ඇමර්ස්ට්ස් භූත නිවසේ අභිරහස

ඔබ අවතාර දැක තිබේ ද? ඔබ හොල්මන්, අවතාර විශ්වාස කරනවා ද? ඔබේ නිවසට එවන් භයානක ආත්මයක ඇල්ම බැල්ම වැටුණොත් ඔබ කුමක් කරන්නේ ද? යම් හෙයකින්, ඔබ අදහන ආගම ධර්මයට පවා ඉන් මිදීමට පිහිටක් ලැබෙන්නේ නම්..

ලෝකයේ සිදුවන විවිධාකාර අසාමාන්‍ය සිදුවීම් අතරින් හොල්මන් අවතාර සම්බන්ධ සිදුවීම් වලට ලැබෙන්නේ ඉහළම තැනකි. එම නිසාම එවන් සිදුවීම් පිළිබඳ කතාන්තර ඉක්මනින්ම මිනිසුන් අතර පැතිර යනවා මෙන්ම ඉක්මනින්ම ජනප්‍රියත්වයට ද පත් වේ. තවද ඒ ඇසුරින් විවිධ පොත් පත්, චිත්‍රපට, ටෙලිනාට්‍ය ආදිය බිහි වේ.

මෙවන් ගුප්තවූත් අතිශය අසාමාන්‍ය වුත් සිදුවීම් මාලාවක අරම්භය සනිටුහන් වන්නේ කැනඩාවේ නොවා ස්කොටියා හි ඇම්ර්ස්ට්ස්  (AmherstNova ScotiaCanada) නගරයෙනි. ලොව අද වන විට ගුප්ත විද්‍යා පර්යේෂකයින් ගේ අවතාර වර්ග කිරීම් වලට අනුව “වැලපෙන භූතයන්” ( poltergeist ) ලෙසින් හදුන්වන භූතයන්ගේ බලපෑමට ලක්ව මෙම නගරයේ ජීවත් වූ එස්තර් කොක්ස් නම් වූ කාන්තාව සම්බන්ධව සිදු වූ සිදුවීම් දාමය සලකා බැලිය යුත්තකි.

එස්තර් කොක්ස්

18 වන සියවසේ අගභාගයේ උපත ලැබූ එස්තර් කොක්ස් ජීවත් වූයේ තම විවාහක සොයුරිය වූ ඔලිව් කොක්ස් (පසුව ඔලිව් ටීඩ්) ගේ කුඩා නිවසෙහි ය. දරුවන් දෙදෙනෙකුගේ මව වූ ඔලිව් සිය ස්වාමිපුරුෂයා ඩැනියෙල් ටීඩ් සමග  ඩැනියල්ගේ සොයුරා වූ ජෝන් ටීඩ් ද සමග මෙම නිවසේ ජීවත් වී ඇත.

වයස අවුරුදු 18 ට පා තබද්දී එස්තර් තම මිතුරෙකු අතින් ලිංගික අපහරණයට ලක්වීමත් සමග අධික මානසික පීඩනයට පත් වූ ඇගේ ජීවිතයේ අඳුරු කාලපරිච්ජේදය ආරම්භ වීම සිදු වී ඇත. නිවසේ නිදා සිටින එස්තර්ට දොරට පහර දීම්, යම් යම් බඩුමුට්ටු බිමට වැටීම්, වැනි විවිධ ශබ්ද ඇසෙන්නට ගන්නේ ඉන් අනතුරුව ය. එමෙන්ම එස්තර් නොදැනීම ඇගේ ශරීරයේ විවිධ රෝගාබාධ ආදිය ඇතිවීම, අත පය ඉදිමීම වැනි තත්ත්වයන්ට ඇයට නිරන්තරයෙන්ම මුහුණ පෑමට සිදු වේ.

 

ඇමර්ස්ට්ස් නිවස

මෙහි ඉතා අසාමාන්‍යතම සිදුවීම වනුයේ කොක්ස් නිවසේ බඩු භාණ්ඩ ආදිය ඉබේම අවකාශයේ පියඹා යාම, බිම වැටී සුණුවිසුණු වී යාම වැනි දේ සිදුවීමයි. අනතුරුව ගෙදරට ‘අරක්ගත් භූත ආත්මය’ විසින් නිවැසියන් අමතා කතා කිරීම, විවිධ පණිවිඩ ලබා දීමට තැත් කරන අවස්ථාවන් නිරන්තරයෙන් ඇතිවීමට පටන්ගෙන ඇත. වරෙක එස්තර් ඉතා තදබල ලෙස උණ ගැනීම නිසා ඇයට ප්‍රතිකාර කිරීමට දොස්තරවරයා පැමිණි විටකදී ඔහු බලා සිටියදීම එස්තර්ගේ මුහුණේ සීරීම් ඇති වී ඇත. එමෙන්ම විවිධ කෙඳිරිළි හඬවල් වලින් තර්ජනාත්මක ඇමතුම් මෙන්ම එස්තර් නිදා සිටි ඇඳ ඉස්මත්තේ වූ බිත්තියෙහි “එස්තර් කොක්ස්, උඹව මරන්නේ මමයි” යනුවෙන් දර්ශනය වී ඇති බව ද කියැවේ.

කොක්ස් සොයුරියන් – ඔලිව්, එස්තර් හා ජෙනී

වරෙක එස්තර් ගලපටලය රෝගය උත්සන්න වී සති දෙකක පමණ කාලයක් ඇඳටම සීමා වී ගත කළ කාලය තුල කිසිඳු අද්භූත සිදුවීමක් වාර්ථා වී නොමැති බැව් කියැවේ. එමෙන්ම ඈ සැක්විල් හි (Sackville, New Brunswick) තම තවත් විවාහක සහෝදරියකගේ නිවසේ ගත කළ කාලය ඉතා සාමකාමීව ගෙවී ඇත. කෙසේ නමුත් ඈ පෙරළා ඇම්ර්ස්ට්ස් පැමිණි පසු සුපුරුදු ලෙස අද්භූත දෑ ඈ වටා සිදුවීමට ආරම්භ වන්නේ පෙරටත් වඩා භයානක අයුරිනි. මෙවර සිදුවන සුවිශේෂ සිදුවීම් වන්නේ නිවසේ වරින් වර ගිනි ගැනීම් ඇතිවීමයි.

 

ඇමර්ස්ට්ස් කොක්ස් නිවසේ අද්භූත සිදුවීම් චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්

1879 වසරේ දී වෝල්ටර් හබල් නම් පර්යේෂකයා එස්තර් සම්බන්ධ සිදුවීම පිළිබඳ සොයා බැලීමට පැමිණෙන අතර ඒ වන විට ඇය භූත ආත්මයේ දැඩි බලපෑමට ලක්ව ඇති අවධියක් වේ. ඒ වන විට අවතාරය විසින් එස්තර්ට පහර දීම, සීරීම, තල්ලු කිරීම මෙන්ම භයානක අයුරින් පසුපසින් පැමිණ පිහියකින් ඇනීමට තැත් කිරීම වැනි දේ සිදු කර තිබුණි.

වෝල්ටර් ගේ මෙහෙයවීම් මත අවතාර සමග සන්නිවේදනය කිරීමට උත්සාහ කරන එස්තර් එය සාර්ථක වීම නිසා දැන ගැනීමට ලැබෙන්නේ ‘එකකට වඩා වැඩි ආත්ම ගණනාවක’ ඈ සමග සම්බන්ධ වන බවකි. මෙහි මූලික ආත්මය ලෙස සපතේරුවෙකු වූ “බොබ් නික්ල්” හඳුනාගනු ලබ අතර ඊට අමතරව “පීටර් කොක්ස්” නම් එස්තර්ගේ මියගිය ඥාතියෙකු ද “මැගී ෆිෂර්” නැමැත්තියකගේ ද ආත්ම ඈ හා සම්බන්ධ වී ඇති බව හඳුනාගැනේ.

පර්යේෂක වෝල්ටර් හබල්

පර්යේෂක වෝල්ටර් හබල් ගේ දායකත්වයෙන් එස්තර් හට තම අත්දැකීම් හෙලිදරව් කිරීමට විවිධ රටවල් වලට යාමට සිදු වන අතර අවසානයේ එම දීර්ඝ චාරිකා අවසානයේ ඇම්ර්ස්ට්ස් ගම්මානය වෙත පැමිණි පසුවත් නැවත ඇයට දරුණු සිදුවීම් ගණනකට මුහුණ පෑමට සිදුවේ. වරෙක ගම්මානයේ මිනිසෙකුගේ ධාන්‍ය ගබඩාවක් ගිනි ගැනීම පිළිබඳව ද සැක පිට ඇයට සිරගත වීමට සිදු වන අතර මාස හතරක සිර දඬුවමක් විඳීමෙන් පසු ඇය නිදහස් වී පැමිණේ. කෙසේ නමුත් කල් යද්දී තත්ත්වය තරමක් හොඳ අතට හැරෙන අතර එස්තර් දෙවරක් විවාහ දිවියට ඇතුලත්ව පුතුන් දෙදෙනෙකු ද ලබන්නීය.

වෝල්ටර් හබල් ගේ දීර්ඝ පර්යේෂණ ප්‍රතිඵලය පොතක් ලෙසින් එළි දැක්වෙන්නේ 1879 වසරේ දී ය. Eඑය පිටපත් 55,000 ඉක්මවා විකිණී ඇත. හබල් ගේ පර්යේෂණයට වඩා ගැඹුරින් මෙම සිදුවීම් අධ්‍යනය කරමින් 1907 වසරේ දී බ්‍රිතාන්‍ය ජාතික පර්යේෂකයෙකු වූ  හියවඩ් කැරිංටන් (Hereward Carrington) විසින් තම පර්යේෂණ ප්‍රතිඵල එලි දක්වනු ලැබිණි.

පර්යේෂක හබල් ගේ The Great Amherst Mystery පොත

කෙසේ නමුත් සුප්‍රසිද්ධ  භූතාත්මයන්ගේ බලයට යට වූ නිවෙස්  (haunted house)  ලෙස පතල ඇමිටිවිලි, හෙවි මැනිසන්, කෙන්වර්තිහෝල්  වැනි  නිවෙස් අතර පැරණිතම සිදුවීමක් ලෙස ඇමර්ස්ට්ස් හි කොක්ස් නිවසේ අද්භූතජනක සිදුවීම මාලාව අදට ද සැලකේ.

 

නරඹන්න

 

 

 

සටහන – ඉසුරු හිදැල්ලආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *