අදට ද අභිරහසක් වූ බිහිසුණු චුපකබ්රා

වර්ෂ 1995 මාර්තු මාසයේ ඇමරිකාවට අයත් පුවටෝ රිකෝ (Puerto Rico) දූපත්වාසීන්ට අත් දකින්න ලැබුණේ අද්භූතජනක සිදුවීමකටයි. දූපතේ ගොවිපොළක ඇතිකල බැටළුවන් අටදෙනෙක් එකවර මියගොස් තිබීම ඊට තුඩුදුන් කාරණයයි. සෑම සත්ත්වයෙකුගේම වාගේ පපු ප්‍රදේශයේ වූ තුවාලයකින් ලේගලා යාම නිසා මියගොස් සිටි එම සතුන්ට කුමක් සිදු වීදැයිසොයා ගන්නට හෝ මරණයට හේතුව සොයා කුමක්ද යන්න සොයාගැනීමට කිසිවෙකුට නොහැකිව තිබිණි.

චුපකබ්‍රා

මෙයින් මාස කිහිපයකට පසු එනම් අගෝස්තු මාසයේ දී පුවටෝ රිකෝ රාජ්‍යයේම කැනෝවන්ස් (Canóvanas) නගරයේ වැසියෙකු වූ මැඩෙලින් ටොලෙන්ටිනෝ විසින් අද්භූතජනක ජීවියෙකු විසින් නගරයේ නිවාස වල සුරතල් සතුන් මරා දමන අන්දම සියැසින් දුටු බවක් සඳහන් කර තිබේ. නමුත් එය එවකට කිසිවෙක් පිළිගෙන නැත්තේ ටොලෙන්ටිනෝ මානසික රෝගියෙකු යැයි සිතමින්. මේ ආකාරයට කැනෝවන්ස් නගරයේ සතුන් 150ක් පමණ අද්භූත ආකාරයෙන් මිය යන තෙක් නගරවාසීන්ගේ අවදානය එයට යොමු නොවී තිබීම පුදුමයකි.

මැඩෙලයින් ටොලෙන්ටිනෝ

මේ සිදුවීම් වලට සම්බන්ධ අද්භූත සත්ත්වයෙකු පිළිබඳ ඉඟියත් සමග පුවටෝ රිකෝවේ ප්‍රසිද්ධ හාස්‍ය නළුවෙක් හා ව්‍යාපාරිකයෙකු වන සිල්වරියෝ පෙරේස්  (Silverio Pérez) විසින් මෙම අද්භූත සත්ත්වයා චුපකබ්‍රා ලෙස නම් කරන ලදි. ස්පාඤ්ඤ බසින් චුපර් (chupar) යනු උරාබොන්නා යන්න වන අතර කබ්‍රා (kabra) යනු එළුවා යන්නයි. එනම් චුපකබ්‍රා යනු එළුවන් ගේ ලේ උරාබොන්නා යන අර්ථය දෙන ලෙසින් නාමය සැදී ඇත.

මැඩෙලයින් දුටු බැව් කියන සත්ත්වයාගේ සටහන

මේ ආකාරයට පුවටෝ රිකෝ රාජ්‍යයෙන් ආරම්භ වූ මෙම භීෂණය පසුව ඇමරිකානු මහද්වීපය පුරා විවිධ ස්ථාන වලින් වාර්ථා වීමට ආරම්භ වන්නේ මුලු ලෝකයේම අවධානය ඒ වෙතට යොමුවෙමින්. දකුණු ඇමරිකානු කළාපය පුරාම මෙම බිහිසුණු සිදුවීම් පෙළ ව්‍යාප්ත වෙමින් පේරු, චිලී, කොලොම්බියාව, බ්‍රසීලය, ආජන්ටිනාව, මෙක්සිකෝව, එල් සැල්වදෝරය, පැනමාව වැනි රටවලින් මෙන්ම ඒවාට සම්පූර්ණයෙන්ම එපිටින් වූ රුසියාව හා පිලිපීනය වැනි රටවල ද චුපකබ්‍රා සිදුවීම් වාර්තා වී ඇත.

බෙන්ජමින් රඩ්ෆෝර්ඩ් සහ ඔහුගේ Tracking the Chupakabra පොත

ඇමරිකානු ලේඛකයෙක් හා ගවේෂකයෙකු වන බෙන්ජමින් රඩ්ෆෝර්ඩ් (Benjamin Radford) ගේ වසර පහක චුපක්බ්‍රා ගවේෂණ වලින් පසුව 2011 දී ඔහු විසින් නිකුත් කළ Tracking the Chupacabra නම් පොත චුපක්බ්‍රාවන්ගේ මතිමතාන්තර වෙනම දිශාවකට ගෙනයන්නක් විය. පුවටෝ රිකෝ හි පළමු චුපකබ්‍රා ඇසින් දුටු සාක්ෂිකාරිය වූ මැඩෙලයින් ටොලෙන්ටිනෝ ගේ ප්‍රකාශ සැලකිල්ලට ගත් ඔහු අනාවරණය කරගත්තේ වෙනත්ම කතාන්තරයකි.

 

රඩ්ෆෝඩ් විසින් මැඩෙලයින්ගෙන් චුපකබ්‍රා පිළිබඳ තොරතුරු ලබාගනිමින්

එනම් ඇය විසින් චුපකබ්‍රා දකින්න ආසන්න කාල වකවානුවේ දී ඇය විසින් එකල ජනප්‍රිය බිහිසුණු හොලිවුඩ් චිත්‍රපටයක් වූ Species චිත්‍රපටය නරඹා තිබුණු බවයි. එම සිනමාපටයේ සිටින බිහිසුණු සත්ත්වයා වන Sil  ඇය විසින් විස්තර කරන චුපකබ්‍රාගේ ස්වරූපයට බොහෝ සෙයින් සමාන බැවින් එම චිත්‍රපටයේ දර්ශන ඇගේ සිතේ තදින් බැඳී තිබීම සතෙකු බුදිමින් සිටින වෘකයෙකු හෝ නරියෙකු ඇයට චුපකබ්‍රාවෙකු ලෙස පෙනීම සිදුවී ඇති බවට රඩ්ෆෝර්ඩ් පෙන්වාදෙයි.

 

Species චිත්‍රපටය

එමෙන්ම 2010 වසරේ ඔක්තෝබරයේ දී මිචිගන් සරසවියේ (University of Michigan)ජෛවවිද්‍යාඥයෙක වන බැරී ඕ කෝනර් විසින් විසින් කරන ලද පර්යේෂණ වලින් හෙලි වූයේ කාන්තාර ආශ්‍රිත කොයෝටේ (Coyote) සතුන්ට Sarcoptes scabiei නම් පරපෝෂිතයාගේ බෝවීම නිසා එම සතුන්ගේ ලෝම හැලී සම ඝනකම් වී විරූපී වීම නිසා භයංකාර ස්වරූපයක් ඇතිවීම මෙම චුපකබ්‍රා ස්වරූපය ඇතිවීමට හේතු වන්නට ඇති බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියාසිටින්නේ කොයෝටේ සතුන් එම පරපෝෂිත ආසාදයෙන් දුර්වල වීම නිසා පුරුදු ලෙස වනසතුන් දඩයමේ නොගොස් ගොවිපොළ වල සිටින් කොටු වූ සතුන් සොයා පැමිණෙන බවයි.

මහාචාර්‍ය බැරී ඕ කෝනර්

චුපකබ්‍රා දුටුවන් පවසන්නේ ඌ උරගයෙකු වැනි කොරපොතු සහිත අළු පැහැ හෝ කොල පැහැ ඝනකම් සමක් ඇති පිට මත ඉතා තියුණු කටු පෙළක් සහිත සත්ත්වයෙකු බවයි. අඩි 3ත් 4 ත් අතර උසක් ඇති මෙම සත්ත්වයා කැන්ගරුවෙකු මෙන් පසුපස ගාත් වලින් සිටගෙන සිටින බවක් කියැවේ.

ආසාදිත කොයෝටේ සත්ත්වයෙක්

මේ අනුව බොහෝ චුපකබ්‍රා පර්යේෂකයන් කියනා අන්දමට මෙම සත්ත්වයා කොයෝටේ හෝ කැලෑ බල්ලෙකු (Mexican Hairless Dogs)විය හැකි බව සඳහන් වුවත් මෙතෙක් සිදුවූ කිසිඳු චුපකබ්‍රා පහර දීමකදී එම කිසිඳු සතෙකුගේ සිරුරු වල මස් අනුභව කිරීමක් දැකගත හැකිවී නොමැත. කොයෝටේ හෝ බල්ලන් සතුන් මරන්නේ මස් කෑම පිණිස මිස සිරුරු වල රුධිරය බීමට නොවන බව නොරහසකි. චුපකබ්‍රා යනු කොයෝටේ සතෙකු හෝ වෙනත් හඳුනාගත් වනජීවියෙකු බව තහවුරු කිරීමට වෙර දරණ ගවේෂකයන් හා පර්යේෂකයන් ගැටළුවට ලක්වන තැන මෙතැනය.

පිලිපීනයේ ඇති චුපකබ්‍රා අවන්හලක්

කෙසේ නමුත් ඇතැම් රටවල් චුපකබ්‍රා නිසා තම රටේ සංචාරක කර්මාන්තය දියුණු කරගැනීමට උත්සුක වී සිටිති. එමෙන්ම ලෝ සුපතල අද්භූත සත්ත්වයෙකු බිහිකරමින් චුපකබ්‍රා නමින් බිහිවූ බිහිසුණු චිත්‍රපට, මාලා නාටක, ආදිය ද ඉතා විශාල ගණනක් පවතී.

 

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *