අදටත් අභිරහසක් වූ බබූෂ්කා ලේඩි

මෙයින් වසර 54ට පෙර, එනම් 1963 නොවැම්බර් 23 වැනි දින පස්වරු 12.30ට පමණ ඇමරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි (John F. Kennedy), ටෙක්සාස් හි ඩලාස්  (Dallas, Texas) නගරයේ ඩීලී ප්ලාසා (Dealey Plaza) හි මෝටර් රථ සංචාරයේ යෙදී සිටියේ තම බිරිඳ ජැකලයින් කෙනඩි (Jacqueline) ටෙක්සාසයේ ආණ්ඩුකාරවරයා වූ ජෝන් කොනලි (Texas Governor John Connally) හා ඔහුගේ බිරිඳ නෙලී සමගිනි.

 

ජෝන් එෆ් කෙනඩි රථ පෙළපාලියේ

එහිදී නොසිතූ ලෙස කොහේදෝ සිට පැමිණි වෙඩි උණ්ඩයක් ජනපති කෙනඩිගේ ගෙල හරහා ගියේ ඇමරිකාවේ ජනාධිපතිවරයෙකුට අත්වූ කෲරතම මරණය හිමි කර දෙමිනි.

ඝාතනය සිදුවූ අවස්ථාවේ ජැකලයින් කෙනඩි ගේ ක්ෂෙණික හැසිරීම

කෙසේ නමුත් මාස දහයක විමර්ශනයකින් පසුව එනම් 1964 වසරේ අගෝස්තුවේ දී මෙම ඝාතනයේ ඝාතකයා ලෙස තහවුරු කර ගනු ලබන්නේ ඇමරිකානු හමුදා මැරීන් සේවයේ යෙදී සිට ඉවත් වූ හමුදා භටයෙකු වූ ලී හාවි ඔස්වල්ඩ්  (Lee Harvey Oswald) නැමැත්තායි.

 

ලී හාවි ඔස්වල්ඩ්

කෙනඩි ඝාතනය මෙසේ සිදු වෙද්දී මෙම සිදුවීම සමග කරලියට එන තවත් චරිතයකි බබූෂ්කා කාන්තාව හෝ බබූෂ්කා ලේඩි ලෙස හඳුන්වන්නේ. කෙනඩි ඝාතනය සිදු වන අවස්ථාවේ දී වෙඩි හඬත් සමග ජනාධිපති ආර්‍යාව ජනපති වෙතට පනින ආකාරයත්, අවට සිටින ආරක්ෂකයන් ජනපති ගමන් ගත් රථය ආවරණය කරගන්නා අයුරුත්, වටපිටාවේ ජනතාව කැළඹී ඒ මේ අත දිව යන ආකාරයත් ඒ අවස්ථාව වීඩියෝ ගත කළ කැමරා කාච තුල මනාව සටහන් වී තිබේ. එමෙන්ම මේ කිසිවකින් කැලඹීමකට හෝ තැතිගැන්මකට ලක් නොවී සිටින මැදිවියේ කාන්තාවක් ද මෙම සේයා පට වල සටහන් වී තිබීම ලෝක අවදානයට පාත්‍ර වූ කරුණක් විය.

 

බබුෂ්කා ලේඩි රථ පෙළපාලිය නරඹමින්

මෙම කාන්තාව කවරෙක්ද යන්න නිශ්චිතවම පැහැදිලි නොවුනත් ඇයට ‘බබුෂ්කා’ ලෙසින් නම් පට බැඳුනේ ඇය පැලඳ සිටි රුසියානු වයස්ගත කතුන් පලඳින ආකාරයේ ‘ස්කාෆ්’ රෙද්දක් (headscarf)  හිස පොරවාගෙන සිටීම නිසාවෙනි. රුසියානු බසින් ‘බබුෂ්කා’ (бабушка) යනු ආත්තම්මා හෝ වයස්ගත කාන්තාව යන්නයි.

 

නොසැලී සිටින බබුෂ්කා ලේඩි

බබුෂ්කා ලේඩි ඇසින් දුටුවන් මෙන්ම සැ(z)පෘඩර් වීඩියෝව (Zapruder film), ඕවිල් නික්ස් (Orville Nix), මේරි මියුක්මෝ (Marie Muchmore) හා මාර්ක් බෙල් විසින් කැමරා පටිගත සාක්ෂි මගින් අනාවරණය වනුයේ මෙම කාන්තාව ජනපතිවරයා රැගත් රථපෙළ පැමිණෙන ප්‍රධාන වීදිය හා එල්ම් වීදිය අතර තණකොල වැවූ කොටසේ සිට අතෙහි වූ වීඩියෝ කැමරාවක් මගින් ජනපති සහිත රථ පෙළ වීඩියෝ ගත කරන බවකි.

 

බබුෂ්කා ලේඩි මුහුණ දැක්වෙන එකම අවස්ථාව

අනතුරුව ජනපතිවරයාට වෙඩි වැදුණු පසු ඈ කලබලයකින් තොරව එල්ම් වීදිය හරහා ගොස් කැළඹුණු ජනතාව හා මුසු වී ඩීලි ප්ලාසා හි තණකොල සහිත කුඩා කඳු වැටියක් වෙතට ඇදී යන බවත් අවසාන වශයෙන් කැමරා වල සටහන් වේ. එමෙන්ම ඇය පිළිබඳව හෝ ඇය ගනු ලැබූ වීඩියෝව පිළිබඳව තොරතුරක් අද වන තෙක් ලැබී නොමැති අතර ඉහත කී එකම පුද්ගලයෙකු හෝ වීඩියෝ කළ වීඩියෝ පට තුල මෙම කාන්තාවගේ මුහුණ පැහැදිලි ලෙස සටහන් වී නැත්තේ එක්කෝ ඈ කැමරාවට පිටුපා සිටීම හෝ ඈ අත තිබූ කැමරාව නිසා ඇගේ මුහුණ ආවරණය වී තිබීම නිසාවෙනි.

 

බබුෂ්කා ලේඩි, කෙනඩි ඝාතනයෙන් පසු ඇවිද යමින්

වසර 1970 දී මෙම සිදුවීම නැවත මතු වෙන්නේ ටෙක්සාසයේ ජෝෂුවා (Joshua, Texas) හි ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ පුනරුත්ථාපන දේවමෙහෙයකදී (revival meeting) බෙවර්ලි ඔලිවර් නම් කාන්තාවක් තමා බබූෂ්කා ලේඩි තමා බව ට එහි දේශකයා වූ ග්‍රේ ශෝ හට පැවසීමත් සමගයි. මෙහිදී ඔලිවර් විසින් කියා සිටියේ තමාගේ යශිකා (Yashica) කැමරාවෙන් ගත් Super 8 film ක්‍රමයේ (ඊස්ට්මන් කොඩැක්  Eastman Kodak සමාගම විසින් 1965 වසරේ සාදන ලද 8mm වර්ගයේ චල රූ සේයා පට motion picture film format) මෙම වීඩියෝව එෆ්. බී. අයි නියෝජිතයන් යැයි කියාගත් දෙදෙනෙකුට ලබාදුන් බවකි.

 

බෙවර්ලි ඔලිවර්

දින 10ක් ඇතුලත වීඩියෝ පටය ඇයට නැවත ලබා දෙන බවක් පවසා එය රැගෙන ගියත් ආපසු නොලැබුණු බවත් ඇය කියා තිබුණි. එමෙන්ම 1988 දී  The Men Who Killed Kennedy නම් වාර්ථා වැඩසටහන සඳහාද ඈ මෙම ප්‍රකාශය නැවතත් සිදු කළාය.නමුත් ඔලිවර් ගේ මෙම ප්‍රකාශයේ තිබූ පරස්පර විරෝධී බව වූයේ ඇය භාවිත කලා යැයි කියූ යශිකා Super 8 film වර්ගයේ කැමරා මාදිලිය 1963 කෙනඩි ඝාතනය සිදුවන කාලයේ දී නිපදවා නොතිබීමයි. ඉන් වසර 6ට පසු එනම් 1969 දී පමණ මෙම කැමරා වෙළඳපොළට පැමිණ තිබුණි.

 

yashika super 8 film වීඩියෝ කැමරාව – 1970 මාදිලිය

නමුත් මෙම කරුණ සම්බන්ධයෙන් ඔලිවර් පැවසුවේ තම මිතුරෙකු මාර්ගයෙන් පර්යේෂණ මට්ටමේ එම මාදිලියේ කැමරාවක් ලැබුණු බවත් එහි වෙළඳ නාමය පවා සටහන්ව තිබුණා ද යන්න තමාට මතක නැති බවයි. නමුත් ඇගේ මේ ප්‍රකාශ වලින් ඇය පවසන දේ හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සාධාරණ සැකයක් සැමට ඇති වී තිබුණි.මෙම බෙවර්ලි ඔලිවර් කාන්තාවගේ සිදුවීම පාදක කරගෙන ඔලිවර් ස්ටෝන් (Oliver Stone) විසින් 1991 දී JFK නමින් සුප්‍රසිද්ධ චිත්‍රපටය නිපදවීම සිදු වී තිබුණි.

JFK චිත්‍රපටය

කෙනඩි ඝාතනයෙන් වසර 30ට පසු එනම් 1990 නොවැම්බර් 18 පැවති ඝාතන වාර්ථා නැවත අධීක්ෂණය කිරීමේ කමිටුවක දී ගැරී මැක් නම් පර්යේෂකයා පවසා සිටියේ අපූරු කතාවකි. කොඩැක් සමාගමේ ඩලාස් හි කාර්‍යාලයේ විධායක නිලධාරියෙකු වූ පුද්ගලයෙකු විසින් ගැරීට පවසා තිබුණේ සැ(z)පෘඩර් වීඩියෝ පටය විශ්ලේෂණය කිරීමේදී වයස අවුරුදු 30ක පමණ තලෙලළු කාන්තාවක් ප්‍රධාන වීදිය හරහා පැමිණ එල්ම් වීදිය අසල තණ පිට්ටනියේ නතර වී ජනපතිවරයා පැමිණෙන ලිමොසින් රථය හා ටෙක්සාස් රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල ජායාරූප ගත කරන බවක් සටහන් වී ඇති බවකි. එහි දී ද ඇගේ මුහුණ බොඳවී හඳුනාගැනීමට අපහසු ලෙසින් දිස්වෙන බවක් එම විධායක නිලධාරියා ගැරීට කියා ඇත. කෙසේ නමුත් ගැරී පවසන්නේ බබුෂ්කා ලේඩි බෙවර්ලි ඔලිවර් විය නොහැකි බවය.

 

The Men who Killed Kennedy වාර්ථා වැඩසටහන

නමුත් විශේෂිතම කරුණු වන්නේ කෙනඩි ඝාතනය වන කාලය වන විට ඔලිවර් වයස අවුරුදු 17ක තරුණියක් බවයි. නමුත් මෙම වීඩියෝ දර්ශන වල පැහැදිලිවම මැය තරුණියක් නොව මැදිවියේ කාන්තාවක් බව පෙනී යයි. එමෙන්ම ඇය පවසන 1964 වසරේ දී පර්යේෂණ මට්ටමේ යශිකා Super 8 film වර්ගයේ කැමරාව මීටර 6-9 ප්‍රමාණයේ එකක් බව කොඩැක් සමාගම තහවුරු කරන බවත් ඇය එම වීඩියෝ පට එෆ්.බී.අයි නමින් හඳුන්වාගන්නා පුද්ගලයින්ට ලබා දෙන්නේ ඇය සතු මාරිජුවාන අසුවේ යැයි බියෙන් යන්න පසුකාලීනව හෙලිදරව් වූ කරුණුය.

මෙසේ මතට ලොල් වීම, පරස්පර විරෝධී ප්‍රකාශ ආදී කරුණු නිසා ඔලිවර් ගේ ප්‍රකාශ අසත්‍ය හා පිළිගත නොහැකි ඒවා බවට තහවුරු වෙයි. ඇතැමුන් පිටසක්වල ජීවීන්ගේ ගිණුමට බැර කරනු ලබන මෙම ඝාතනය හුදෙක් ඇමරිකානු මැරීන් භටයාගේ මැදිහත් වීම වෙනස් ආකාරයකින් දැකීමට උත්සාහ දරති. එමෙන්ම මෙම අද්භූත රුසියානු පෙනුමැති ආත්තම්මා, බබුෂ්කා කවරෙක් ද යන්න අදටද අභිරහසකි.

 

නරඹන්න

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි

සටහන – ඉසුරු හිදැල්ලආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *