කවුද මේ ටෙම්ප්ලර් නයිට්වරු? – 2 කොටස

පසුගිය කොටසින් ටෙම්ප්ලර් නයිට්වරුන්ගේ ආරම්භය ගැන අපි කතා කළා මතක ඇති. මේ ලිපිය ඔවුන්ගේ ව්‍යාප්ත වීම ගැන…

ආරම්භයේදී ඉතා දුගී ලෙස සිටි ටෙම්ප්ලර්වරුන් පසුව කතෝලික ප්‍රජාවගෙන් ගලා ආ ආධාර උපකාර නිසා ධනවත් වුණ බව පහුගිය ලිපියෙන් ඔයාලා කියෙව්වානේ. ටෙම්ප්ලර්වරුන් සංවිධානයක් විදියට ශක්තිමත් වෙද්දී ඔවුන්ට තම සංවිධානය නිසි ලෙස කළමනාකරණය කරගන්න ඕන වුණා. මූලිකවම පුහුණු යුධ ඒකකයක් විදියට සංවිධානය ස්ථාපිත වුණත් පසුව මූල්‍ය කළමනාකරණය, නයිට්වරු පාලනය කිරීම වගේ කරුණු වලට වෙනම මණ්ඩලයක් පත් කෙරුණා. සංවිධානයේ ප්‍රධානියා විදියට එක් නයිට්වරයෙකු පත් කෙරුණා. ඔහු ප්‍රධාන ගුරුවරයා (Grand Masters of the Knights Templar) ලෙස හැඳින්වුවා.

 

ටෙම්ප්ලර් Grand Master වරුන්ගේ සංකේත

 

ඩෑන් බ්‍රවුන්ගේ ඩ වින්සි කෝඩ් (The Da Vinci Code) පොතේ ‘ප්‍රයරි ඔෆ් සයන්’ සංවිධානයේත් මේ ප්‍රධාන ගුරුවරයා කියන තනතුර ගැන සඳහන් වෙනවා ඔබට මතක ඇති. ඒ වගේම තවත් රහස් සංවිධානයක් වන ‘ෆ්රීමේසන්වරුන්’ අතරත් මේ Grand Master කියන තනතුර පවතිනවා. ඒ සංවිධාන සියල්ලම වගේ මේ ටෙම්ප්ලර් නයිට්වරුන්ට සම්බන්ධතා දක්වන බවයි කියවෙන්නේ. ෆ්රීමේසන්වරු හා ප්‍රයරි ගැන අපි ඉදිරියට කතා කරමු.

 

ටෙම්ප්ලර් බැංකුවක්

මේ ටෙම්ප්ලර්වරුන් ලොව පළමු මුදල් තැන්පතු ක්‍රමය, එහෙමත් නැත්නම් බැංකු ක්‍රමය ආරම්භ කළා කිව්වොත් ඔබ පුදුම වෙනවා ද? නමුත් ඒක ඇත්ත. කුරුස යුද්ධයට යාමේදී වංශවත් ධනපති සෙන්පතියන්, ආදිපාදවරුන් ආදිය තමන්ගේ රන්, රිදී, මුතු, මැණික්, මුදල් ආදිය ටෙම්ප්ලර්වරුන් භාරයේ සුරක්ෂිතව තබා ගියා යුද්ධය අවසන්වී පැමිණ නැවත ගන්න තෙක්. ඒ වෙනුවෙන් ඔවුන් තැන්පතු ලියවිල්ලක් ලබා දුන් බවත් සඳහන් වෙනවා. පසු කාලයක එම ලියවිල්ල ඉදිරිපත් කරන තැනැත්තාට එහි සඳහන් වස්තුව ආපසු ලැබෙනවා. මෙසේ ඒවා ආරක්ෂා කරනවාට ඔවුන් සුළු පොළියකුත් අය කළ බව කියවෙනවා. මෙය අද භාවිත වන බැංකු ක්‍රමයට හා චෙක් ක්‍රමයට ඉතා සමානයි. එමගින් ටෙම්ප්ලර්වරුන් තවත් ධන්වතුන් බවට පත් වුණා වගේම ඔවුන්ගේ මූලස්ථානය වූ සොලමන් දෙවොලේ වස්තුව ඉතා විශාල වශයෙන් ගබඩා කර තැබීමටත් සිදුවුනා.

ටෙම්ප්ලර්වරුන්ගේ නෞකා

මීලඟට ඔවුන් තමන් සතු වූ ධනය හා ලැබෙන පරිත්‍යාග විවිධ ව්‍යාපාර වල ආයෝජනය කරන්න පටන්ගත්තා. යුරෝපයේ, මැදපෙරදිග මෙන්ම ආසියාව දක්වා ඔවුන්ගේ වෙළඳ කටයුතු ව්‍යාප්ත වුණා. ඔවුන් තමන්ගේම නාවුක ජාලයක් ඔස්සේ භාණ්ඩ ආනායන අපනයන හැකියාව වර්ධනය කරගත්තා. එක් වකවානුවක සයිප්‍රස් දූපත (Cyprus) ඔවුන් සතුව තිබුණා. ඉතිහාසඥයන් හඳුන්වන විදියට ටෙම්ප්ලර්වරු තමයි පළමුවරට අන්තර්ජාතික වෙළඳාම ආරම්භ කරලා තියෙන්නෙත්.

 

ශ්‍රේෂ්ඨ සලාදීන්

12වන සියවස මැද භාගය වෙනකොට නැවතත් කුරුස යුද්ධයක් හිස ඔසවමින් තිබුණා. නමුත් පෙරට වඩා මෙවර ඉස්ලාම් කොටස් සලාදීන් (Saladin) වැනි ශූර රජවරුන් යටතේ සංවිධානය වෙලා තිබුණේ. ඒවගේම ක්‍රිස්තියානිවරුන් අතර විවිධ මතභේද ඇතිවී තිබුණු කාලයක් ඒක. ටෙම්ප්ලර්වරුන් පවා තවත් ඔවුන් වැනිම නයිටු සංවිධාන වන හොස්පිටලර්  (Knights Hospitaller) හා ටියුටොනික් (Teutonic Knights) සමග බලය තහවුරු කරගැනීම සඳහා ගැටෙන්නට වුණා.

 

ටියුටොනික් නයිට්වරුන්

ටෙම්ප්ලර්වරුන් ඉතා අසාර්ථක ලෙස මුහුණ දුන් ‘හැටින්’ සටනේදී  (Battle of Hattin) ඔවුන් සලාදීන් ප්‍රමුඛ ඉස්ලාම් හමුදාවන් අතින් අන්ත පරාජයක් ලැබීම නිසා 1187 දී ජෙරුසෙලමේ බලය නැවතත් මහමදිකයන් අතට පත් වුණා.

 

සලාදීන් හමුදා වල ජයග්‍රහණය

කෙසේ වෙතත් හයවැනි කුරුස යුද්ධයේදී ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයා වූ II වන ෆෙඩ්‍රික් (Frederick II) විසින් 1229 දී ටෙම්ප්ලර්වරුන්ගේ සහයක් නොමැතිවම ජෙරුසෙලම නැවතත් කතෝලික ග්‍රහණයට නතු කරගත්තා. නමුත් ඒ සඳහා ඔහුට දශක දෙකකටත් මදක් වැඩි කාලයක් ගත වුණා. නමුත් නැවතත් 1244 දී සුන්නි මුස්ලිම් රාජවංශයට අයත් වූ ‘අයුබිඬ්වරුන්’ සහ පර්සියානු සම්භවය සහිත ‘ක්වරෙස්(z)මිඬ්’ කුලී හේවයීන්ගෙන් සැදුම්ලත් මහා හමුදාවක් මගින් ජෙරුසෙලම තම යටතට ගනු ලැබීමෙන් අනතුරුව නැවතත් එය යුරෝපීන්ට ලැබෙන්නේ 1917 දී  පළමු ලෝක යුද්ධයේ දී  (World War I) තුර්කියේ ඔටෝමාන් අධිරාජ්‍යයා ( Ottoman Empire) පරාජය කිරීමත් සමගය.

රෝමානු අධිරාජ්‍යයා වූ II වන ෆෙඩ්‍රික්

තම භූමිය අහිමි වී යාමත් සමග ටෙම්ප්ලර්වරුන් ජෙරුසෙලමෙන් උතුරුදිග ඊශ්‍රායලයේ වරාය ආශ්‍රිත නගරයක් වන ‘ඒකර්’ (Acre) වෙත පසුබසිනවා. එම භූමියත් සතුරන් අතට පත් වූ පසු ඔවුන් අද සිරියාවේ ( Syria) ‘ටාර්ටස්’ (Tartus) නමින් හැඳින්වෙන ‘ටෝටොසා’ (Tortosa) ප්‍රදේශයේ තම මූලස්ථානය පිහිටුවා ගනු ලබනවා. එතැනිනුත් ඔවුන් සයිප්‍රසය බලා පසුබසින අතර එහි ‘ලිමසොල්’(Limassol) ප්‍රදේශයේ කඳවුරු බැඳ ගනිමින් හුදකලා කුඩා දූපතක් වූ   Arwad Island හි තම යුද බලකොටු ගොඩනැගීමට උත්සාහ ගන්නවා. අනතුරුව 1302 1303 කාලය තුල එවකට ඊජිප්තුවේ සුල්තාන්වරයාගේ ආක්‍රමණ හේතුවෙන් ටෙම්ප්ලර්වරුන්ට ශුද්ධ වූ දේශයෙන් තම අවසන් පියවරත් ඉවතට තබන්නට සිදු වෙනවා.

 

ටෙම්ප්ලර්වරුන් ශුද්ධවූ දේශය හැර යාම

යුද්ධය අවසන් වීමත් සමග ටෙම්ප්ලර්වරුන්ගේ පිරිහීමද ආරම්භ වුණා කිව්වොත් නිවැරදී. නමුත් ඔවුන් තවමත් ලොව පුරා පැතිරුණු කතෝලික ප්‍රජාවගේ මූලික කොටසක් වෙලා හමාරයි. ඊට හේතුව යුරෝපය පුරා ටෙම්ප්ලර් දේවස්ථාන විසිරී පැතිරී තිබීම වගේම යුරෝපය පුරා ආර්ථිකටයේ සැලකිය යුතු කොටසක් ඔවුන්ට අයත් වී තිබීම. ටෙම්ප්ලර් බැංකු, ගොවිපොළ, වයින් සෑදීම සඳහා වූ මිදි වතු වැනි ව්‍යාපාර ඔවුන්ට අයත්ව තිබුණා.

 

ටෙම්ප්ලර්වරුන්ට අයත් සැඩ්ල්ස්කොම්බ් ගොවිපොළ

එමෙන්ම ඔවුන් යුරෝපය පුරා ස්ථාවර හමුදාවක් (standing army) ලෙසින් කටයුතු කළා. ඔවුන්ට දේශසීමා හරහා බාධාවකින් තොරව ගමන් කිරීමේ ඇති වරය නිසා ඔවුන් ඒ විදියට යුරෝපය පුරා ගමන් කරමින් සුළු සුළු ගැටුම් මැඩපැවැත්වූවා. අර රොබින් හුඩ් ටෙලියෙත් ටෙම්ප්ලර් නයිට්වරු එංගලන්තයට එන්නේ ඒ විදියට තමයි. යුද්ධ කිරීම වෙනුවට ඔවුන් අනෙකුත් නයිට් නිකායන් පසුකාළීනව පල්ලිය සමග එකතු වෙලා නිකායන් හදාගත්තා වගේ ටෙම්ප්ලර් නිකාය ආරම්භ කරලා දේවස්ථාන පවා ඇති කළා.

 

මතු සබැඳි..

ටෙම්ප්ලර්වරුන්ට අත් වූ යුරෝපා ඉතිහාසයේ කෲරතම ඉරණම මීලඟට..

 

සටහන – ඉසුරු හිදැල්ලආරච්චි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *