ඔටිසම් (Autism) – පුංචි සිත් රිදවන නපුරු රාක්ෂයා

පුංචි ළමයි හරියට පුදින්න පෙරුම් පුරන කැකුළු මල් වගෙයි. මේ කැකුළු මල් නටුවෙන් කඩා දමන්න ලෑස්ති වෙන නපුරු රාක්ෂයෙක් තමයි ඔටිසම් (Autism)  රෝගය. දැන් දැන්  නිතරම සමාජයේ මේ රෝගය පිලිබදව කතාබහට ලක් වෙනවා. ඔටිසම් රෝගී දරුවෝ දකින්නට ලැබෙනවා. මෙම රෝගය,දැනට ලෝකයේ වැඩි වන ප්‍රවනතාවයක් සහිත සෞඛ්‍යයට බලපාන  මුලික රෝග තත්වයන්ගෙන්  පහෙන් එකක්.

ඔටිසම් කියන්නේ දරුවකුගේ මොලයේ ඇතිවෙන අසාමාන්‍ය තත්වයක්. මෙය කුඩාකල සිටම දරුවාගේ සන්නිවේදනය බාධා එල්ල කරමින් ළමා මනසට වධ දෙනවා.  ස්නායු පද්ධතියේ වර්ධනයේ සිදුවන වෙනස්වීම ඔටිසම් රෝගයේ මුලික ලක්ෂණයක්. දරුවෙකුගේ වර්ධනයත් සමග ලැබෙන අත්දැකීම් හා උත්තේජන ස්නායු අතර සබදතාවය ගොඩනගන්න උපකාරී වෙනවා. සාමාන්‍ය දරුවකුගේ නම් මෙම ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදුවෙලා ස්නායු අතර සම්බන්ධය මනාව වර්ධනය වෙනවා.  එත්,ඔටිසම් රෝගයට ගොදුරු වුන දරුවෙකුගේ මොළයේ ස්නායු සම්බන්ධතා ගොඩනැගීමේ  දුර්වල තත්වයන් දකින්න පුළුවන්. මේ හින්දා ස්නායු පථය නිසියාකාරයෙන් ගොඩනැගෙන්නේ නැහැ. මේ තත්වය නිසා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය මන්දගාමී කරන්න බලපානවා. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතුවලදී ඔවුන් පසුබෑමකට ලක්වෙනවා. කියවීම,ලිවිම, ගණිතය මෙන්ම ක්‍රියාකාරකම් කිරීමේදී මෙය ඉස්මතු වෙනවා. මෙම දරුවන් මිත්‍රශීලි නොවීම,තනිව සෙල්ලම් කිරීම, අන් අයගේ හැගීම් , ප්‍රකාශ හදුනා ගැනීමට අපහසු වීම, හේතු රහිතව සිනාසීම හෝ ඇඩිම , තම හැගීම් ප්‍රකාශ කිරීමේ අපහසුව ආදි ලක්ෂණ පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාවෙත් ඔටිසම් රෝගී දරුවන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට පුළුවන්. වසරකට උපත  ලබන ලාංකික දරුවන්ගෙන් 1% කට මෙම රෝගි තත්වය පැවතිය  හැකිබව  දැනට සොයාගෙන තිබෙන බව පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ  අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා. ශ්‍රී ලංකාවේ සිදුවන දරු උපත් 375,000 සිදුවන අතර එයින් දරුවන් 3750කට මෙම රෝගය ඇතිවෙන බව ඇය වැඩි දුරටත් පවසනවා. මෙය බරපතල තත්වයක්. ඔටිසම් රෝගය පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් අතර 4:1 අනුපාතයකින් දක්නට ලැබෙනවා. ඒ අනුව මෙම  රෝගය පිරිමි ළමුන්ට වැළදීමට ඇති ඉඩකඩ වැඩියි.

 

 

ඔටිසම් මුලික ලක්ෂණ හෙවත් රතු සංඥා ලක්ෂණ (Red flag signs) පෙන්නුම් කර අවධීන් තිබෙනවා.

 

  • මාස 12ක් වනවිට දරුවාගේ බහ තේරීම ප්‍රමාද වීම.
  • මාස 12ක් වනවිට ඇගිල්ලක් දිගුකර තම අවශ්‍යතා ප්‍රකාශ නොකිරීම.
  • මාස 16ක් වනවිට දරුවා තනි වචන කථා නොකිරීම.
  • මාස 24ක් වනවිට දරුවා වචන දෙකේ වාක්‍ය නොපැවසීම
  • ඕනෑම අවධියකදී දරුවා ලබා ගත කුසලතා අහිමි වීම.

 

ඒ අනුව,ඔටිසම් තත්වයේ මුලික කාණ්ඩ දෙකක් අදුනා ගන්න පුළුවන්.

 

  1. සමාජ සම්බන්ධතාවයේ හා සන්නිවේදන ගැටළු.
  2. සීමිත ප්රියතාවයන් හා අසාමාන්‍ය ක්‍රියාකාරී බව

 

ඔටිසම් යනු මන්ද මානසික රෝගී තත්වයක් නොවන බව අපි කවුරුත් වටහා ගත යුතුයි. මෙම රෝගයේදී මුලිකවම අසීමිත සංවේදිතාවයකට හුරු වෙනවා. මෙය ඇතැම් දරුවන්ට උපරිම තත්වයක් ලෙසත්, ඇතැම් දරුවන්ට අවම තත්වයක් ලෙසත් දකින්න පුළුවන්. එකම ක්‍රියාවේ යෙදන්නත්, එකම දෙයක් ගැන කථා කරන්නත්,  එකම දෙයක් දෙස බලා සිටීමටත් මොවුන් පෙළඹෙනවා. මෙම ලක්ෂණය වයසින් වර්ධනය වන විටත් නොවෙනස්ව පැවතීම ඔටිසම් රෝගී දරුවන්ගේ ප්‍රධාන ලක්ෂණයක්. තම සිටින පරිසරය පිලිබදව හැගීමක් හෝ අවබෝධයක් නොමැති නිසාත්,  තම අදහස් ප්‍රකාශ කිරීමේ දුර්වල බව නිසාත්, මෙම දරුවන් අසාමාන්‍ය හැසිරීමක් දක්වනවා.

 

ඔටිසම් රෝගයේ විවිධ රෝගී පරාසයන් දක්නට ලැබෙනවා. ඇතැම් දරුවන් ඔටිසම් රෝගී ලක්ෂණ මද වශයෙන් දක්වද්දී, ඇතැම් දරුවන් බරපතල අන්දමින් මෙම රෝගයට ගොදුරු වෙනවා. මෙම දරුවන්ට තිබෙන ප්‍රබලතම ගැටලුව වන්නේ , අධ්‍යාපනය ලැබීමේදී ඇතිවන දුෂ්කරතා. දරුවාගේ මානසික මට්ටම හදුනාගත නොහැකිවීම නිසා  ගුරුවරුන් අතරින් මෙම දරුවන් ප්‍රතික්ෂේප විය හැකියි. අන් දරුවන්ට හා සමානවම මෙම දරුවන්ටද අධ්‍යාපනය ලැබීමේ අයිතිය තියෙනවා.  මෙම දරුවන්ගේ දක්ෂතා හදුනා ගනිමින් ඔවුන්ගේ අනාගතය සුබදායි අන්දමින් ගොඩනැගීමට සැවොම එක්වී ක්‍රියා කලයුතුයි.

 

ශ්‍රී ලංකාවේ ඔටිසම් රෝගී තත්වය දිනෙන් දිනම වර්ධනය වෙනවා. ඔටිසම් රෝගය පිලිබදව පුර්ණ දැනුවත්භාවය ඇති කරගැනීම මෙම තත්වයට ඇති එකම පිළියමයි. ශ්‍රී ලංකා රජය විසින් මෙම දරුවන්ගේ සුබ සාධනයට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. පාසල් තුලම විශේෂ අධ්‍යාපන ඒකක පිහිටුවීම මෙන්ම, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ නිපුණතා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. උදහරණයක් විදියට වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින නිපුණතා සංවර්ධන මධ්‍යස්ථාන 19ක් තිබෙනවා. ඔටිසම් රෝගය ජයගත් පුද්ගලයින් ද ලෝකයේ සිටිනවා. ඉතින්, මෙම රෝගය පිලිබදව මනා දැනුවත්බවක් ලබාගනිමින්, එම දරුවන් සමාජයට වැඩදායි පුද්ගලයින් ලෙස ඉදිරියට පැමිණීමට අවස්ථාව සලසාදීම කාලින අවශ්‍යතාවයක්.

 

 

මුලාශ්‍ර :2017 ජනවාරි දෙසතිය සගරාව, අන්තර්ජාලය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *