අපිත් කෙසෙල් වවමුද? II කොටස

කෙසෙල් වගාවට අවශ්‍ය බිම් සැකසීම, රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම ආදිය පිළිබද තොරතුරු  ඊයේ අපි ඉදිරිපත් කළා. අද කථා කරන්නේ තවාන් කිරීම,වගාවට අවශ්‍ය ජල කළමනාකරණය ආදිය පිලිබදවයි.

 

අංකුර කැබලි තවාන් කිරීම

 පළල සෙන්ටිමීටර් 90ක් හා අවශ්‍ය පමණ දිගින් යුතු පාත්ති සකසා ගන්න. තවාන් මාධ්‍යය ලෙස කොම්පෝස්ට් මිශ්‍රණයක් හා පස් යොදාගන්න. එකිනෙකට ආසන්නයෙන් අල කැබලි සිටුවන්න. අංකුර වර්ධනය වනවිට අල කැබලි ගලවාගන්න.අංකුරය බෙදෙන සේ එක් කැබැල්ලක් කැබලි හතරකට කපන්න. අල කැබැල්ල කුඩා වනවිට ලැබෙන පල ප්‍රමාණය අඩු වේ. පළමු තවාන් මිශ්‍රණයම යොදාගනිමින් අල කැබලි අතර පරතරය සෙන්ටිමීටර් 15ක් වන පරිදි තවාන් කරගන්න. සති තුනකින් පමණ අංකුර මතු වේ. එක් අංකුර කැබැල්ලකින් පල පහක් පමණ ලබාගත හැකිය.

මාසයක් පමණ වයසැති පැල තෝරා බදුන්වල සිටුවන්න.මුල් ස්වල්පයක් ඇති නිසා කෙලින්ම මෙම පැල ක්ෂේත්‍රයේ සිටුවීම අපහසුය.  මෙසේ බදුන් කල පැලයක් මාස 4කින් පමණ ක්ෂේත්‍රයේ සිටුවීම වඩාත් සුදුසුය.බදුන් තුල පෝෂණය ප්‍රමාණවත් නොවෙන නිසා පොහොර යෙදිය යුතුය.

කෙසෙල් තවානක ඡයාරුපයක්

කෙසෙල් වගාවේ අරමුණු

අරමුණු කිහිපයක් සදහා කෙසෙල් වගයක් ආරම්භ කල හැකිය.

  1. කැන් සදහා වගාව
  2. පත්‍ර සදහා වගාව
  3. කැන් හා පත්‍ර සදහා වගාව

 

කැන් සදහා වගාව

කෙසෙල් කැන් ලබාගැනීමේ අරමුණින් වගාව සිදු කරන අතර කැන් ලබාගත් පසු ඉතිරිවන පත්‍ර හා අනිත් කොටස් ප්‍රයෝජනයට ගත හැකිවේ.

පත්‍ර  සදහා වගාව

කැන් සදහා වගා කරන ගස් මෙන් දෙගුණයක ගස් මෙහෙදී වගාකරයි. කැන් හටගැනීමෙන් ද  අමතර ආදායමක් ලබාගන්නා අතර මුලිකවම ආදායම් උපයන්නේ පත්‍ර මගිනි. කැන් ලබා ගැනීමට නුසුදුසු බිමක වුවද පත්‍ර සදහා කෙසෙල් වගා කිරීම යෝග්‍ය වේ.

කැන් හා පත්‍ර සදහා වගාව

වාර්ෂික ක්‍රමයට කෙසෙල් වගාව සිදුවේ. සිටුවා මාස 4ක සිට කැන් පිදීම දක්වා පත්‍රයක් හැර පත්‍රයක් කපයි.ගෙඩිවල ගුණාත්මකබව අඩු නොවුනත් කැන් අස්වැන්න පහල යයි.

 

ජල සම්පාදනය කළමනාකරණය කිරීම

නිතර වර්ෂාව නොලැබෙන වියලි හා අන්තර් කලාපවලට ජාල සම්පාදන කළමනාකරණය වැදගත්ය. සාමාන්‍යයෙන් සතියකට වරක් ජලය සැපයිය යුතුය. ජලය හිගවනවිට වර්ධනය බාලවිමත්, ජල අතිරික්තයකදී දිලිර බෝ වීමත් සිදුවේ. කෙසෙල් වගාව සදහා ජලසම්පාදන ක්‍රම තෝරාගැනීමේදී ,විසිරුම් ක්‍රමය (Spray water supply ) භාවිත කිරීම නුසුදුසුය. විසිරෙන ජල බින්දු රෝගකාරක බීජානු ව්‍යාප්ත කිරීම එයට හේතුවයි. එනිසා, ක්ෂුද්‍ර ජල සම්පාදනය (Micro water supply) මගින් කදේ  පහල  කොටසට ජලය ලබාදිය යුතුය.

 

වල්  මර්ධනය

මුල් මාස කිහිපය තුල පමණක් වල් මර්ධනය කිරීම සැහේ.ගසේ පාමුල සිට සෙන්ටිමීටර් 60 ක පමණ වටයක් උදලු ගෑ යුතුය.

 

පොහොර භාවිතය

වියලි හා අතරමැදි කලාපයේ කෙසෙල් වගාවන්ට, සිටුවීමට සති දෙකකට  පෙර කාබනික පොහොර යෙදිය යුතුය. සිටුවා මාස 2කට පසු  පැලයකට යුරියා  ග්‍රෑම් 10ක් හා TPS ග්‍රෑම් 80ක් යෙදිය යුතුය.  සැම  මාස 6 කට වරක්ම   පැලයකට යුරියා  ග්‍රෑම් 180ක් හා TPS ග්‍රෑම් 120ක් යෙදිය යුතුය.

තෙත් කලාපයේ කෙසෙල් වගාවන්ට , සිටුවීමට සති දෙකකට  පෙර කාබනික පොහොර හා ඩොලමයිට් යෙදිය යුතුය. සිටුවා මාස 2කට පසු  පැලයකට යුරියා  ග්‍රෑම් 110ක් හා TPS ග්‍රෑම් 100ක් යෙදිය යුතුය.  සැම  මාස 4 කට වරක්ම   පැලයකට යුරියා  ග්‍රෑම් 110ක් හා TPS ග්‍රෑම් 100ක් යෙදිය යුතුය.  සැම  මාස 9කට වරක්ම   පැලයකට යුරියා  ග්‍රෑම් 150ක්  යෙදිය යුතුය.

කාබනික පොහොර ලෙස කුකුල් පොහොර යොදන්නේ නම් හොදින් දිරූ පොහොර ගතයුතුය.

 

කෙසෙල්  කැන්වල ගුණාත්මකබව ඉහල නැංවීමට

කැන් පිදීම ආරම්භ වු පසුව අවසන් ඇවරිය මතුවී කෙසෙල් මුව කොටස දික්වන අවස්ථාවේදී අවසන් ඇවරියේ සිට අගල් 4ක් ඉතිරිකර කෙහෙල් මුවය කැපීම තුලින් කැන විශාලවී හානිකර සතුන් මියයයි.

කෙහෙල් මුවය කපා එය ආවරණය කල යුතුය. මෙයට කඩදාසි, පිදුරු හෝ පොල්කොළ ආවරණ යොදාගත හැකිය. එයින් පලිබෝධ හානි අවම වි කැළැල් රහිත ඒකාකාරී කහ පැහැති කැන් ලබාගත හැකිය.

කැන් පිදීමේදී ගසේ බර වැඩි වෙන නිසා ආධාරක කණු සවි කිරීමෙන් ගසට කැන දරාසිටීමට සහයක් ලබාගත හැක.

කෙසෙල් කැනක මල් ඇවරී ඉවත් කලවිට ඉතිරි ඇවරිවල ගෙඩි පෘෂ්ටිමත් වේ.

 

රෝග හා පලිබෝධ හානි

කදගුල්ලා, කෙසෙල් පැල මැක්කා, වට පණුවා,පලතුරු මැස්සා,කුඩිත්තා, සුදු මකුණා,පිටි මකුණා ආදී පලිබෝධයින් කෙසෙල් වගාවට හානි කරයි. නිරෝගී පැල සිටුවීම, මොටෙයියන් සිටුවීමට පෙර මුල් හොදින් ශුද්ධ කිරීම ,නිසි වෙලාවට අස්වනු නෙලා ගැනීම මගින් මෙම කෘමි හානි අවම කරගත හැකිය.

පලතුරු මැස්සා

පැනමා රෝගය,ඇවරිමුල කුණුවීම,ඇන්ත්‍රක්නොස් රෝගය,පත්‍ර ලප රෝගය කෙසෙල් ගස් අතර සුලබව දක්නට ලැබෙන දිලිර රෝගයන් වේ. සුදුසු රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් මෙම රෝග පිටුදැකිය හැකිය.

 

අන්තර්ජාලය ඇසුරිනි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *