගණනාවක් ටෙම්ප්ලර්වරුන්ට එරෙහිව පෙළගස්වනු ලබනවා. මේවාට අමතරව මූල්‍ය වංචා, රැවටීම් හා සංවිධානයේ රහසිගත භාවය වැනි කරුණු සම්බන්ධවත් ඔවුන් චෝදනා ලබනවා.

බැප්හොමෙට්

පිලිප් රජු විසින් සිදු කරනු ලැබූ අතිශය කෲර වධ බන්ධන යටතේ නයිට්වරුන් ඇතැමෙක් මේ චෝදනා බලෙන් පිළිගනු ලබනවා. විශේෂයෙන් ටෙම්ප්ලර් ආරාම තුල සාතන්ගේ නියෝජනයක් වන ‘බැප්හොමෙට්’ (Baphomet) නම් දේව වන්දනාව සිදු කරන බවට වූ චෝදනාවත් සමග බොහෝ කිතුණුවන් තුල ටෙම්ප්ලර්වරුන් කෙරෙහි තිබූ පැහැදීම නැතිව යනවා. කෙසේ නමුත් වසර 1307 නොවැම්බර් 22 ක්ලෙමන්ට් පාප් තුමා විසින් නිකුත් කරන ලබන ආගමික ආඥාවක් මගින් සියළුම ටෙම්ප්ලර්වරු අත් අඩංගුවට ගන්නා ලෙසත් ඔවුන් සතු දේපළ රාජසන්තක කරන ලෙසත් නියෝග කරනවා. මෙලෙස අත් අඩංගුවට ගන්නා ටෙම්ප්ලර්වරුන් මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස සලකමින් ඊට දඬුවම වන පණ පිටින් පුළුස්සා දැමීමට ලක් කරනවා. ටෙම්ප්ලර්වරුන්ට අයත් වස්තුව බොහෝමයක් හොස්පිටලර් වැනි අනෙකුත් නයිටු නිකායන්ට අයිති වෙනවා.

ටෙම්ප්ලර්වරුන් පණ පිටින් පිළිස්සීම

ටෙම්ප්ලර් ප්‍රධානියා වූ ඩි මොලෙ, කෲර වධ බන්ධන යටතේ බලහත්කාරයෙන් චෝදනා පිළිගැනීම නිසා 1314 මාර්තු මස 18 දින පණපිටින් පුළුස්සා මරා දමනවා. එහිදී ඔහුගේ අවසාන ඉල්ලීම වන්නේ නොතර්දාම් පල්ලිය පේන මානයේ යාඥා කරන ඉරියව්වෙන් තම දෑත් බැඳ දමා මරා දමන්න කියාය. ජනප්‍රවාදයේ කියවෙන විදියට ඩි මොලෙ තමාව වටකරගෙන තියන ගිණි දළු අතරින් කෑගහලා පාප්තුමාටත් රජුටත් සාප කරලා තියනවා. ඉතා ඉක්මණින්ම දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුන් දෙදෙනා තමාට හමුවෙනු ඇතැයි ඔහු කෑ ගසා කියමිනුයි මරණයට පත් වී ඇත්තේ.

ජැකස් ඩි මොලෙ පිළිස්සීම

දෙවියන්වහන්සේ නිවැරදිකරුවා කවුද යන්න දන්නා බවත් වැරදිකරුවන්ට ඉතා ඉක්මණින් දඬුවම් ලැබෙන බවත් යන්නයි ඔහුගේ අවසාන වචන කීපය. අහඹුවක්ද ශාපය පළදීමක් ද යන්න සිතා ගන්නට නොහැකි වන ආකාරයෙන් පාප්තුමාගේ සහ රජුගේ ඉරණම ඩි මොලෙ කියූ විදියටම විසඳෙනවා. ඒ ක්ලෙමන්ට් පාප්තුමා මෙම සිදුවීමෙන් මසක් ගතවෙන්නත් කලින් මිය යාම නිසා සහ IV වන පිලිප් රජු එම වසර අවසාන වීමටත් ප්‍රථම දඩයමේ යාමේදී සිදුවූ අනතුරකින් මරණයට පත් වීමෙන්.

 

Jason Voorhees නම් බිහිසුණු චරිතය රැගත් Friday the 13th චිත්‍රපට මාලාවේ චිත්‍රපටයක්

එපමණක් නෙවෙයි. අද ඔබ අපි නරඹන බොහෝමයක් භයානක හොලිවුඩ් චිත්‍රපට වලට පාදක වූ 13 වැනි සිකුරාදා –  Friday the 13th යන සංකල්පය පැවතගෙන එන්නේත් මේ ටෙම්ප්ලර් නයිට්වරුන් අත් අඩංගුවට ගන්න පිලිප් රජු විශේෂ ආඥාව නිකුත් කරපු ඔක්තෝබර් 13 වැනිදා නිමිතිකොට ගෙන බව ඔබ දන්නවා ද? පුදුමයි නේද?

 

මතු සබැඳි..

සමූල ඝාතනයෙන් බේරුනු ටෙම්ප්ලර් නයිට්වරු මීලඟ ලිපියෙන්..

 

සටහන – ඉසුරු හිදැල්ලආරච්චි

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *